මොළයේ උණ වැළඳෙන හැටි

174

මෙනින්ජයිටිස් (Meningitis) මොළයේ ප්‍රදාහය එසේත් නැතිනම් මොළයේ උණ ලෙස හඳුන්වන රෝගය සම්බන්ධව අප බොහෝ දෙනා තුළ පවතින්නේ මාරාන්තික රෝගයක් යන හැඟීමය. පසුගිය දිනවල බන්ධනාගාර සිරකරුවන් පිරිසකට මෙම රෝගය වැළඳීම නිසා ඉන් කිහිපදෙනෙකු මරණයට පත්වීමද සිදුවිය.

මෙනින්ජයිටිස් යනු කුමක්ද?

මෙනින්ජයිටිස් මොළය සහ සුෂුම්නාව වට කරන ආරක්ෂක පටලවල හෙවත් මෙනින්ජි පටලවල සිදුවන ආසාදනයක් හෝ මෙනින්ජි තරලයේ ඇතිවන ආසාදන තත්ත්වයකි.

මේ සඳහා බලපාන හේතු කාරක වනුයේ බැක්ටීරියා සහ වෛරස වර්ගය ඊට අමතරව කලාතුරකින් ක්ෂය රෝගද නිසාද බලපෑ හැකිය.

මෙනින්ජයිටීස් රෝගය වැළඳුන රෝගීන්ගෙන් බහුතරයකට ඒ සඳහා බලපා ඇත්තේ වෛරස ආසාදනයයි.

එසේම රෝගයට බහුලවම ගොදුරු වන්නේ කුඩා කාලයේදීය. කුඩා කාලයේදී මෙනින්ජයිටීස් රෝගයට දරුවන් ගොදුරු වූ විට මොළයේ වර්ධනයට බලපෑම් ඇති විය හැකිය.

රෝග ලක්ෂණ

මෙනින්ජයිටීස් රෝගය ඇතිවූ විට තද උණ, අධික හිසරදය, වලිප්පුව, මානසික ව්‍යාකූල බව ආදී රෝග ලක්ෂණ මතුවේ. බොහෝ විට මෙම රෝග ලක්ෂණ වලින් කිහිපයක් මතුවිය හැකිය. කුඩා දරුවන්ගේ හිසේ ඇති තෙල්වල කොටස ඉදිමුමට ලක්වීමද දැකිය හැකිය.

රෝගය පැතිරීම

මෙනින්ජයිටීස් රෝගය සඳහා බහුලවම බලපාන්නේ වෛරස සහ බැක්ටීරියා නිසා රෝගය අන් අයට බෝවිය හැකිය. සෘජුවම රෝගියකුගෙන් තවත් අයකුට පැතිරිය හැකිය.

මෙනින්ජයිටීස් රෝගය නිසා කුඩා දරුවන්ගේ මොළයේ වර්ධනයට බලපෑම් ඇතිවීම මෙන්ම වැඩිහිටියනට පසු කාලයේදී වලිප්පුව රෝගය මතුවීමද හේතුවේ.

ප්‍රතිකාර

මෙනින්ජයිටීස් යනු බරපතළ රෝගයක් වුවද එය නිසි ප්‍රතිකාර මගින් සුවපත් කරගත හැකිය. නිසි ප්‍රතිකාර ලැබීම පමාවීම නිසා සහ රෝගියාගේ ප්‍රතිශක්තියේ පවතින දුර්වලතා නිසා සංකූලතා ඇතිවීම සහ මරණයට පත්වීම සිදුවිය හැකිය.

රෝගය ඇතිවීම වළක්වා ගැනීම සඳහා කුඩා කාලයේදී දරුවන්ට එන්නත් ලබාදේ. විශේෂයෙන්ම Hib එන්නත ලබාදීම මගින් බැක්ටීරියා ආසාදන නිසා ඇතිවිය හැකි මෙනින්ජයිටීස් රෝග රැසක් ඇතිවීම වළක්වා ගත හැකිය. ශ්‍රී ලංකාව තුළ මෙනින්ජයිටීස් රෝගය පැතිරීම පාලනය කර තිබුණද ඇතැම් රටවල මෙම රෝග ව්‍යාප්තිය ශීඝ්‍රව පවතී. එනිසා එවැනි රටවල සංචාරය කරන විට රෝගය බෝවීම වළක්වා ගැනීම සඳහා එන්නත් වර්ග භාවිතා කරනු ලබයි.

මොළයේ උණ වැළඳෙන හැටි

කොළඹ වෛද්‍ය පීඨයේ පරපෝෂවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂ වෛද්‍ය
සනත් සේනානායක

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment