විලිලැජ්ජාව!

ඉඩෝරයට වෙළුණු වෙල් ඉපනැල්ලේ කොල්ලො වගයක් විකට් කූරු හිටවගෙන ක්‍රිකට් ගහනවා. කම්මැලි හින්දා මාත් ගියා කිට්ටුවට. මගේ ඇස් අදහන්න බැරි වුණේ වෙලේ ක්‍රිකට් ගහන කොල්ලො අතරේ ක්‍රිකට් තරු වගයකුත් දැක්කාම.

මුලින්ම දැක්කෙ මං තිසර පෙරේරා. තිසර ගහනවාට වඩා බෝල පලනවා. ඒ කාලෙ බෝල පැලුවාද? කැච් පැලුවාද නැත්නම්? තිසර ගහපු බෝලයක් පැලිලා වෙලේ මැච් එක නතර වෙලා ටිකකට. මං තිසර ළඟට ගියා අන්න ඒ වෙලාවේ. “මොකද මේ වෙලේ ක්‍රිකට් ගහන්න හිතුණෙ?” මං ඇහුවා තිසරගෙන්. තිසර වේළුණු නියර උඩ වාඩි වෙලා කථා කළා: “දැන් ඉතින් නිවාඩු පාඩුවේ ඉන්න හින්දා ඕන තැනක ක්‍රිකට් ගහන්න පුළුවන්.”

“ඇයි මොකද නිවාඩු පාඩුවේ?” මං ඇහුවා ඔහුගෙන්.

“නෑ ඉතින්, දැන් අයිපීඑල්, සීපීඑල්, බීපීඑල්වලට අපට කථා කරන්නෙ නෑනෙ. එල්පීඑලුත් මට ෂුවර් නෑ,” තිසර කනගාටුවෙන් වගේ කියා සිටියා. “මට හිතෙනවා තිසර සමුගත්තා කල් වැඩිද මන්දා කියල,” මගෙන් ඊළඟට ඇසුණා. තිසර ඉඩෝරය ගිලපු අහස දිහා බලාගෙන හිටියා. සුසුමක් හෙළලා හඬ අවදි කළා ඔහු: “ඇත්තටම මගෙ ඇඟේ තව ක්‍රිකට් තිබුණා. ඒත් ඇඟේ තිබුණාට වැඩක් නෑ. පස්සෙන් සපෝට් එකකුත් ඕන වෙනවා.” තිසරගේ උත්තරේට කුතුහලයක් ඇති වුණා මට. “තිසරට පස්සෙන් සපෝට් එකක් ලැබුණෙ නැද්ද?” මොහොතක් නිහඬව ඉඳලා මෙහෙම කිව්වා තිසර: “මං ඕකට උත්තර දෙන්න කැමති නෑ.” ඔහුට තිබුණෙ කලකිරීමක්. හාරා අවුස්සන්න හොඳ නෑ ඒවා. ඒත් කට වට කර වැට බඳින්න බෑ. කට කථා කළා මගේ: “දිනේෂ් චන්දිමාල්ට නම් තවම පස්සෙන් සපෝට් එක ලැබෙනවා. මාලිංගටත් අන්තිම මොහොත වෙනකන් සපෝට් එක ලැබුණා.” නිහැඬියාවක් රජ කළා. ආයෙ බිඳුණා නිහඬතාව: “ඔයා ඔතනදි වැරදියි. ඔය දෙන්නාම අද ටීම් එකේ නෑ. ඇත්ත කිව්වොත් ෆේස්බුක් නොතිබුණා නම් අපි තවම ටීම් එකේ.”

මං තිසර ළඟින් මාරු වුණේ මැතිව්ස් ළඟට. ඇන්ජලෝ මැතිව්ස් වෙලක ක්‍රිකට් ගහනවා දැක්කමයි මේ. “හරිම දුකයි ඇන්ජි බංගලියන්ට අපි පැරදිච්ච විදිය ගැන,” මගෙ ඇස්වලට කඳුළු වැටුණා මැතිව්ස් ළඟදී.

“මටත් එහෙමයි. ඒත් අපි පැරදුණේ ටීම් එකේ වරදක් නිසා නෙවෙයි,” ඇන්ජි කුඹුක් ගස් හෙවණක ඉඳන් කථා කළා. “ඒ කිව්වෙ?” “ඒක අපේ කෝච්ලාගෙ වරද.” කෝච්ලාගේ? මගෙ කුතුහලය මටම දරන්න බෑ. “දැන් අපේ එක කෝච් කෙනෙක් අවුරුදු ගාණක් බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකාරයෙක් විධියට හිටියා. තව කට්ටිය එහේ පුහුණු කළා. එහෙම ඉඳලාත් රෑට පින්න වැටෙනවා කියල ඔවුන්ට බැරි වුණා කියන්න කොල්ලන්ට.” මට ඇන්ජි එක්ක එකඟ නොවී ඉන්න බැරි වුණා. “එතකොට අර…..” ප්‍රශ්නෙ අහන්න කලින්ම ඇන්ජි කථා කළා: “ඇයි ඒක වරදක්ද? සකිබල්ලා ක්‍රිකට් දන්නවා වෙන්න පුළුවන්. ඒත් මහත්තුරුන්ගෙ ක්‍රීඩාවක් බව ක්‍රිකට් දන්නෙ නෑ.” සම්පූර්ණ ඇත්ත ඇන්ජි. “ඒත් එවුන්ගේ කොටාත් අන්තිමට කිණ්ඩිය දැම්මා නේද ඇන්ජි හෙල්මට් එකක් අරන්?”

“ඒකට කමක් නෑ. එවුන්ට අපි උත්තර දෙන්න යන්නෙ නෑ. අපි උත්තර දෙන්නෙ වෙන එවුන් ලව්වා. ඇඬෙන්න. මතකනෙ නිදහස් ට්‍රෝපි එක?”

මං බැලුවා පස්ස හැරිලා කවුද උත්තර දුන්නෙ කියල. හප්පා! මාව උඩ ගියා. පර්සි අංකල්. ජාතික කොඩියකුත් අතට අරගෙන. “බය වෙන්න එපා පුතා! එක හීනෙන් එළිවෙන්නෙ නෑ. ඔහොම යං! ඔහොම යං!” එහෙම කියල මාරු වුණේ පර්සි අංකල් මටත් ඇන්ජිටත් තට්ටුවක් දාගෙන. මං හොල්මන් වෙලා හිටියේ. ඒත් හොල්මන් වෙන්න දෙයක් නෑ. හොල්මන් තියෙන ඉසව්වට තමයි පර්සි අංකල් ගියේ. ඔව්, කුඹුක් ගහට එහා මිනී කනත්තට.

බයත් චකිතයත් දලුලද්දි ආයේ ස්ටාට් කරලා තිබුණා මැච් එක. මං පැවිලියන් එකට, නෑ බෝක්කු කට උඩට අවතීර්ණ වුණා. ඒත් කට්ටිය ඒ ගමන ගහන්න අරන් තිබුණෙ ලෙදර් බෝලෙකින් නෙවෙයි. ටෙනිස් බෝලෙකින්වත් නෙවෙයි. මාව කැරකිලා ගියා ඒක දැක්කාම. ඒක ඔට්ටපාලු බෝලයක්. පුදුමයි ඒත් ඇත්තයි! බලාගෙන හිටියා මං අලුත් මැච් එක දිහා කට ඇරගෙන. ඔට්ටපාලු බෝල මැච් එක.

“මේවා තමයි ඉස්සරහට ලංකාවේ ක්‍රිකට් කියලා ඉතුරු වෙන්නෙ!”

කවුද මේ බෝක්කුවේ වාඩි වෙලා ඉන්න කොණ්ඩෙ සුදු නාකි මනුස්සයා? ක්‍රිකට් ගැන නම් මෙලෝ මළදානයක් දන්න පාටක් නෑ!

“මං කියන්නෙ මේ ළමයින්ට ක්‍රිකට් උගන්වන්න කලින් විනය උගන්වන්න ඕන. අපි ක්‍රිකට් ගහන කාලෙ මොන තරම් විනයක් තිබුණාද! අපි අවුට් වුණාට පස්සෙ අතේ ග්ලවුස් දෙක ගැලෙව්වෙත් ග්‍රවුන්ඩ් එකෙන් එළියට ඇවිල්ලා!”

බැලුවා මං කවුද කියල මේ ක්‍රිකට් ඔස්තාද්. සමහර විට මෙයාත් ඔට්ටපාලු බෝලවලින් ක්‍රිකට් ගහන්න ඇති ඉස්සර. දෙයියනේ! මාව ගැස්සිලා ගියා කවුද ඉන්නෙ කියල දැක්කාම. මේ අපේ අර්ජුන රණතුංග අයියා.

“සමාවෙන්න අයියා! මට අඳුනගන්න බැරි වුණා!”

“නෑ, නෑ. කිසිම සමාවක් ඉල්ලන්න දෙයක් නෑ. ඒත් මෙන්න මෙතන ක්‍රිකට් ගහන ක්‍රිකට් තරු නම් ඒකට සමාව ඉල්ලන්න වටිනවා.” මං බැලුවා අර්ජුන අයියා කථා කරන දිහා. “මොකද කියනවා නම් මේ කවුරුවත් අපිව හඳුනන්නෙ නෑ. මතකනෙ ලයනල් මෙන්ඩිස් පුහුණුකාරතුමා කිව්ව දේ. මේ අය අපේ පළවෙනි ටෙස්ට් කැප්ටන්වත් දන්නෙ නෑ!”

අර්ජුන අයියාගේ කතාව ඇදෙනවා. ඇදුණාට මොකෝ! වටිනා කියන මනුස්සයෙක්ගෙ කතාවක්. ඒක අහන්න. “කොහොමත් මේ අර්බුදය එන්න කලින්ම මං කිව්වා අපි ළඟදීම බංගලියන්ගෙනුත් කනවා කියල. ඒක දැන් වෙලා. වැටෙන්න තැනක් නෑ මීට වඩා. ප්‍රශ්නය කොතනද මෙතන? ප්‍රශ්නය තමයි උඩ ඉන්නෙ හොරු වීම. හොරු උඩ ඉද්දි යට විනයක් හැදෙන්නෙ නෑ! හසරංගලා, අසලංකලා, කුසල්ලා, පැතුම්ලා මං හිතන්නෙ අපේ පරණ ක්‍රිකට් බලන්න ඕන වීඩියෝවලින්වත්. එහෙම බැලුවා නම් තේරුම් ගනියි ඇනිබල් නෙවෙයි, බී.සී. කුරේ කියල කෙනෙකුත් අම්පයර්කම කළා කියල ක්‍රිකට්වල. කළේ වෙන රටකට නෙවෙයි, මේ රටේම. එහෙම වෙලාත් එයා දුන්නු විනිශ්චයට රැව්වාද ගෙරෙව්වාද අපි!”

බලන් හිටියා මං අර්ජුන් කුමාරයාගේ කතාව. අහන්න වටිනවා ඇත්ත වශයෙන් ඒක. ඒත් අහන්න වෙලා තියෙන්නෙ අපට ඒ කතා නෙවෙයි. අර්ජුන් කුමාරයාලගේ අයියලා, මල්ලිලා, එයාලගේ ලොක්කලා පාර්ලිමේන්තුවේ, මාධ්‍ය හමුවල කථා කරන ඒවා.

“අර්ජුන අයියාට හිතෙන්නෙ නැද්ද දැන් ඇති කියල!”

ඇයිද මන්දා එහෙම ඇහුණෙ මගෙන් අර්ජුන අයියාගෙන්.

“නෑ. කවදාවත් නෑ. මොකද ක්‍රිකට් කියන්නෙ මගෙ ඇඟේ තියෙන එකක්. දේශපාලනයත් එහෙමයි. අපේ පවුලටම එහෙමයි. ඒ හින්දා ඒවා වෙනස් වෙන්නෙ නෑ. ඒ දෙක දාලා යන්නෙත් නෑ. මැරෙනකන් මං හොරුන්ට විරුද්ධව සටන් කරනවා!”

හොරු! කියල ඇහුණු ගමන් මගෙ පිටිපස්සෙන් ‘කෝප්!’ කියල සද්දයක් ආවා. මං පිටිපස්ස බැලුවා. එතකොට මං දැක්කෙ පිටිපස්සෙ මහ සෙනඟක්. දරුමල්ලො වඩා ගත්තු ගෑනු පිරිමි වගේම සෙනඟ අස්සෙ සුදු ජාතික ඇඳුමෙන් සැරසුණු පාර්ලිමේන්තු මන්ත්‍රීලා කීප දෙනෙකුත් පෙනුණා. ඒ අය හඳුනගන්නත් අමාරු වුණේ නෑ මට. දයාසිරි ජයසේකර, අනුර කුමාර, චරිත හේරත්, ඉරාන්, ශානක්‍යයන්, මරික්කාර්, දුමින්ද, හේෂා වගේ මන්තිරි මුහුණු ඇස් දෙකටම පෙනුණා මගෙ.

“ඔව්, හොරෙක් එක්ක ඉන්න බැරි හින්දා අපි ආවා මෙහෙට මැච් එකවත් බලන්න!” ඒ, අනුරගෙ කටහඬ. අනුර කෝප් එකෙන් ඔට්ටපාලු බෝල මැච් එකක් බලන්න ආපු එක ගැන නම් පුදුම හිතුණා මට. “පුදුම වෙන්න දෙයක් නෑ සහෝදරයා. අපිත් ඉස්සර ක්‍රිකට් ගැහුවේ ඕවායෙන් තමයි!” අනුර සහෝ හීන් හිනාවක් දාගෙන කට පැත්තෙන් කථා කළා. “දුක නැද්ද අපි පැරදුණු විධියට බංගලියන්ට?” ඉස්සරහට රටේ ගැලවුම්කාරයාගෙන් වෙන කෙනාගෙන් ඇහුවා මං. සහෝ උත්තර දුන්නෙ දුක – සාංකාවක් ගෑවිලාවත් නැතිව:

“බංගලියන්ට අපි පැරදුණේ අද ඊයේද සහෝදරයා? මීට අවුරුදු තුන හතරකට කලින්ම අපි ඔවුන්ට පැරදිලා. ඔවුන්ගෙන් ණය ගන්න තරම් අපි දෙකට නැවුණානෙ හැබෑට. ඒ කියන්නෙ අපට ආයෙ ඇඩ්‍රස් නෑ කියන එක!”

“ඒත් අර නයි කොටා ඇන්ජිට දාපු හෙල්මට් කින්ඩිය?”

“පිස්සුද සහෝදරයා! අපි නයින්ගෙන් නෙවෙයි, නයින්ටත් පල්ලෙහා ඉන්න කුණුකසළ කන කපුටන්ගෙනුත් කිණ්ඩි කාලා තියෙනවානෙ. ඉතිං ඕවා මොනවද!”

අනුර සහෝගේ කතාවට ටිකක් ඇඟට හයියක් ආවා මට. ඒ හයියෙන් වෙලෙන් ගොඩ බහිද්දි මට මහපාරේ පෙනුණා බෙන්ස් එකක් නතර කරලා තියෙනවා. ළං වුණා මං කාරෙකට. කාරෙකේ වීදුරු කළු කරලා. වීදුරුවට ඇහැ තියන් ඉද්දි මෙන්න වීදුරුව ඇරුණා. අව් කණ්ණාඩියක් දාගත්තු රැවුලවත් බාලා නැති, කොණ්ඩෙ සුදු අංකල් කෙනෙක් මගෙ මුහුණ දිහා බැලුවා. මාත් ඒ මුහුණ දිහා බැලුවා. අන්න එතකොට අව් කණ්ණාඩිය ගැලවුණා. ඔහෙප්පලයන්! හතුරුසිංහ ලොක්කා.

“මෙහේ මොනවාද කරන්නෙ හතුරු?” මගෙන් ඇහුණා. “ඇයි ලංකාව මට තහනම්ද?” ලොක්කා ඇහුවේ ඔරොප්පුවට වගේ මගෙන්. අමතක කළා මං ඒක. වෙන ප්‍රශ්නයක් ඇහුවා එයාගෙන්. “ඔයාත් දැන් බංගලියන්ගෙ පැත්තට ගියාද?” අව් කණ්ණාඩිය ආයෙත් පැළඳගත්තු හතුරු කිව්වා මෙහෙම: “පිස්සුද මල්ලි! බංගලිලා එක්ක හිටියත් මගේ තියෙන්නෙ සිංහ ලේ. කොටි ලේ නෙවෙයි. සිංහල කොටි දැන් නෑ. හිටපු එවුන් පරලෝකෙ. ඒත් දන්නවානෙ මට ඇරියස් එකක් තියෙනවා කියල ශ්‍රී ලංකා ක්‍රිකට්කාරයො එක්ක.” එහෙම කියනවත් එක්කම හතුරුගේ කාරෙක අතුරුදන් වුණා පාරෙන්. අරගලකාරයෝ කොහෙත් ඉන්න පුළුවන් කියල හිතෙන්න ඇති හතුරුට. මාත් පාරෙන් ගොඩ වුණා ගෙදරට. පය තියද්දි ගෙදරට කොල්ලා ටීවී එක දාගෙන බලන් ඉන්නවා ඇෆ්ගනිස්ථාන – අයර්ලන්ත මැච් එකක්. මාත් වාඩි වුණා එතනට සන්තෝසෙන්.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment