ඔබ මේ පොත කියවමින් සිටින්නේ දුම්රියක ගමන් ගනිමින්ද? උද්‍යාන බංකුවක හිඳගෙනද? පුස්තකාලයකද? ඔබ කොතැනක හිඳ මේ පොත කියවමින් සිටීදැයි මම නොදනිමි. ඔබ කොතැනක සිටියද ඔබේ දෑස් පිටුවෙන් පිටුවට වචනයෙන් වචනයට ඇදී යද්දී ඔබ මේ මොහොතේ දැනගත යුතු දෙයක් තිබේ. මම මේ මොහොතේත් ප්‍රංශයේ චාල්ස් ඩිගෝල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පර්යන්ත 1 හි බායි බායි අවන්හලෙන් ලබාගත් රතු පැහැති බංකුවේ හිඳගෙන පිටත්වීම බලාපොරොත්තුවෙන් සිටින්නෙමි.

සර් ඇල්ෆ්‍රඩ් නොහොත් මෙහෙරාන් කරිම් නසේරි තම පිටත්වීම සඳහා ප්‍රංශයේ චාල්ස් ඩිගෝල් ගුවන් තොටුපලෙහි පිටත්වීමේ පර්යන්ත අංක 1 හි බලා සිටින්නේ වර්ෂ 16 ක් තිස්සේය. ඔහු නිදාගන්නේ එහි ඇති බායි බායි අවන්හලෙන් ණයට ලබාගත් රතු පැහැති බංකුවක ය. යැපෙන්නේ එහි ඇති මැක්ඩොනල්ඩ්ස් අවන්හලෙනි. ඔහුගේ බංකුව වටා අසුරා ඇත්තේ සඟරා අඩංගු කාර්ගෝ පෙට්ටි ය. ළඟින්ම ඇත්තේ ඔහුගේ සුවිශාල දිනපොතයි. ඔහුගේ මේ අසාමාන්‍ය සත්‍ය කතාව නොහොත් නිල අනන්‍යතාවයක් හෝ රටක් නොමැති මිනිසාගේ කතාව ඇන්ඩෘ ඩොන්කින් විසින් The Terminal Man නමින් එළි දක්වා තිබේ.

පර්යන්ත මිනිසා නොහොත් ප්‍රමාදම මගියා

සර් ඇල්ෆ්‍රඩ් පැරීසියේ චාල්ස් ඩිගෝල් ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ ඇත්තේ 1988 අගෝස්තු 08 වන දින ය. මෙසේ පැමිණි සර් ඇල්ෆ්‍රඩ් නොහොත් මෙහෙරාන් කරීම් නසේරිගේ අතීත කතාව මෙසේ වන්නේය. 1945 දී (ඔහුගේ උපන් දිනය අඥාතය.) ඔහු උපත ලබන්නේ ඉරානයේ මස්ජිඩ් සුලෙයිමන්හි ඇන්ග්ලෝ පර්සියන් තෙල් සමාගමේදීය. එම තෙල් සමාගමේ රෝහලෙහි වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ අබ්දුල් කරීම් ඔහුගේ පියා විය. නසේරි ප්‍රකාශ කරන්නේ ඔහු වනාහී අනියම් සම්බන්ධයක ප්‍රතිඵලයක් බවය. ඔහු කියන අන්දමට ඔහුගේ මව එම තෙල් සමාගමේ රෝහලේම සේවය කළ ස්කොට්ලන්ත ජාතික හෙදියක් බවය. තවත් වරෙක ඔහු කියන්නේ ඇය ස්විඩන් ජාතිකයකු බවය. නමුත් මේ කිසි තොරතුරක් සනාථ වී නොමැති අතර වැඩි මතය වන්නේ නසේරිගේ මව ඉරාන ජාතික ගෘහ සේවිකාවක් බවය.

නසේරි ප්‍රකාශ කරන්නේ 1977 ෂා රජුට එරෙහි විරෝධය හේතුවෙන් තමන් ඉරානයෙන් නෙරපා හරින ලද බවත්, රටවල් කිහිපයක අයදුම්පත් සම්බන්ධ දිගු සටනකින් පසුව බෙල්ජියමේ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් විසින් සරණාගත තත්ත්වය ප්‍රදානය කළ බවත්ය. කෙසේ වෙතත් මෙම ප්‍රකාශ ප්‍රතික්ෂේප වනුයේ ඔහු කෙදිනකවත් ඉරානයෙන් පලවා නොහරිනු ලැබූ බව පරීක්ෂණයෙන් හෙළි වූ නිසාය.

ඔහුට ප්‍රංශයේ සිට බි්‍රතාන්‍යය දක්වා ගමන් කිරීමට අවශ්‍ය වූ අතර ලන්ඩනයේදී ගමන් බලපත්‍රය ඇතුළු ලියකියවිලි ‍බ්‍රිතාන්‍ය ආගමන විගමන නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට නොහැකි විය. තම ගමන් බෑගය සොරකම් කරනු ලැබූ හෙයින් සිය ගමන් බලපත්‍රය ඇතුළු ලියකියැවිලි නොමැති බව නසේරි විසින් පවසන ලද්දේය. එසේ හෙයින් ආපසු හරවා එවන ලද නසේරිට චාල්ස් ඩිගෝල් ගුවන් තොටුපළේදී ද සිය අනන්‍යතාවය හා සරණාගත බව ඔප්පු කිරීමට නොහැකි වූයෙන් මගීන්ගේ පොරොත්තු කලාපයේ (Waiting Area) රඳවා තබාගන්නා ලද්දේය.

නසේරිගේ ප්‍රශ්නය පසුව ක්‍රිස්ටියන් බෝර්ගෙට් නම් ප්‍රංශ මානව හිමිකම් පිළිබඳ නීතිඥයකු විසින් භාරගන්නා ලද්දේය. මෙම ප්‍රශ්නය ඔහු විසින් බෙල්ජියමේ එක්සත් ජාතීන්ගේ සරණාගත මහ කොමසාරිස් වෙත ඉදිරිපත් කරන ලදුව ලැබුණු විසඳුම වූයේ තම අනන්‍යතාවය ඔප්පු කළ නොහැකි නසේරිට බෙල්ජියමට ඇතුළුවීමට අවසර ලැබෙන අතර පත් කරන ලද සමාජ ක්‍රියාකාරිකයෙකුගේ අධීක්ෂණය යටතේ එහි ජීවත් විය හැකි බවය. නසේරි එය ප්‍රතික්ෂේප කළේ ඔහුට එක්සත් රාජධානියට ඇතුළුවීමට අවශ්‍ය බව කියමිනි. එවර ප්‍රංශය හා බෙල්ජියම යන රටවල් දෙකම තම රටවල පදිංචිය ප්‍රදානය කරන ලද නමුත් තම ප්‍රියතම නාමය වූ සර් ඇල්ෆ්‍රඩ් මෙහෙරාන් නොහොත් ශ්‍රීමත් ඇල්ෆ්‍රඩ් මෙහෙරාන් යන නම ලියකියැවිලිවල නොතිබූ බැවින් ඒවාට අත්සන් කිරීම ඔහු ප්‍රතික්ෂේප කළේය. එය ඔහුගේ නීතිඥයා වූ බර්ගෙට්ගේ කලකිරීමට බොහෝ සෙයින් හේතු විය. පසුව ඔහුගේ තත්ත්වය පිළිබඳව ඔහුගේ පවුලේ අයට දැනුම් දුන් විට ඔවුන් ප්‍රකාශ කළේ ඔවුන්ගේ විශ්වාසය ඔහු, ඔහුට අවශ්‍ය ජීවිතය ගත කරන බවය.

ඉතින් මේ දිගු කාලය තුළ චාල්ස් ඩිගෝල් ගුවන් තොටුපොළෙහි පර්යන්ත අංක 1 හි නාසේරිගේ දෛනික කාර්යයන් වන්නේ රේඩියෝවට සවන් දීම, සිය රන් පැහැති පයිප්පයෙන් දුම් පානය කිරීම, මගීන්/අමුත්තන් විසින් මැක්ඩොනල්ඩ් අවන්හලෙන් මිල දී ගෙන සපයන ආහාර අනුභව කිරීම හා පර්යන්තයෙහි පළමු මට්ටමෙහි රතු බංකුවක වාඩි වී ගැඹුරු භාවනාවක යෙදීම වේ. එසේම ඔහුගේ බඩු භාණ්ඩ ඔහු අසලම වූ අතර දිනපොත ලිවීම හා ආර්ථිකය ගැඹුරෙන් අධ්‍යයනය කිරීම වෙනත් දේ වේ.

ඔහු ඉපදුනේ මොහමන් කරීම් නසරියා නමින් ඉරානයේය. නමුත් එසේ කීම හරියන්නේ නැත. නසරියා දිවුරා කියන්නේ ඔහු ඉරානියෙකු නොව ස්විඩනයේ බ්‍රිතාන්‍ය හෙදියකගේ පුතුකු බවය. ඔහු ජීවත්වන කෆ්කියානු ලෝකය එබඳුය. කුඩා කාලයේ ස්විඩනයේ සිට සබ්මැරීනයකින් ඉරානයට පැමිණීම හැර ඔහු කියන අන් සියල්ල සත්‍ය බව ඔබට සැක කළ හැකිය.

පර්යන්ත මිනිසා නොහොත් ප්‍රමාදම මගියා

මෙකී පරස්පර තොරතුරු මධ්‍යයේ අවුරුදු 16 ක් තිස්සේ ඔහු ලන්ඩන් බලා පියාසර කරන ගුවන් යානය පැමිණෙන තුරු බලා සිටින්නේය. නියමිත ලියකියැවිලි නොමැති වීම හේතුවෙන් නීතිවිරෝධී මගියෙකු ලෙස අත්අඩංගුවට පත්වන නසේරි තමන්ගේ අනන්‍යතාවය තීරණය කරනු පිණිස ප්‍රංශ රජය හා නීතිවේදීන් අතර නිල වාදය අවසන් වනතුරු දශක දෙකක් තිස්සේ බලා සිටින්නේය.

දේශපාලන සරණාගතයා, සිරකරුවා, පිටුවහලා, කැරලිකරුවා, මහත්මයා, ලෝක පුරවැසියා, මාධ්‍ය ආකර්ෂණිකයා, ලෝකයේ ප්‍රමාදම ගුවන් මගියා, The Terminal Man, සර් ඇල්ෆ්‍රඩ් තම ඇදහිය නොහැකි විශ්මිත ජීවිත කතාව පවසා සිටියි.

ඇත්ත වශයෙන් සර් ඇල්ෆ්‍රඩ් මෙහෙරාන්ගේ නියම නම එය නොවන්නේය. ඒ වනාහී බ්‍රිතාන්‍ය නිලධාරියකු විසින් ඔහු වෙත එවූ ලියුමක ආමන්ත්‍රණය Dear Si, Alfred ලෙස වූ බැවින් ඉන් ආරම්භ වූ නාමයක් වන්නේය.

ඔහුගේ මූලාරම්භය සොයාගත් විට සමහරවිට ඔහු පිටත්ව යනු ඇත. ඔහු ඇමෙරිකාවට යනු පිණිස ග්‍රීන් කාඩ් එකක් ලැබෙන තුරු සිටිනවා විය හැක. එංගලන්තයට යාම පිණිස බ්‍රිතාන්‍ය පාස්පෝට් එකක් ලැබෙන තුරු සිටිනවාත් විය හැක. ඒ අතරතුර කාර්ගෝ පෙට්ටි, පුවත්පත්, ප්ලාස්ටික් බෑග් මැද ඔහු හිඳගෙන සිටින්නේ පිටත්වීමට විනාඩි 10 කට පෙර ලැබෙනා ඇමතුම ඇසෙන තෙක්ය; “මගීන් කරුණාවෙන් සවන් දෙන්න. තමන්ගේ පෞද්ගලික ගමන් මලු සැමවිටම තමන් වෙතම තබා ගැනීමට සැලකිලිමත් වන්න.”

සර් ඇල්ෆ්‍රඩ්ගේ මේ දුක්ඛිත තත්ත්වය ලෝක ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂ ස්ටීවන් ස්පිල්බර්ග්ට චිත්‍රපට කතාවක් ලෙස පෙළගැස්වීමට පෙළඹ වූ අතර ටර්මිනල් නමින් බිහිවූ එම චිත්‍රපටයේ අග්‍රගන්‍ය නළු ටොම් හෑන්ක්ස් තම මව්බිමේ දේශපාලන කුමන්ත්‍රණයක් නිසා අමෙරිකානු ගුවන් තොටුපලක කිසි පිළිසරණක් නොමැතිව අතරමං වූ බෝල්කන් සංචාරකයෙකු ලෙස රඟපෑවේය. වාර්තා වන අන්දමට තම කතාවේ අයිතිය පවරනු පිණිස සර් ඇල්ෆ්‍රඩ්ට පවුම් ලක්ෂ තුනක් ගෙවනු ලැබූ අතර ඒ හැරෙන්නට ඔහුගේ ඉල්ලීම් ඉතා චාම් ඒවා විය. සෑම දිවා ආහාර වේලාවකටම ගුවන් තොටුපළේ මැක්ඩොනල්ඩ් අවන්හලෙන් මාළු පැස්තෑලක් සමග ෆ්‍රෙන්ච් ෆ්‍රයි එකක් ඒ සරල අවශ්‍යතා විය. නමුත් මේ සියල්ලට පසු අවසානයේ චිත්‍රපටයේ අන්තර්ගත වූ කතාව සර් ඇල්ෆ්‍රඩ්ගේ කතාවට වඩා වෙනස් එකක් විය.

පර්යන්ත මිනිසා නොහොත් ප්‍රමාදම මගියා

මෙසේ නසේරි වසර 16 ක කාලයක් ගුවන් තොටුපොළෙහි වාසය කිරීම අවසන් වූයේ 2006 ජූලි මාසයේ දිනක ඔහු රෝහල් ගත කිරීම නිසාය. එසේ වූ වහාම ඔහු ජීවත් වූ රතු බංකුව අතුරුදන් කරනු ලැබීය. 2007 ජනවාරි අග ඔහු රෝහලෙන් පිට වූ අතර ගුවන් තොටුපොළේ රතු කුරුස කමිටුව විසින් නසේරිව ගුවන් තොටුපොළට ආසන්න හෝටලයක රඳවන ලද්දේය. ඉන්පසුව 2007 මාර්තු 06 දින නසේරි පැරිසියේ පුණ්‍යායතන රැඳවුම් කඳවුරකට ඇතුල් කරන ලද අතර 2022 සැප්තැම්බරයේ යළි ගුවන් තොටුපොළේ වාසය පිණිස පැමිණෙන්නේය. එසේ වුවද ඉන් සති දෙකකට පසුව 2022 නොවැම්බර් 12 වෙනිදා හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් නසේරි රෝහල්ගත කළ ද එදිනම ඔහු ජීවිතක්ෂයට පත් විය.

සර් ඇල්ෆ්‍රඩ්ගේ කතාව අවසන් කිරීමට පෙර ඔහුගේ ජීවිත කතාව අපට පැවසූ ඇන්ඩෘ ඩොන්කින් මෑතකදී පැවසූ දෙයකින් මේ සටහන අවසන් කළ යුතුය.

සර් ඇල්ෆ්‍රඩ් වනාහී එක්තරා ආකාරයක අයෙකු වන අතර පොත ලිවීමේදී ඔහුව හොඳින් දැන හඳුනා ගැනීමට ලැබීම මට මහත් සතුටක් විය. පොත මුද්‍රණය කොට අවසන් වූ පසු එහි පිටපතක් ප්‍රදානය කිරීම පිණිස ඔහු හමුවීමට ගුවන් තොටුපොළට ගිය මොහොත මට අමතක නොවේ. ඒ වනවිටත් ඔහු ගුවන් තොටුපොළෙහි පොත්හලකින් එහි පිටපතක් මිලට ගෙන කියවමින් සිටියේය. පොත කියවා අවසන් වූ පසු ඔහුගේ මුහුණෙහි ඇති වූ සතුට හා දීප්තිය මට තවමත් මතකය. “විශිෂ්ටයි” ඔහුගෙන් පිට වූ වචනය විය.

ඔහු තම අවසන් සති දෙක ගත කරන්නට යළි ගුවන් තොටුපොළට පැමිණියේය. ඔහු හෘදයාබාධයට ලක් වූයේ සෙනසුරාදා දිනක කාර්ය මණ්ඩල දිවා ආහාර පැයේදී වුවද වහා වෛද්‍ය ආධාර සපයන ලද්දේය. එහෙත් ඔහු නැවත ඇස් හැරියේ නැත. මට සතුටක් වූයේ ඔහු තම අවසාන මොහොත ගත කිරීමට ගුවන් තොටුපොළට පැමිණීමය. මන්ද, මා විශ්වාස කරන අන්දමට ඔහුගේ නියම හා ප්‍රියතම නිවහන වූයේ පැරිසියේ චාල්ස් ඩිගෝල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළය.

● නිමල් ෆ්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment