බද්ද මගහරින සල්ලිකාරයන්ට සද්ද නැතුව දැල එළයි

434

රට මුහුණ දී සිටින ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අනුගමනය කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග හමුවේ මේ වන විට අතිමහත් බහුතර සාමාන්‍ය ජනයාට විශාල බදු බරකට සහ මිල පීඩනයකට මුහුණ දීමට සිදුව ඇත. මේ නිසා අපට හැඟෙන්නේ සිදුකරමින් පවතින ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගවල පීඩාව (වේදනාව) වැඩි වශයෙන් විඳීමට සිදුව ඇත්තේ භාණ්ඩ හා සේවා මත පනවන වක්‍ර බදු හරහා සාමාන්‍ය ජනයාටම බවයි. එසේම බදු ගෙවිය යුතු සහ බදු ගෙවීමට හැකියාව ඇති බොහෝ දෙනෙක් බදු ගෙවීම් පැහර හරින බව ද නොරහසකි. එසේ නම් ඒ අය බදු දැලට එකතු කරගත යුතු අතර එසේ කිරීමෙන් සහ ඒ අයගෙන් නිසි බදු ආදායම් උපයා ගැනීමෙන් ඇත්ත වශයෙන්ම භාණ්ඩ හා සේවා මත පනවන වක්‍ර බදු හරහා රජයට අයකරගත යුතු බදු ආදායම් ප්‍රතිශතය අවම වේ. ඒ නිසා මේ බදු පැහර හරින ඉහළ ආදායම් ලබන ධනවත් පිරිස් හඳුනාගෙන ඔවුන් ගෙවිය යුතු නිසි බදු ආදායම හඳුනාගෙන එය රජයට අය කර ගැනීමට කටයුතු කිරීමෙන් රජයට සෘජු බදු හරහා විශාල බදු ආදායමක් උපයාගත හැකිවනු ඇත. ඒ අනුව බදු සංයුතිය තුළ ඇතිවන වෙනස වන්නේ වක්‍ර බදු ආදායම් ප්‍රතිශතය අඩු වී සෘජු බදු ආදායම් ප්‍රතිශතය වර්ධනය වීමයි. එනම් බදු ගෙවීමට හැකියාව සහ ශක්තිය ඇති අයගෙන් වැඩි බදු ආදායමක් උපයා ගැනීම සිදුවේ. මේ වෙනස කිරීම ගැන දීර්ඝ කාලයක් තිස්සේ හැම රජයක් යටතේම කතා කර තිබුණත් එය මේ වන තෙක් යථාර්ථයක් වී නැත. ඒ නිසා හැම විටම සිදුව ඇත්තේ භාණ්ඩ හා සේවා මත ඉහළ වක්‍ර බදු ප්‍රතිශත පනවා රජයේ බදු ආදායම් ඉලක්ක සපුරා ගැනීමයි. එහෙත් සෘජු බදු ආදායම් වර්ධනය කර ගැනීමෙන් භාණ්ඩ හා සේවා මත පනවන බදු බර අඩු කළ හැකි වේ. ඒ නිසාම වක්‍ර බදු බර නිසා පීඩාවට පත්ව සිටින ජනයාට යම් සහනයක් ද ලබාදිය හැකි වේ.

බද්ද මගහරින සල්ලිකාරයන්ට සද්ද නැතුව දැල එළයි

මේ පසුබිම අප පැහැදිලි කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉකුත් මාර්තු 07 වැනිදා නිකුත් කර තිබූ නිවේදනයක් නිසාය. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මියගේ අත්සනින් නිකුත් කර තිබූ එම නිවේදනයේ සඳහන් පරිදි ඉහළ වත්කම් සහිත පුද්ගලයන් පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සිය සමීප අවධානය යොමු කිරීමට තීරණය කර ඇත. එනම් ඉතා ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ගේ බදු අනුකූලතාව එනම් ඔවුන් බදු ගෙවනවා ද යන්න පිළිබඳව ඉදිරියේ දී වඩා සමීප ලෙස අවධානය යොමු කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බවයි. මේ කියන සමීප අවධානය යනු අන් කවරක්වත් නොව ඒ අය බදු ගෙවන්නේ ද යන්න සොයා බලා බදු නොගෙවන සහ නිවැරදි බද්ද නොගෙවන පිරිස්වලින් එම බදු මුදල් නිසි පරිදි රජයට අය කර දීමට ක්‍රියාමාර්ග ගැනීමයි. මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් විය.

“ඉහළ ආදායම් ලබන සහ ඉහළ වත්කම් සහිත පුද්ගලයන් සම්බන්ධ අධීක්ෂණයන් කිරීම සඳහා විශාල බදු ගෙවන්නන්ගේ කාර්යාලය යටතේ පිහිටුවා ඇති ඉහළ වත්කම් සහිත පුද්ගල අංශය වෙත අතිරේක නිලධාරීන් සහ තාක්ෂණික පහසුකම් මේ වන විට ලබා දී ඇත. ශ්‍රී ලංකාවේ බදු පරිපාලනය තුළ සාධාරණත්වය සහ විශ්වාසය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් දරන ප්‍රයත්නයේ තවත් එක් පියවරක් වන මෙයින් ඉහළ වත්කම් සහිත පුද්ගලයන් තම ආදායම සඳහා නිවැරදි බදු මුදල ගෙවා තම දායකත්වය ලබා දෙන්නේද යන බව තහවුරු කර ගනු ලැබේ.

මෙහි ප්‍රථම පියවර වශයෙන්, මෙම අංශය විසින් හඳුනාගත් ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ගේ ආදායම් වාර්තා කිරීම් යාවත්කාලීන වී තිබේද යන්න තහවුරු කරගැනීමට කටයුතු කරනු ඇත. තවද එම පුද්ගලයන් සහ ඔවුන්ගේ උපදේශකයන් සමඟ සමීපව කටයුතු කරමින් ආදායම් වාර්තා කිරීමේ ක්‍රියාවලියේ දී සිදුවිය හැකි දෝෂ සහ අඩුපාඩු කලින් හඳුනාගෙන ඒවා වළක්වා ගැනීමට කටයුතු කරනු ඇත. මෙම අංශය විසින් ඉහළ වත්කම් සහිත බදු ගෙවන්නන් හඳුනාගැනීම සඳහා අතිරේක අවදානම් තක්සේරු කිරීම් සහ බදු ගෙවන්නන් සම්බන්ධ මූල්‍ය ගනුදෙනු සහ ඔවුන්ට සම්බන්ධ සියලුම ආයතන හා තැනැත්තන් හඳුනාගැනීම සිදු කරනු ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ගේ බදු අනනුකූලතාවය (එනම් ඔවුන් බදු ගෙවන බව) හඳුනාගැනීමට උපකාරී වන තොරතුරු ලබා ගැනීම සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තර සංවිධාන සමඟ පවතින සහයෝගීත්වය වැඩිදියුණු කර ගැනීමට කටයුතු කරනු ලැබේ. මූල්‍ය ආයතන, මූල්‍ය බුද්ධි ඒකකය සහ ශ්‍රී ලංකාව සහ විදේශ රාජ්‍යයන් 45 ක් සමඟ පවතින පුළුල් ගිවිසුම් ජාලය හරහා වෙනත් බදු පරිපාලන ආයතන සමඟ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමීපව කටයුතු කරනු ලැබේ. මෙතෙක් හෙළිදරව් නොකරන ලද ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ගේ ආදායම් සහ අනෙකුත් වත්කම් හඳුනාගැනීම සඳහා මෙම සහයෝගිතා උපකාරී වේ.

මේ කියන දෙයින්ම පැහැදිලි වන්නේ ඇතැම් ධනවත් අය සතුව මෙතෙක් හෙළිදරව් නොකරන ලද ඉහළ වත්කම් ඇති බව සහ ඔවුන් සිය ආදායම් නිසි ලෙස අනාවරණය කිරීම සිදු නොකරන බවයි. ඒ නිසාම එවැනි පිරිස්වලින් රජයට නිසි ලෙස බදු අය නොවේ. එසේම මෙවැනි ඇතැම් අය බදු ගෙව්වත් නිවැරදි බදු වෙනුවට ගෙවන්නේ අඩු බද්දකි. ඒ නිසා මේ ඉහළ වත්කම් සහිත පුද්ගලයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ගේ බදු අනුකූලතාවය (ඔවුන් බදු ගෙවන බව) නිරන්තරයෙන් අධීක්ෂණය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කැපවී සිටින බවත්, එම ඉහළ වත්කම් සහිත පුද්ගලයන් වෙත වැඩි අවධානයක් යොමු කිරීම සහ ඔවුන් හා සමීපව කටයුතු කිරීම ඉහළ නැංවීම මඟින් ඔවුන් විසින් නියමිත බදු මුදල් ගෙවන බවට තහවුරු කර ගත හැකිය යන්න තම දෙපාර්තමේන්තුවේ විශ්වාසය බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය පවසයි. එය ඉතාම හොඳ දෙයකි. මේ නිසා වන්නේ රටේ බදු පදනම පුළුල් වීමයි. එනම් බදු ගෙවන ආයතන හා පුද්ගලයන් ප්‍රමාණය වර්ධනය වීමයි. එවිට තනි තනි පුද්ගලයන් මත පැටවී ඇති අධික බදු බර සමනය කිරීමට ද රජයට ඉඩ ප්‍රස්ථාව ලැබේ. මේ නිසා රටේ පහත වැටී ඇති බදු ආදායම් වර්ධනය කර ගැනීමේ දී සාමාන්‍ය ජනයා මත පැටවෙන අධික පීඩාව සමනය කරගෙන බදු ගෙවිය හැකි අයගෙන් රජයට වැඩි බදු ආදායමක් උපයාගත හැකිවීම සිදු වේ. මෙම ප්‍රවේශය හරහා රට මුහුණ දී සිටින තීරණාත්මක සමාජ – ආර්ථික ගැටලු ජය ගැනීම සඳහා රජයේ ආදායම් එකතු කිරීමේ ප්‍රයත්නයන්ට සහභාගි වීමට සහ දායක වීමට ඔවුන්ගේ ඇති කැමැත්ත වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය තවදුරටත් සිය නිවේදනයෙන් පවසයි. එසේම එම නිවේදනය මගින් මේ සම්බන්ධයෙන් මතුවන ප්‍රශ්න සඳහා වන පිළිතුරු ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සඳහන් කර ඇත. ඒ ගැන ද මේ ලිපිය මගින් මහජනයාගේ දැන ගැනීම සඳහා අපි මෙසේ සටහන් කරමු.

මේ වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉහළ ධනවත් පුද්ගල අංශය නමින් අංශයක් පිහිටුවා ඇති බව අප සඳහන් කර ඇත. එම අංශය වෙත දැනට සම්පත් දායකයන් 10 දෙනකු අනුයුක්ත කර තිබේ. එම කණ්ඩායම විගණනය, නීතිය, විශාල බදු ගෙවන්නන්ගේ විගණනය හා සංඛ්‍යානය යන ක්ෂේත්‍රවල අත්දැකීම් සහිත වෘත්තිකයන්ගෙන් සමන්විත වේ. එසේම මේ කියන ඉහළ වත්කම් සහිත පුද්ගලයකු නිර්වචනය කරන්නේ කෙසේද යන්න ගැන ඔබට ප්‍රශ්නයක් මතු විය හැකිය. මේ ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන පිළිතුර මෙසේය.

“ඉහළ වත්කම් සහිත පුද්ගලයා සඳහා දැනට සකස් කර ගත් නිශ්චිත අර්ථ දැක්වීමක් නොමැත. මෙම නිර්වචනය රටකින් රටකට විවිධාකාර වේ. මෙම අංශය විසින් ඉහළ වත්කම් සහිත බදු ගෙවන්නන්ගේ කාණ්ඩයේ ආදායම්, වත්කම් හා සැලසුම් ක්‍රමෝපායන් සම්බන්ධයෙන් මනා වැටහීමක් ලබාගන්නා විට මේ සඳහා නිශ්චිත සීමාවක් හඳුනාගනු ඇත. දැනට මෙම අංශය විසින් විවිධ ප්‍රභව ඔස්සේ ඉහළම ආදායම් වාර්තා කරන බදු ගෙවන්නන් පිළිබඳව සොයා බලනු ලබන අතර ඉහළ වත්කම් සහිත පුද්ගලයන් හඳුනාගැනීම් සඳහා තෙවන පාර්ශ්වවලින් ලැබෙන දත්ත, නිශ්චල දේපළ පිළිබඳ තොරතුරු, මූල්‍ය බුද්ධි අංශයේ දත්ත හා වෙනත් රටවල් සමඟ ඇති බදු ගිවිසුම් මඟින් ලබාගන්නා තොරතුරු ඇතුළු අනෙකුත් දත්ත මූලාශ්‍ර සමාලෝචනයට භාජනය කරනු ඇත.

බද්ද මගහරින සල්ලිකාරයන්ට සද්ද නැතුව දැල එළයි
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර

රටේ මේ කියන ඉහළ වත්කම් සහිත පුද්ගලයන් කොපමණ පමණ ප්‍රමාණයක් සිටින්නේද? මෙය කිසියම් විමර්ශන ක්‍රියාවලියකින් පසු සොයාගත යුත්තකි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉහළ වත්කම් සහිත පුද්ගල අංශය විසින් ආරම්භයේදී ඉහළ වත්කම් සහිත පුද්ගලයන් සිය දෙනකුගෙන් (100) යුත් කණ්ඩායමක් හඳුනා ගැනීමට නියමිතය. ඉන්පසු එම අංශය මගින් ඔවුන්ගේ ආදායම, වත්කම් හා වාර්තා ගොනු කිරීමේ ඉතිහාසය සම්බන්ධයෙන් ගැඹුරු සමාලෝචනයක් සිදු කරනු ඇත. ඉහත කාර්යයේ ප්‍රගතිය සමඟම සිදු කරන සමාලෝචන හා අඛණ්ඩ අධීක්ෂණය යටතේ අනෙක් ඉහළ ධනවත් පුද්ගලයන් ද මෙම කාණ්ඩයට ඇතුළත් කර ගැනීමට සැලසුම් කර ඇත.

එසේම මේ ක්‍රියාවලියේ දී ආශ්‍රිත හෝ සබැඳි කණ්ඩායම් වශයෙන් අදහස් කරන්නේ කවුද? එනම් මෙම ඉහළ වත්කම් සහිත පුද්ගලයන් විසින් පාලනය කරනු ලබන සමාගමක්, පෞද්ගලික භාරයක් වැනි ඕනෑම සබැඳි හෝ ආශ්‍රිත අස්ථිත්වයක් මෙහිදී අදහස් කරන බවත් තවද ඔවුන්ගේ කාලත්‍රයා සහ දරුවන් වැනි පවුලේ සාමාජිකයන්ගේ බදු වාර්තා ගොනු කිරීම් කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී සමාලෝචනය කරනු ලබන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. මේ ක්‍රියාවලියේ දී වඩා ඉහළ අවධානමක් සහිත අවස්ථා යනුවෙන් අදහස් කරන්නේ අක්වෙරළ ආයෝජන ව්‍යුහයන් පැවතීම ඇතුළු සංකීර්ණතා සහිත ව්‍යාපාර හෝ ඔවුන් ආදායම හෝ වත්කම් වශයෙන් වාර්තා කරනු ලබන දේ සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් හඳුනාගත් දේ අතර වෙනස්කම් පැවතීම වැනි බදු අනනුකූලතා සඳහා දායකවිය හැකි තත්ත්වයන් ඇති අවස්ථා ඉහළ අවදානමක් සහිත අවස්ථා යනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අදහස් කරයි. මෙලෙස ඉහළ අවදානම් ලෙස හඳුනාගෙන ඇති ලිපිගොනු වඩාත් සමීපව පරීක්ෂාවට ලක් කිරීමට සහ ඒවා සුදුසු අනුකූලතා ක්‍රියාමාර්ගවලට භාජනය කිරීමට ද නියමිතය.

මින් පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉහළ වත්කම් සහිත පුද්ගල අංශයක් පිහිටුවා තිබුණද, මෙම අංශයේ කාර්යභාරය තුළ ඉහළ පුද්ගලයන්ගේ බදු අනුකූලතාව වෙත ප්‍රවේශ වීමේ ක්‍රමවේදයක් වැඩිදියුණු කර නොතිබුණි. මෙම නව අංශය සතුව එම කාර්යටම කැප වූ සම්පත් දායකයන් දස දෙනකු සිටී. ඔවුන් විසින් මෙම ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ගේ බදු අනුකූලතාව තහවුරු කරගැනීම පිණිස එම පුද්ගලයන් වෙතම පමණක් අවධානය යොමු කරනු ලබනු ඇත. මෙම සම්පත් දායකයන් බදු, නීතිය, සංඛ්‍යානය සහ විශාල බදු ගෙවන්නන් පිළිබඳ විශේෂඥ දැනුමකින් යුක්තය. ඔවුන්ට ඉහළ ධනවත් පුද්ගල කාණ්ඩය සමග ගනුදෙනු කිරීමට අවශ්‍ය විශේෂඥ දැනුම ලබා දී ඇත. වෙනත් රටවල බදු පරිපාලන කටයුතුවලින් ලත් අත්දැකීම් අනුව ඉහළ ධනවත් පුද්ගල කාණ්ඩය වෙත අවධානය යොමු කිරීම මගින් ඔවුන්ගේ බදු අනුකූලතාව කෙරෙහි සෘජු ධනාත්මක බලපෑමක් ඇති කරන බවට පෙනී ගොස් ඇත. එබැවින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අවශ්‍යවන්නේ මෙම ඉහළ ධනවත් පුද්ගල කාණ්ඩය වෙත වඩා සමීප අවධානයක් යොමු කරමින් නිවැරදි බදු ප්‍රමාණය ගෙවීම සඳහා ඔවුන්ට සහාය වීම බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ නිසා මෙය නව වැඩසටහනක් ලෙස ද සැලකිය හැකිය.

මෙහිදී මතුවෙන තවත් ප්‍රශ්නයක් වන්නේ රටේ සිටිය හැකි ඉහළ ධනවත් පුද්ගලයන් සංඛ්‍යාව සලකා බැලූ විට නිලධාරීන් දහ දෙනකු ඔවුන්ගේ බදු අනුකූලත්වය විමසීමේ මෙම කාර්යය සඳහා ප්‍රමාණවත් වනු ඇති ද යන්නයි. මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ගේ අනුකූලතාව සම්බන්ධයෙන් ක්‍රමෝපාය වැඩිදියුණු කිරීමේ මුල් කාලයේදී වඩා කුඩා කණ්ඩායම් වලින් ආරම්භ කිරීම ඉහළ වත්කම් සහිත පුද්ගලයන් සම්බන්ධ වැඩසටහන්වලදී සාමාන්‍යයෙන් සිදුවන්නක් බවයි. ආරම්භයේ දී ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ගේ කාණ්ඩය හා ඔවුන්ගේ උපදේශකවරුන් සමග ධනාත්මකව කටයුතු කරමින් ඔවුන්ගේ බදු අනුකූලතාව තහවුරු කිරීම පිණිස සහයෝගයෙන් කටයුතු කිරීමට මෙම නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් බව දෙපාර්තමේන්තුවේ අදහස වී ඇත. අනෙකුත් රටවල මෙම වැඩසටහන්වලින් ලද ප්‍රතිපල නිරීක්ෂණය කළ විට පෙනී ගොස් ඇත්තේ මෙම වැඩසටහන් වැඩිදියුණු වීමේ නැඹුරුතාවක් පවතින බවය. ඔවුන් සතුව බදු පදනම කෙරෙහි විශාල බලපෑමක් කිරීමේ හැකියාවක් පැවතීම ඊට හේතුවයි.

අප නම් සිතන්නේ මේ ධනවත් පිරිසගෙන් විශාල අතිරේක බදු ප්‍රමාණයක් උපයාගත හැකිවනු ඇති බවයි. එහෙත් මෙම කාණ්ඩයෙන් කොපමණ අතිරේක බදු ප්‍රමාණයක් රැස් කිරීමට කළ හැකිවනු ඇති ද යන්න කීමට තවමත් කල් වැඩිය. මේ පිරිස් සමග සහයෝගයෙන් කටයුතු කිරීමෙන් මෙන්ම විස්තරාත්මක බදු විගණනයන් සිදු කිරීම මගින් ඔවුන්ගේ බදු ගෙවීමේ අනුකූලතාව සැළකිය යුතු ලෙස ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියා සිටී. ප්‍රධාන කාර්යසාධන දර්ශක ස්ථාපනය කර වාර්ෂික පදනම මත මේ ගැන ප්‍රතිඵල වාර්තා කිරීමට ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

ඉහළ වත්කම් සහිත පුද්ගලයන් සිය බදු නිසි පරිදි ගෙවන බව තහවුරු කර ගැනීම සඳහා ඉහළ වත්කම් සහිත පුද්ගලයන් තම බදු වාර්තා සැපයීම නියමිත පරිදි කලට වේලාවට සිදු කර ඇති බවටත් තම ආදායම් සහ වත්කම් සියල්ල වාර්තා කර නිවැරදි බදු ප්‍රමාණය ගෙවා ඇති බවටත් තහවුරු කර ගැනීම පිණිස ඉහළ වත්කම් සහිත පුද්ගල අංශයේ කටයුතු කරන නිලධාරීන් විසින් නිතිපතා මෙම පුද්ගලයන්ගේ වත්කම් සහ ආදායම් පිළිබඳ තොරතුරු සමාලෝචනය කර තක්සේරු කිරීමට කටයුතු කරනු ඇත. මෙම ක්‍රියාවලිය මගින් නිවැරදිව සිය වාර්තා ගොනු නොකර බදු පැහැරහරින ධනවතුන් හඳුනාගැනීමට හැකි වේ. ඒ අනුව එම පුද්ගලයන් විසින් සිය බදු වාර්තා ගොනු කර නිවැරදි බදු ප්‍රමාණ ගෙවන බව තහවුරු කර ගැනීමට ඉහළ වත්කම් සහිත පුද්ගල අංශයට හැකි වේ. බදු අනනුකූලතාව සම්බන්ධයෙන් ඉහළ අවදානමක් ඇති අය මෙම අංශය විසින් හඳුනා ගැනීමෙන් පසු ඒ පිළිබඳව විගණන කටයුතු හා වෙනත් විමර්ශන කටයුතු ආරම්භ කිරීමට පියවර ගැනේ. ඒ අනුව ඔවුන් බදු දැලට කොටු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මෙකී ඉහළ වත්කම් සහිත පුද්ගලයන් සිය මුදල් විදේශ රටවල ද සඟවා තිබෙනවා විය හැකිය. ඒ ගැන දැනගත හැකි වන්නේ කෙසේද? ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බැංකු, මූල්‍ය බුද්ධි අංශය මෙන්ම ද්විත්ව බදු ගිවිසුම් පාර්ශ්වකරුවන් සමග ද සබඳතා පුළුල් කර ගැනීමට සැලසුම් කර ඇත. එමගින් විදේශ වත්කම් ඇතුළු ජාත්‍යන්තර ගනුදෙනු හා බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු අනාවරණය කරගත හැකි වනු ඇත.

මෙම වැඩසටහන හරහා ධනවත් පුද්ගලයන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ සැළකීමක් ලැබෙන්නේද ?

ඉහළ ධනවත් පුද්ගලයන් නියමිත වෙලාවට හා නිවැරදි ලෙස බදු වාර්තා ගොනු කරන්නේද යන්න තහවුරු කර ගැනීමට ඔවුන්ගේ බදු වාර්තා ගොනු කිරීම් සමාලෝචනය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මූලික අවධානය යොමු කෙරෙනු ඇත.

ඉහළ වත්කම් සහිත පුද්ගලයන් විසින් සිය බදු වාර්තා මගින් දක්වා ඇති තොරතුරු පැහැදිලි කර ගැනීමට මෙන්ම දේශීයව හා විදේශීයව පිහිටි ඔවුන්ගේ වත්කම් පිළිබඳ අතිරේක තොරතුරු ලබාගැනීම පිණිස ඔවුන් වෙත මෙම අංශය මඟින් ප්‍රශ්නාවලි සකස් කර යොමු කිරීමට නියමිතය. ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ට හෝ ඔවුන්ගේ උපදේශකයන්ට අවශ්‍ය විස්තර ලබාගත හැකි නිලධාරියකු වෙන්කර දෙනු ලබයි. බදු වාර්තා ගොනු කිරීමේ ක්‍රියාවලිය මූලික අවස්ථාවේදීම සිදු විය හැකි වෙනස්කම් හා හඳුනා ගැනීම සඳහා ඔහුගෙන් බදු ගෙවන්නාට අවශ්‍ය සහාය ලබාගත හැකිය. මෙමගින් ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ට සංකීර්ණ බදු තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීමට හා අදාළ බදු ක්‍රමවේදයන් සම්බන්ධ මාර්ගෝපදේශයන් ලබාගැනීමට ද අවස්ථාව ඇත. මෙසේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉහළ වත්කම් සහිත පුද්ගලයන් වෙත වැඩි අවධානයක් යොමුකර ඇත්තේ ඔවුන් නිවැරදිව බදු ගෙවීමට යොමු වෙමින් ගෙවිය යුතු නිවැරදි හා සාධාරණ බද්ද ඔවුන් විසින් ගෙවනු ඇති බවට සහතික කර ගැනීමටය. මේ හරහා ඇත්ත වශයෙන්ම වැඩි සෘජු බදු ආදායමක් උපයා ගැනීමට සමත් වුවහොත් එහි ප්‍රතිලාභ ලැබෙන්නේ අතිමහත් බහුතර වක්‍ර බදු ගෙවන ජනයාටය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment