නිවසක ජල ටැංකිය වාස්තු විද්‍යානුකූලව තැබිය යුතුය

191

නිවසක ළිඳ හෙවත් වාස්තු විද්‍යාවේ හඳුන්වන කූපය නිවස අභ්‍යන්තරයේ බ්‍රහ්මපාද ලක්ෂ්‍යයේ සිට බලන විට උතුරු දිශාවේ 450 කොටස තුළත්, ඊශාන දිශාවේ 450 කොටස තුළත්, නැගෙනහිර දිශාවට අයත් 450 කොටස තුළත් පිහිටීමත් ආපෝ ධාතුවට අයත් දිශාවන්ට නිර්මාණය කිරීමත් ඉතාම ශුභය. විශ්වයට අවනතයි. ඒ වගේම බටහිර දිශාවද නිවසේ ළිඳට යෝග්‍ය වේ. නමුත් බොහෝ දෙනෙකුට වර්තමානයේ තමන්ගේ කාර්යබහුලත්වය සමගින් ළිඳට ගොස් කඹයෙන් වතුර පනිට්ටුව පොළව අභ්‍යන්තරයේ සිට මතුපිටට ගැනීමේ ක්‍රියාවලිය හෙවත් වතුර ඇදීම, වතුර බාගැනීම වෙහෙසකරය. මෙයට වසර ගණනාවකට පෙර හිමිදිරි උදයේ අවදි වන ගැමියා, ගැමිලිය, නිවසේ සහ පෞද්ගලික දෛනික කාර්යයට අවශ්‍ය සියලු ජල අවශ්‍යතා ඉටු කර ගත්තේ ළිඳ වෙත පැමිණය. ළිඳේ කබය සහිත පනිට්ටුව ළිඳ තුළට දමා ළිං කණුවල ආධාරකයෙන් දමා ඇති දොඹකරය කිරි කිරි ශබ්දයෙන් කැරකෙමින් මනුෂ්‍යය ශරීරයේ වෙහෙසින් ජලය උඩට ගත්තේය. එසේ ගන්නා ජලය නිවසේ එදිනෙදා උයන පිහින වැඩ කටයුතුවලට, බීමට කළගෙඩියට පුරවා නිවසට රැගෙන යන්නේ හිමිදිරියේම ළිඳ සමග ගනුදෙනු කරමිනි. ළිඳ ළඟම මුහුණ අතපය දෝවනය කිරීම, දිය නෑමද සිදු වන්නේ ළිඳ අසලමය. විශේෂයෙන්ම ගැඹුරු ළිඳකින් ජලය අදින කත, අද මෙන් නොව එකල නිරෝගිමත්ය. ඇයට අලුයම ජොකින් අවශ්‍ය නොවීය. ව්‍යායාම අවශ්‍ය නොවීය.

අත් දෙක හැඩකර ගැනීමට ජිම් එකේ ඩම්බල් අවශ්‍ය නොවීය. ඒ සියලු දේ ළිඳේ කඹය රැඳි ජල පනිට්ටුව සපයන ලදී. ඒ නිසා පුරාණයේ සිට දැනටත් ඈත පිටිසර ගම්වල වෙසෙන ගැහැණියට පිරිමියාට දියවැඩියා, කොලෙස්ටරෝල් නොමැත. ඒ ඔවුන් දෛනිකව නිවසේ, ගොවිබිමේ දහදිය වගුරන නිසාය. සමහර ගෙවතුවල ද බිරිඳ දහදිය හෙලමින් ළිඳෙන් ජලය පොළව මතුපිටට ඇද කළගෙඩි පුරවා දෙන අතර ස්වාමියා, දරුවන් එම ජලය භෝගවලට කළගෙඩියෙන් රැගෙන ගොස් දමන්නීය.

නමුත් සියල්ල විද්‍යාත්මක මෙවලම්වලට පරිවර්තනයවීමත් සමග අද ළිඳකට විදුලි මෝටරයක් නැතිවම බැරිය. මෝටරයෙන් පොළව මතුපිටට ගන්නා ජලය හෙවත් විශ්වයේ ආපෝ ධාතුව ගබඩා කර තැබීමට සෑම නිවසකම ජල ටැංකියක් තබයි. මෙම ජල ටැංකිය නිවසේ කුස්සියේ පෝරනය මත තබයි. නැතිනම් නාන කාමරයේ කොන්ක්‍රීට් ලෑල්ල මත, කොන්ක්‍රීට් කණුවක් මත, කණු කීපයක් මත ඉදිකරන ලද කොන්ක්‍රීට් ලෑල්ලක් මත තබයි. සතියකට මාගේ දුරකථනයෙන් නොයෙක් දෙනා විමසන වාස්තු ගැටලුවල ප්‍රධාන මාතෘකාවකි වතුර ටැංකිය තබන ස්ථානය, උස දිශාව ආදී මේ සම්බන්ධ බොහෝ ගැටලු සඳහා පිළිතුරු ලෙස “නැකත” පත්‍රය අද දින වාස්තු විද්‍යා ලිපිය වෙන් වන්නේ මේ සඳහාය.

නිවසකට ළිඳක් කැණීම භූමි චක්‍රයට හා පංච ධාතුන්ට අනුකූලව ඊශාන, උතුර, නැගෙනහිර වගේම බටහිර දිශාවත් තෝරාගැනීමට හැකි බව වාස්තු විද්‍යාවේ පෙන්වයි. නමුත් ජලය ගබඩා කර ඉහළට තබන විටදී මේ දිශාවන්වල තැබීම තුළින් ඇති වන දෝෂතාවයන් මොනවාද යන්න බලමු. විශේෂයෙන්ම බොහෝ දෙනෙකු සිතන්නේ ආපෝ ධාතුව ක්‍රියාත්මකවන ඊශාන මේ සඳහා සුදුසු බවයි. නමුත් ඊශාන දිශාව වාස්තු පුරුෂයාගේ හිස පවතින දිශාව වගේම නිවසකට අන්තරීය ශක්තිය කාන්දු වන දිශාවයි. එම දිශාව තුළ නිවසෙහි හෝ ආසන්නයේ ජල ටැංකියක් තැබීම තුළින් වාස්තු පුරුෂයාගේ හිස මතට විශාල බරක් තැබීම සේම නිවසට ආන්තරීය ශක්තිය ගලා ඒමද අවහිර වේ. එවැනි නිවාසවල රෝග පීඩා බහුල වීම, ධනය ඉතිරියක් නොමැතිවීම, අශුභ ශක්තීන් ළඟාවීම තුළින් අමනුෂ්‍ය බලවේග ඇතුල් වීම, දුන් ණය අයකර ගැනීමටත් ගත් ණය ගෙවා දැමීමටත් නොහැකි වීම, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අසාර්ථක වීම, දරුවන්ට නිතර නිතර ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග පීඩා ඇතිවීම සිදු වේ. භූගත ළිඳකට යෝග්‍ය දිශාව වන ඊශාන මෙලෙස ඉහළට ඉදිකළ ජල ගබඩා ටැංකියක් සඳහා ඉතාම අශුභ දිශාව වේ.

උතුරු දිශාව ද ජලය ගබඩා කිරීමේ ටැංකියකට ශුභ දිශාවක් නොවේ. රැකියාවේ ගැටලු, ආදායම් මාර්ග වැසී යෑම, නිවසේ සතුට අහිමිවීමට හේතු වන දෝෂයකි. මේ නිසා උතුරු දිශාව ද ජල ටැංකියකට උචිත නොවේ.

නැගෙනහිර දිශාව බැලීමේදීත් එය ද ජල ටැංකියක් තැබීමට සුදුසු දිශාවක් නොවේ. දරුවන්ගේ සෞඛ්‍ය පිරිහීම, නිවසේ ප්‍රධානියාට නිවස තුළ බලය හීනවීම ආදිය සිදුවීමේ ප්‍රවණතාවක් ඇති කරයි.

මේ දිශාවන් 03 හැරන විට ජලය ගබඩා කිරීමේ ටැංකියක් ඉදිකිරීමට ඉතාම ශුභ දිශාව වන්නේ නිරිත දිශාවයි.

පඨවි ධාතුවට අධිපති දිශාව වන නිරිත ඉතා බර අධික දේ තැන්පත් කිරීමට, ගබඩා කිරීමට සුදුසුම දිශාව වන්නේය. නිරිත දිශාවේ ඉහළ ජල ගබඩා ටැංකියක් ඉදිකිරීම නිසා දීර්ඝායුෂ, නිරෝගිකම අත්වේ. ධනය අත් වේ. ධනය ඉතුරුම් ඉහළ යයි. පිරිස් බලය අත්වී සමාජයේ කැපී පෙනේ. දේව රැකවරණය ලැබේ. ශුභ ශක්තීන් වර්ධනය වේ. නිරිත දිශාවට අමතරව බටහිර දිශාව, දකුණු දිශාව, ගිනිකොන දිශාව, වයඹ දිශාව ද ශුභ වේ. ජල ටැංකියක් ඉදිකිරීමේදී තනි කණුවක් ලෙසින්, කණු 02, 03 ක් වශයෙන් ඉදිකිරීම සුදුසු නොවේ. ව්‍යාපාර ස්ථානයක වයාපාර මුහුණත හා කණු 3ක් වශයෙන් යොදා ජල ටැංකි ඉදිකිරීම ද අශුභ වේ. බොහෝදෙනකු මුළුතැන්ගෙයි පෝරනය මත ජල ටැංකිය තැබීම සිදු කරයි. මෙහිදී ආපෝ හා තේජෝ ධාතුව ඝට්ටනය ලක්වීමක් සිදුවිය හැකි බවට ඉඩ පැවතීම මෙයට හේතුවයි. නමුත් පෝරනයේ වහල හෙවත් කොන්ක්‍රීට් බැම්ම මත ජල ටැංකිය නොතබා කොන්ක්‍රීට් ලෑල්ල හා ජල ටැංකිය අතර යම් ඉඩ ප්‍රමාණයක් පවතින ලෙසින් එය උස්සා ඒ තුළින් වාතය ගමන් කරන ආකාරයට සකසා ජල ටැංකිය තැබීම අශුභ නොවේ. මෙම ජල ටැංකියට බොහෝදෙනකු උඩට වහලක් ඉදිකිරීම ද සිදුවන අතර එම වහලයෙහි මුදුන නිවසේ මුදුන් යටලීයට ඉහළින් පවතින අයුරින් හෝ ජල ටැංකිය මුදුන් යටලීයට ඉහළට යන ලෙසින් පැවතීම ද අශුභ වේ. කෙසේ වුවද නිවසේ බිම සිට නිවසේ මුදුන් යටලීයට ඇති උස ප්‍රමාණයට වඩා දුරකින් ජල ගබඩා ටැංකියක් ඉදිකිරීම කුමන දිශාවක වුවද දෝෂයක් නොවේ. නමුත් එවැනි ටැංකි ඉදිකිරීමේදී කණු 03 ක් ආකාරයට හෝ මුළු 03 ක් ආකාරයට ත්‍රිකෝණ හැඩයකට ඉදිකිරිම් නම් දෝෂ සහිත වේ. ජලය ගබඩා වන ටැංකිය තබා ඇති කොන්ක්‍රිට් කණු රඳවන නිතර දිය සෙවල බැඳීමට ලක් වේ. ඒවා නිතර පිරිසිදු කළ යුතුය. දිය සෙවල රැඳීම ශුභ නොවේ.

නිවසක ජල ටැංකිය වාස්තු විද්‍යානුකූලව තැබිය යුතුය

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment