දූෂණයට, වංචාවට, නාස්තියට සහ අක්‍රමිකතාවලට ලෝක වාර්තා පිහිටුවා ඇති ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය, ද්‍රව්‍ය සහ සේවා ආධාර මත දැඩිව යැපෙන රටකි. ඒ අතින් ද කලාපයේ සහ ලෝකයේ ද ‘ඉදිරියෙන්ම‘ සිටී. එම තත්ත්වය සැලකිල්ලට ගෙන ඊට ප්‍රතිකර්මයක් ලෙස දූෂණ, වංචා, නාස්තිය, අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා මැඬලීමට ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ සිවිල් සංවිධාන හරහා සැලකිය යුතු ‘ආයෝජනයක්’ මෙහි කර ඇත.

එලෙස ම රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට ද ජාත්‍යන්තර සහාය ශ්‍රී ලංකාවට ලැබී ඇත. ඊට ජපානය දක්වා ඇති දායකත්වය ඉහළ ම තත්ත්වයක ඇත.

නමුත් අවාසනාවකට එම වැඩසටහන් කිසිවක් සාර්ථක වූයේ නැත. එසේ වූවානම් මීට පෙර 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට ලබා ඇති ශ්‍රී ලංකාවට නැවතත් වොෂින්ටනය කේන්ද්‍රකරගත් එම ආයතනය ඉදිරියේ දණ නැමීමට සිදුවන්නේ නැත.

ශ්‍රී ලංකාවේ සමස්ත පාලන තන්ත්‍රය (කුමන පක්ෂය පාර්ලිමේන්තුවේ බලය සහ විධායකය හිමිකර ගෙන සිටියත්) දූෂිත බවට ජාත්‍යන්තරය ද නිල වශයෙන් පිළිගෙන ඇති අතිශය කනගාටුදායක සහ අවාසනාවන්ත තත්ත්වය තවමත් පාලක පැලැන්තියේ අවධානයට යොමුවී නොමැත.

මෑතක දී ජපානය එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල (UNDP) හරහා ඇමෙරිකානු ඩොලර් 931,000 (යෙන් මිලියන 137) ආසන්න ‘ආයෝජනයක්’ ශ්‍රී ලංකාවේ දූෂණය මැඬීමට යොදවන බව ප්‍රකාශ කළේය.

රටේ මූල්‍ය වගකීම ව්‍යවස්ථානුකූලව දරන පාර්ලිමේන්තුව මෙම ජපාන ‘ආයෝජනය’ සම්බන්ධයෙන් දැනුවත් ද? පාර්ලිමේන්තුව ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුවත් නොමැතිනම්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල මෙම යෝජිත වැඩපිළිවෙළ පිළිබඳව එකඟතාවයකට පැමිණියේ කුමන අමාත්‍යාංශය සමග ද? ඒ සම්බන්ධව මෙම ලියුම්කරු UNDP සංවිධානයෙන් කළ විමසීමකට එහි ප්‍රකාශිකාවක් පැවසුවේ අධිකරණ සහ මුදල් අමාත්‍යාංශය සමග සම්බන්ධවී 2024 මාර්තු සිට 2025 මාර්තු දක්වා ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම වැඩසටහන ශ්‍රී ලංකාව සම්බන්ධ සමස්ත වැඩපිළිවෙළේ වැදගත් කොටසක් බවයි.

කොතෙකුත් මාධ්‍ය අවදානය ආකර්ෂණය කරගත් වියදම් අධික වැඩසටහන් විශේෂයෙන්ම 2015 සිට නොයෙකුත් මට්ටමින් ක්‍රියාත්මක කළත් අද ශ්‍රී ලංකාව දූෂණයට, වංචාවට, නාස්තියට සහ අක්‍රමිකතාවලට තෝතැන්නකි. පාර්ලිමේන්තු කාරක සභාවලින් නිකුත් කරන වාර්තා දිගින් දිගට ම අවධාරණය කරන්නේ රාජ්‍ය අංශයේ දූෂිතභාවයයි. එලෙස ම රාජ්‍ය සහ පෞද්ගලික අංශ එකතුවී ක්‍රියාත්මක කරන දූෂණයයි. විශේෂයෙන්ම සමස්ත රාජ්‍ය බදු එකතු කිරීමේ යාන්ත්‍රණය දූෂිත බවයි. මෙම තත්ත්වය ශ්‍රී ලංකාව බංකොලොත් කිරීමට කළ දායකත්වය අමුතුවෙන් කීමට අවශ්‍ය නැත.

විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය, මාධ්‍ය සහ සිවිල් සමාජය මෙම තත්ත්වයට වගකිව යුතුය. ජපන්-UNDP ව්‍යාපෘතිය අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව පත්වී ඇති අවාසනාවන්ත තත්ත්වයයි.

ඇත්ත වශයෙන්ම පසුගිය පෙබරවාරි 13 ජපාන තානාපති කාර්යාලය සහ UNDP විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශනයට අනුව නව ව්‍යාපෘතියේ අරමුණ දූෂණ විරෝධී ප්‍රතිපත්තිවලට සහාය දීම ඔස්සේ ආර්ථික පාලනය ප්‍රවර්ධනය කිරීමයි.

මෙම ව්‍යාපෘතියේ ද සාර්ථකත්වය ද සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ දූෂණය මැඬලීමට දේශපාලන නායකත්වයට තිබෙන අවංක අවශ්‍යතාවය මතය. මෙතුවක් කල් ක්‍රියාත්මක කළ කිසිදු ව්‍යාපෘතියක් යම් පමණකට හෝ සාර්ථක නොවූයේ කිසිදු රජයකට එවැනි සැබෑ අවශ්‍යතාවයක් නොමැති නිසයි. සියලුම දේශපාලන පක්ෂවලට දූෂණ විරෝධය අඩු වැඩි වශයෙන් හුදු සටන් පාඨයක් පමණි.

2015 පෙබරවාරි සහ 2016 මාර්තු මහා බැංකු බැඳුම්කර වංචා සම්බන්ධයෙන් මෛත්‍රිපාල සිරිසේන-වික්‍රමසිංහ යහපාලන රජය (2015-2019), ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව (2019-2022) සහ වර්තමාන වික්‍රමසිංහ-රාජපක්ෂ පාලනය (2022 ජූලි සිට ) ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් ජනතාවට සතුටු විය හැකි ද? රට බංකොලොත් වුවාට පසුවවත් දේශපාලනය සහ නිලධාරී පැලැන්තිය සැබෑ ලෙස වෙනස් වුවාද? ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව 2020 ඔක්තෝබර් 13 වැනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් සුදු සීනි ආනයන බද්ද රුපියල් 50 සිට සත 25 දක්වා අඩු කිරීමෙන් මාස 4ක් තුළ රුපියල් බිලියන 16ක පාඩුවක් සිදුවූ බවට කළ ප්‍රකාශය මුදල් අමාත්‍යාංශය නොසලකා හැරියේය.

එලෙස බදු අහිමිවීමක් සිදු නොවූ බව මෙම ලියුම්කරු අංක 12 දරන 2016 තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට පිළිතුරු ලෙස එම අමාත්‍යාංශය අවධාරණය කළේය. ජපානය මුදල් සපයන නවතම දූෂණ විරෝධී ව්‍යාපෘතියට මුදල් අමාත්‍යාංශයේ දායකත්වය කෙතරම් සුදුසු ද කියා විමසා බැලිය යුතු නොවේ ද?

තම පරිපූරක අයවැයෙන් යෙන් මිලියන 137ක් මෙම ව්‍යාපෘතිය වෙන් කළ ජපන් රජය සහ එය ක්‍රියාත්මක කරන UNDP ආයතනය ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය නොදන්නවා නොවේ. නමුත් ජපන් බදු ගෙවන්නගේ මුදල් නැති නාස්ති කරන තවත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත. මෙයට සම්බන්ධ වන සියලුම පාර්ශ්වවලට මෙය තවත් ව්‍යාපෘතියක් පමණි. තිත්ත ඇත්ත එයයි.

ජපන් අනුග්‍රාහකත්වය ලැබෙන මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු තුනකි. (1) නෛතික සහ ප්‍රතිපත්ති රාමු ශක්තිමත් කිරීමට ක්‍රියාමාර්ග ගැනීම. (2) මූල්‍ය හා බදු අපරාධවලට එරෙහිව සටන් කරන ප්‍රධාන ආයතන අතර සම්බන්ධීකරණය වැඩි දියුණු කරයි සහ (3) ප්‍රධාන ප්‍රතිඵල තුනක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන උපාය මාර්ගික ක්‍රියාමාර්ග හරහා දූෂණයට එරෙහිව සටන් කිරීමට උපාය මාර්ගික ආයතනවල සහ පුද්ගලයන්ගේ කුසලතා සහ හැකියාවන් වැඩි දියුණු කරයි.

මෙම අරමුණු ඉටු කරගැනීමට දස දහස් ගණනින් ඇමෙරිකානු ඩොලර් වියදම් කිරීමට අවශ්‍ය නැත. කිසිදු බාහිර පාර්ශ්වයකගේ මැදිහත්වීමක් ද වුවමනා නැත. එකම අවශ්‍යතාවය පාර්ලිමේන්තුවේ බලය ඇති කණ්ඩායමේ දේශපාලන වුවමනාව පමණි. ජපානය සහ UNDP අවධාරණය කළේ දූෂණ විරෝධී පරිසර පද්ධතිය තුළ ඉලක්කගත, නිශ්චිත කාලයක් තුළ සිදුවන, ධාරිතා සංවර්ධනය ඔස්සේ දූෂණ වැළැක්වීම, විමර්ශනය සහ නඩු පැවරීම හරහා දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා පුළුල් ප්‍රවේශයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු බවයි.

ලැජ්ජාවක් නැති රටක්

ජාත්‍යන්තරය මත යැපීම අන්තරාදායක මට්ටමක!

ඇමෙරිකන් ඩොලර් ප්‍රදානයක් දූෂණ විරෝධී ජපන් ආයෝජනය ප්‍රසිද්ධියට පත්කර සතියක් යෑමට පෙර දූෂිත අමාත්‍යාංශයක් වශයෙන් අධිකරණ ක්‍රියාවලියට යටත් වී ඇති සුව අමාත්‍යාංශය ජපන් රජයේ ආධාර යටතේ මෙරට සෞඛ්‍ය සේවාවේ ගිලන් රථ ඇතුළු ප්‍රවාහන කටයුතු සඳහා ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000ක ප්‍රදානයක් ලැබී ඇති බවට ප්‍රකාශ කළේය. ඒ පෙබරවාරි 19 දිනය. ප්‍රදානයක් ලෙස ලැබුණ මෙම ඩීසල් තොගය සෞඛ්‍ය ආයතනවලට බෙදාහැරීමේ කටයුතු සඳහා නිර්මාණය කළ බෙදාහැරීමේ පද්ධතියට ඉන්ධන ලබාගත් වාහන, ලබාගත් ඉන්ධන ප්‍රමාණය, සෞඛ්‍ය ආයතන පිළිබඳ සියලු තොරතුරු දත්ත ඇතුළත් කරනු ලබයි. මෙම සියලු කටයුතු ජපන් රජයේ ඍජු අධීක්ෂණය යටතේ සිදුවීම නැවත අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව පරිපාලන ක්‍රමවේදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවට කිසිදු විශ්වාසයක් නොමැති බවයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ විශ්වාසය අහිමි කරගත් රටකි.

එම ප්‍රදානය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත නිල වශයෙන් භාර ගැනීම කොළඹ වරායේ “ඩොල්පින් ජැටිය” පර්යන්තයේ දී සිදු විය. යුරෝපිය ඇඳුමින් සැරසී සිනාමුසු මුහුණින් එම අවස්ථාවට සහභාගී වූ සුව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ ජාතික ඇඳුමින් සැරසුන වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇත්තට ම ලැජ්ජාවක් ඇතිවිය යුතුය.

එම ඉන්ධන බෙදාහැරීමේ කටයුතු වලට අදාළ Fuel Management Information System (FIMS) පද්ධතිය නිල වශයෙන් දියත් කිරීම පෙබරවාරි 27 දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි. එහිදී වෛද්‍ය පතිරණ ප්‍රකාශ කළේ ජපන් යෙන් බිලියන 15ක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 12) වටිනා මෙම ඉන්ධන තොගය සුව සේවයේ වසර දෙකක අවශ්‍යතාවයට සෑහෙන බවයි. ඇත්තටම සෞඛ්‍යයට කැබිනට් අමාත්‍යවරයෙකු අවශ්‍ය ද යන ප්‍රශ්නය මෙහිදී යමෙකු මතු කළහොත් කිසිසෙත්ම පුදුම වියයුතු නැත.

සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය තෙල් ටික සපයා ගැනීමට නොහැකි රටේ වෛද්‍යවරු සහ අනෙකුත් සෞඛ්‍ය අංශ ඉතාමත් ආකර්ශනීය ‘ආර්ථික යුක්තිය’ උදෙසා සටන් පාඨය යටතේ තමන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමට දුප්පත් ජනතාව ඇපයට තබා සටන් කරති. ශ්‍රී ලංකා මහා බැංකුව ද තමන්ගේ සේවකයින්ට ‘ආර්ථික යුක්තිය’ ඉටු කර ඇත.

බංකොලොත් රටක මහා බැංකුව තම සේවකයින්ට 70%ක් වැඩි වැටුප් වැඩිවීමක් කිසිදු ලැජ්ජාවක් නොමැතිව දීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ-රාජපක්ෂ ආණ්ඩුවේ නපුංසක ප්‍රතිචාරය සහ විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව ඇතුළු සමහර රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ද තත්ත්වය වෙනසක් නැත. විදුලි බල මණ්ඩලයේ සේවකයින් ගනු ලබන බැංකු ණයවල වැඩි පොලිය ගෙවීමේ වගකීම ජනතාව පිට පටවා ඇත. මෙවැනි රටක දූෂණය, වංචාව, නාස්තිය සහ අක්‍රමිකතා මැඬලීමට නොහැකිය. දූෂණය තව දුරටත් ප්‍රවර්ධනය කරමින් රට 2048 සංවර්ධිත තත්ත්වයට පත්වන බව ප්‍රකාශ කරන මහජන නියෝජිතයින් රටට සාපයකි.

මහබැංකුව අවධාරණය කර ඇත්තේ 70% පඩි වැඩිවීමක් නොදුන් බවත්, 2024 ජනවාරි සිට වසර තුනකට පාලනාධිකාරිය සහ දේශපාලන පක්ෂ නියෝජනය කරන වෘත්තිය සමිති අතර එකඟතාවය මත ක්‍රියාත්මක කළ වැටුප් වර්ධකය නිසා 2024 ජනවාරි පඩි බිල 50%ක් වැඩිවූ බවත්, නමුත් උපයන විට ගෙවීම බද්ද 24%ක් ගෙවූ බවත්ය.

මෙහිදී දැඩිව අවධාරණය කළ යුතුව ඇත්තේ සාධාරණ ප්‍රතිපත්ති රාමුවක් තුළ තීන්දු තීරණ නොගන්නා රටක දූෂණය, වංචා, අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා සාමාන්‍ය තත්ත්වයක් බවයි.

ජපන් ශිෂ්‍යත්වසර

2010 සිට ක්‍රියාත්මක ජපානය පූර්ණ මූල්‍ය අනුග්‍රාහකත්වය දරන මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ශ්‍රී ලංකාව යම්කිසි ප්‍රයෝජනයක් ලැබුවා ද? දැනට රාජ්‍ය අංශයේ නිලධාරීන් 205 මෙම ශිෂ්‍යත්ව හරහා ජපානයේ අත්දැකීම් ලබාගැනීමට වාසනාවන්ත විය. නමුත් තවමත් ක්‍රියාත්මක එම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවට යම් සෙතක් සිදුවූවා ද?

රාජ්‍ය අංශයේ සැබෑ තත්ත්වය රටට රහසක් නොවේ. ශ්‍රී ලංකාව බංකොලොත් වීමට ප්‍රධාන හේතුවක් ඉහළ රාජ්‍ය අංශයේ දූෂණය, වංචා, අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත.

මෙම ගිවිසුමේ නවතම දිගුව ජූලි 29, 2023 අරලියගහ මන්දිරයේ දී අත්සන් කළේය. කොළඹ සිටින ජපාන තානාපති මිසුකොෂි හිදෙඅකි සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන රුපියල් මිලියන 611 (යෙන් මිලියන 284) වටිනා එම ගිවිසුම අත්සන් කළේ දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා ඉදිරියේය. මෙමගින් රාජ්‍ය අංශයේ නිලධාරීන් 17 දෙනෙකුට 2024 දී වසර 2 සිට 3 දක්වා ශාස්ත්‍රපති හෝ ආචාර්ය උපාධියක් හැදෑරීමට අවස්ථාව ලැබේ.

නිලධාරීන් 17 දෙනෙකුගේ වියදම රුපියල් මිලියන 611ක් නම්, මීට පෙර එම අවස්ථාව 205 දෙනෙකුට ලබාදීමට ජපානය කළ ‘ආයෝජනය’ අතිවිශාලය. එම නිලධාරීන් ශ්‍රී රට වෙනුවෙන් කළ සේවය යම්කිසි ආකාරයකට සොයා බැලිය යුතු නොවේද?

ජපන් ශිෂ්‍යත්වවලට අමතරව මෑතක දී (පෙබරවාරි 14) නවදිල්ලියේ පැවැත්වූ සාකච්ජාවක දී වසර 5ක් තුළ ශ්‍රී ලංකාවේ විවිධ තරාතිරම්වල නිලධාරීන් 1,000 ඉන්දියානු පරිපාලන පුහුණුවක් ලබාදීමට තීරණය විය. ඇත්ත වශයෙන්ම නිදහස ලබා දශක 7කට පසුවවත් අවම වශයෙන් පරිපාලන කටයුතු නිවැරදිව විදේශීය උපදෙස් නොලබා ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් කවුරු කවුරුත් ලැජ්ජා විය යුතුය. මෙම වැඩසටහන යටතේ ඉන්දීය පුහුණුවට තෝරාගත් 40 දෙනෙකුගෙන් සමන්විත පළමුවන කණ්ඩායමට පෙබරවාරි 26 වැනි දින සති දෙකක පුහුණු වැඩසටහන ආරම්භ විය.

යහපාලන සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් 200 ආසන්න සංඛාවක් චීන අත්දැකීම් ලබාගැනීමට එහි සංචාරයක් කළ බව බොහෝ අයට අමතකය. ඉගෙන ගත් දෙයක් නැත. එය ද තවත් විදේශීය සංචාරයක් පමණි. විදේශීය පුහුණු වීම් අත්‍යවශ්‍ය අවස්ථාවල ලබාගැනීමේ වරදක් නොමැත. නමුත් විදේශීය පුහුණුවීම්වලට අනවශ්‍ය බරක් තබා ඇත.

සමාජ මාධ්‍ය ජාලා ඇතුළු මාධ්‍ය වාර්තාවලට ආණ්ඩුව අවධානය යොමු කළහොත් විදේශීය උපදෙස් අවශ්‍ය නැත. 99.9% අඩුපාඩු නිවැරදි කර ගතහැකිය.

කයිවාරු දේශපාලනයෙන් ඔබ්බට දෙයක් පාර්ලිමේන්තු දේශපාලනයට නැත. පාසල් වසා දමන, ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් නොමැති ශ්‍රී ලංකාවේ දරුන්වන්ට කෘතීම බුද්ධිය සම්බන්ධයෙන් දැනුම ලබාදීමට අදාළ අමාත්‍යවරයා පොරොන්දු වීම ඇත්ත වශයෙන්ම විහිළුවකි. පෙළ පොත් ටික මුද්‍රණය කර දෙනු ලබන්නෙත් ඉන්දියාව බව ආණ්ඩුවට මතක් කළ දියයුතුව ඇත. දරුවන්ට අවශ්‍ය පාසල් නිල ඇඳුම් චීනයෙනි. පොලිසියට අවශ්‍ය නිල ඇඳුම් සඳහා ද රෙදි චීනයෙනි. ගොවියාට අවශ්‍ය පොහොර ඇමෙරිකානු ආධාරයකි. පාසල් දරුවන්ගේ දිවා ආහාරය සඳහා අවශ්‍ය ගුණදායක සහල්, රතු පරිප්පු මෙන්ම සෝයා ද ඇමෙරිකානු සහ ලෝක ආහාර සංවිධානයේ පරිත්‍යාගයකි. ඇත්තට ම විධායකය සහ ව්‍යවස්ථාදායකය ලැජ්ජා විය යුතුමය.

නමුත් වංචාකාරී ශ්‍රී ලංකාවේ අතිශය දූෂිත දේශපාලනය තව දුරටත් ජනතාව ඇන්දවීමේ අපුරුවට ක්‍රියාත්මක කරයි. බංකොලොත් ශ්‍රී ලංකාව නිවැරදි මාර්ගයකට යොමු කිරීමේ අවශ්‍යතාවයක් කිසිදු පක්ෂයකට නොමැත. ඇත්ත වශයෙන්ම අවාසනාවන්ත තත්ත්වයකි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ සෞඛ්‍ය ලේකම් ජානක චන්ද්‍රගුප්ත සැපයුම් ලබාගැනීම සම්බන්ධයෙන් බරපතළ දූෂණ චෝදනාවලට ලක්වී සිරබත් කන මෙම අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහ සමස්ත කැබිනට් මණ්ඩලයට සැබෑ පසුවිපරමක් කිරීමේ අවශ්‍යතාවයක් ඇති වියයුතුය. පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් පක්ෂ ද නැවත හැරී බැලීමක් කළ යුතුය. ඒ එම පක්ෂ ශ්‍රී ලංකාව මුළු ලෝකය ඉදිරියේ ලැජ්ජාවට පත්කර ඇති නිසාය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment