ඩොලර් අර්බුදය විසන්ඳන්න මම කරළියට එනවා…අජිත් නිවාඞ් කබ්රාල් කරන හෙළිදරව්ව

327

විශ‍්‍රාම වැටුපක් ලෙස මට ශතයක්වත් ලැබිල නැහැ

විනිමය අර්බුදය විසඳන්න අලූත් ක‍්‍රමයක් හොයන්න වෙනවා

මේ දිනවල වඩාත්ම කතාබහට ලක්වන චරිතයක් බවට මුදල් හා ප‍්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා පත්ව ඇත. ඒ ඔහු සිය රාජ්‍ය ඇමැති ධුරයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී නැවත මහ බැංකු අධිපති ධුරය භාර ගැනීමට සූදානමක් ඇති බවට පැතිර යන ආරංචි නිසාය. රට මුහුණ දී ඇති බලවත් විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීමට මහ බැංකුවට නායකත්වය දීමට ඒ මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විශේෂ ආරාධනයක් ලැබී ඇති බව ද පැවසේ. මේ සියලූ කාරණා ගැන අපි රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතාගෙන් කෙලින්ම ප‍්‍රශ්න කළෙමු. පහතින් සටහන් වන්නේ අප ඇසූ ප‍්‍රශ්නවලට කබ්රාල් මහතා ලබාදුන් පිළිතුරුයි.

ප‍්‍රශ්නය – ඔබ සිටින්නේ රජය පිළිබඳ කලකිරීමෙන් ද ?

පිළිතුර – නැහැ. මට කලකිරීමක් නැහැ. මේ කාලය තුළදී විශේෂ අභියෝග රාශියක් ඉදිරිපත් වෙලා තියෙනවා. අපි සියලූ දෙනාම එකතු වෙලා මේ අභියෝගවලට මුහුණ දීල මේ රට ගොඩ ගැනීමට කටයුතු කරන්නට අවශ්‍යයි. මෙතන දී අපි කිසි විටෙක අධෛර්යමත් වෙන්නේ නැතුව කටයුතු කරගෙන යන්න ඕන. ඒ වෙනුවෙන් මම ඕනෑම කැපකිරීමක් කරලා කටයුතු කරන්න සූදානම්.

ප‍්‍රශ්නය – මේ දවස්වල ඔබ මන්ත‍්‍රීධුරයෙන් සහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ආරංචියක් පැතිර යනවා. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාත් පළ වුණා. ඒ අනුව ඔබ මන්ත‍්‍රීධුරයෙන් සහ ඇමැති ධුරයෙන් ඉල්ලා වීමට සූදානමක් තියෙනවා ද?

පිළිතුර – එවැනි කටයුත්තකට මම පිවිසෙනවානම් මේ රජයේ වෙනත් තනතුරක් භාර ගැනීමට තමයි මම ඒක කරන්නේ. අස්වෙලා මට කලකිරීමකින් යන්න හේතුවක් නැහැ. ඒ නිසා මට වෙනත් වගකීමක් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා භාර දුන්නොතින් මම ඒ වගකීම ඉෂ්ඨ කිරීමට මගේ මන්ත‍්‍රී ධුරයෙන් අයින් වෙන්නටත් මම සූදානම් කියන එක තමයි එතනින් කියවෙන්නේ.

ප‍්‍රශ්නය – පසුගිය ඇමැතිධුර විෂය සංශෝධනයේ දී ඔබතුමාගේ අමාත්‍යංශයේ කොටස් වෙනත් අමාත්‍යංශයකට ගියා නේද ?

පිළිතුර – ඔව්. එක කොටසක් එක ආයතනයක් නව ඇමැති කමක් හරිගස්සල ඒකට යොමු කරලා තිබෙනවා. මට ඒ පිළිබඳ කිසිදු ගැටුමක් හෝ ගැටලූවක් නැහැ. ඒ කටයුත්ත ඒ අලූත් ඇමැතිවරයා විසින් කරගෙන යනවනම් මම හිතන්නේ ඒක හුඟක් හොඳයි. ඒ පිළිබඳ මට ගැටලූවක් නැහැ. මොකද මට පැවරිලා තියෙන ඕනම දෙයක් මම කරනවා. ඒ වගේම පැවරිලා නැති දේවල්වලට මම ඇඟිලි ගහන්නෙත් නැහැ.

ප‍්‍රශ්නය – ඒ වගේම ඔබට මහ බැංකු අධිපති ලෙස විශ‍්‍රාම වැටුපක් අනුමත වෙලා තියෙනව කියල කතාබහක් පැතිර යනවා. ඒ ගැන සමාජ මාධ්‍යයේ බොහෝ පුවත් පළ වෙනවා. ඔබ ඒ ගැන සඳහන් කරලා තිබුණ 2019 වසරේ දී මහ බැංකුවට විශ‍්‍රාම වැටුප ගැන ඉල්ලීමක් ඉදිරිපත් කරා කියලා. ඒ සම්බන්ධයෙන් අලූත් තත්ත්වය කොහොමද ?

පිළිතුර – මගේ පත්වීමේ ලිපියේ ඉතාමත්ම පැහැදිලි ලෙස ජනාධිපති ලේකම්තුමා ලියල තියෙනවා මම විශ‍්‍රාම වැටුපකට හිමිකම් කියනවා කියල. විශ‍්‍රාම වැටුපක් මහා බැංකු අධිපතිවරයාට ලබාදෙනව කියල ඉතාමත්ම පැහැදිලි ලෙස කියල තියෙනවා. මම මහ බැංකුවෙන් අයින් වුණේ 2015 දී. මම අවුරුදු හතරක් යනකම් ඒ ගැන කතා කරේවත් නැහැ. වෙන අය ඔබතුමා දන්නවා යම් කිසි ධුරයකින් අයින් වූ ගමන්ම ඒකට අදාළ වෙන සියලූම ප‍්‍රතිපාදන සහ විශ‍්‍රාම වැටුප් යන සියලූ දේවල් ලබා ගැනීමට කටයුතු කරනවා. මම එහෙම කටයුතු කෙරුවෙත් නැහැ. මම ඒ පිළිබඳ ලිපියක් යැව්වේ 2019 දි. ඒ කියන්නේ වසර හතරකට පසුව මම ලිපියක් යැව්වා එවකට හිටපු මහ බැංකු අධිපතිතුමාට මේ විශ‍්‍රාම වැටුප මට තවම ගෙවල නැහැයි කියල. එතනින් තමයි මේ සිද්ධිය ඉවර වෙන්නේ. මම ඒක කියල ඊට පසුව මට ලැබුණොත් එහෙමයි. නොලැබුණත් මම ඒ ගැන ප‍්‍රශ්න කරන්නේ නැහැ. මට ඒ ගැන ඕනනම් කියන්න තිබුණ දේශපාලන පළිගැනීම් පරීක්ෂා කිරීමේ කොමිසමට. මම ඒක කෙරුවෙත් නැහැ. මගේ පාඩුවේ මම හිටියා ලැබුණොත් එහෙමයි නොලැබුණොත් එහෙමයි කියල. ඉතිං මේක මේ පෙන්නන්න හදන්නේ සමහරක් අය මම ඒක ඉල්ලලා, එයට මම තවත් අය වෙනුවෙන් කටයුතු කරලා …. මට එහෙම කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. විශ‍්‍රාම වැටුප නැතුවත් මම වසර හයක් හොඳට ජීවත් වුණා.

ප‍්‍රශ්නය – ඔබ විසින් 2019 වසරේ කරපු ඒ ඉල්ලීම මේ අවස්ථාවේ හදිසියේම මතු වුණේ කුමක් නිසා ද ?

පිළිතුර – මම ඇත්තටම දන්නේ නැහැ. වෙනත් අලූත් අදහසක් ඇවිල්ල නැවත විශ‍්‍රාම වැටුප ගෙවීමට වෙන මොකක් හරි හේතුවක් තියෙනවා ද මම දන්නේ නැහැ. මගෙන් ඉල්ලීමක් නැහැ. එච්චරයි මම දන්නේ …. (සිනහසෙයි)

ප‍්‍රශ්නය – ඒත් විශාල විශ‍්‍රාම වැටුපක් ඔබට ලැබිල කියල ප‍්‍රචාරයක් යනවා?

ඩොලර් අර්බුදය විසන්ඳන්න මම කරළියට එනවා…අජිත් නිවාඞ් කබ්රාල් කරන හෙළිදරව්ව

පිළිතුර – මට ශතයක්වත් ලැබිල නැහැ. මම මොනවගේ කෙනෙක් ද කියල තේරුම් ගන්න අවශ්‍ය නම් මට හිමිකම් තිබුණ තීරු බදු රහිත වාහනයවත් මම අරගෙන නැහැ. මට ආරංචි හැටියට රජයේ සේවකයන් දාහතර දහසක් පමණ අරන් තියෙනවා මේ තීරු බදු රහිත වාහනය. මම ඉහළම මට්ටමේ රජයේ සේවකයෙකු ලෙස තමයි සේවය කළේ වසර අටහමාරක්. මට බොහොම පහැදිලි ලෙස එවැනි වරප‍්‍රසාදයක් හිමියි. මම ඒකවත් ගත්තේ නැහැ. ඒ නිසා ඔබලට හිතා ගන්න පුළුවන් මම මේ විශ‍්‍රාම වැටුපක් ගන්න
සටන් කරයි ද නැද්ද කියල.

ප‍්‍රශ්නය – ඔබ සඳහන් කළා මන්ත‍්‍රීධුරයෙන් සහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙනවනම් ඒ වෙනත් වගකීමක් භාරගන්න කියල. අපට මාධ්‍ය මගින් දැන ගන්නට ලැබී තියෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔබගෙන් විශේෂ ඉල්ලීමක් කළා කියල රට විදේශ විනිමය අර්බුදයෙන් බේරා ගැනීම සඳහා මහ බැංකුවට නායකත්වය දෙන්න කියල. එය සත්‍යයක් ද ?

පිළිතුර – මම මේ වෙලාවේ ඒ පුවත තහවුරු කරන්නට හෝ ඒ පුවත ප‍්‍රතික්ෂේප කරන්නට කැමති නැහැ. මම හිතන්නේ මෙතනදී ඒ සිද්ධීන් සිදු වුණොත්, ඒවා සිදු වුණාට පසුව අපි ඒ සඳහා යොමු විය යුතුයි කියන එක තමයි මගේ මතය. ඒ නිසා එවැනි දේවල් අපි අනාගතයට යොමු කරල තියමු.

ප‍්‍රශ්නය – පුවත්පත් වාර්තා කරලා තිබුණ ඔබමහ බැංකු අධිපති ධුරය භාර ගැනීමට ජනාධිපතිතුමාට එකඟතාව පළ කළා කියල. ඒ ගැන ඔබතුමා මොනවා ද කියන්නේ ?

පිළිතුර – එවැනි අවස්ථාවක් උදා වුණොත් මම ඒක රට වෙනුවෙන් කරන්නට… ජනාධිපතිවරයෙක් යම් ආරාධනාවක් කෙරුවොතින් ඒවා අපට ප‍්‍රතික්ෂේප කරන්න බැහැ. එහෙම සිදු වුණෝතින් ඒකට අනුගත වෙලා කටයුතු කරන්න මම සූදානම්. ඒ වුණාට ඒ පිළිබඳව කතා කරන්නට මට මේ අවස්ථාව කර ගන්නට අමාරුයි.

ප‍්‍රශ්නය – රට උග‍්‍ර විදේශ විනිමය අර්බුදයකට මුහුණ දීල සිටිනවා. පාර්ලිමේන්තුවේ දී මුදල් ඇමැතිතුමාත් ඒ ගැන සඳහන් කළා. ඔබ හිතන විදියට මේ විනිමය අර්බුදය විසඳන්න ඔබතුමා යෝජනා කරන වැඩපිළිවෙළ කුමක් ද ?

පිළිතුර – මට පේන හැටියට එක උපක‍්‍රමයක්, එක ක‍්‍රියාමාර්ගයක් පමණක් අපට අනුගමනය කරන්න බැහැ. ඒ ගැන අපි ක‍්‍රියාමාර්ග කීපයක්ම අපි අනුමනය කරන්න අවශ්‍යයි. මම නැවත වරක් මහා බැංකුවට පිවිසුණොත් මම ඒවා ඉතා ඉක්මනින් ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම මෙතැනදී යම් විශේෂිත මග පෙන්වීමක් මහ බැංකුව විසින් ලබා දිය යුතුයි. සමහරක් අය හිතාගෙන ඉන්නේ මේ විදේශ විනිමය අනුපාතය අයිතිකම් තිබෙන්නේ අපනයනකරුවන්ට සහ ආනයනකරුවන්ට පමණක් කියල. එහෙම සිතීම වැරදියි. විදේශ විනිමය පිළිබඳව ඒ අනුපාතය රටේ සියලූම ආර්ථික කටයුතුවලට ඔරොත්තු දෙන ඒ කටයුතුවලට ඔබින අනුපාතයක් විය යුතුයි. ඒවගේ බලද්දී ණය ගැනීම, ණය ගෙවීම රටට එන පේ‍්‍රෂණ රටින් පිටට යායුතු ආයෝජන, අපනයන සහ ආනයන … ඒ ඔක්කොම සම්බන්ධීකරණයක් කරලා ඒ ඔක්කොටම තුලනය විය යුතු රුපියලේ අගයක් තමයි රටක පැවතිය යුත්තේ. ඒ නිසා මම එහෙම පුළුල් දැක්මකින් කටයුතු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම කරද්දී මේ සියලූම අංශ ගැන අපි හොඳට සැලකිලිමත් වෙලා තමයි රුපියලේ අගය වෙනුවෙන් අපි යම් කිසි මගපෙන්වීමක් මහ බැංකුවෙන් කළ යුත්තේ. එසේ කිරීමටත් මම බලපොරොත්තු වෙනවා. එහෙම කෙරුවට පසුව ඒ අගය රැකගෙන ඒ අගය වෙනුවෙන් කටයුතු කරලා අපි ආර්ථිකය ඉදිරියට ගෙන යන්නට කටයුතු කළ යුතුයි කියන එක තමයි මගේ අදහස.

ප‍්‍රශ්නය – ඔබ ඇමැතිධුරයෙන් අස්වෙලා මහ බැංකු අධිපතිධුරය නැවත භාර ගන්නවා නම් ඒ සඳහා කොන්දේසි ඉදිරිපත් කරලා තියෙනවා කියලත් ආරංචි පැතිර තිබෙනවා මහබැංකු අධිපති ධුරයේ බලතල වැඩි විය යුතුයි කියලා?

පිළිතුර – අපි හැමෝම යම් කිසි වැඩක් භාර ගනිද්දී ඒ වැඬේ සාර්ථකව කර ගැනීමට අවශ්‍ය වෙන පසුබිම ඒ තනතුර ලබා දෙන්නාත් සමග සාකච්ඡා කිරීම සාමාන්‍ය දෙයක්. ඉතිං එවැනි දෙයක් සිදුවෙලා තියෙනවා නම් මහ බැංකු අධිපති ධුරය පිළිබඳවත් මට ඒක ගැටලූවක් හැටියට පෙනෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ සකච්ඡාවල් සිදු වෙන්න පුළුවන්.

ප‍්‍රශ්නය – පසුගියදා බැංකුවල අමෙරිකානු ඩොලර් අනුපාතය රු.203 ට අඩු වුණා. පසුගිය කාලේ එම අගය රු.226 ට පමණ වැඩි වෙලා තිබුණා. මහ බැංකුව සියලූ බැංකුවලට ලියුමක් යවල තිබුණ රටේ තියෙන තත්ත්වය අනුව විනිමය අනුපාතය රු. 200 සහ රු. 203 අතර පවත්වාගෙන යන්න කියල දැනුම් දීමක් කරල තිබුණා. ඒ ක‍්‍රියාමාර්ගය ගැන ඔබේ අදහස කුමක් ද ?

පිළිතුර – මම ඒකට එකඟයි. මම හිතන්නේ එවැනි මග පෙන්වීමක් අවශ්‍යයි. රටක විශේෂයෙන්ම යම් අභියෝග තිබෙන අවස්ථාවක එවැනි මගපෙන්වීමක් හැමෝම මහා බැංකුවෙන් බලාපොරොත්තු වෙනවා. ඉතිං මහ බැංකුවේත් වගකීමක් තියෙනවා එවැනි මගපෙන්වීම ලබාදීල ඒ අනුව සියලූ දෙනාම කටයුතු කරනවා ද කියල බලන්න. එහෙම බලල එවැනි අවස්ථාවක යම් කිසි කෙනෙක් ඒ අනුව කටයුතු නොකරන්නේ නම් ඒ පිළිබඳව මහා බැංකුව කටයුතු කරන්නත් සූදානම් විය යුතුයි. මම හිතන්නේ ඒ පදනම ඔස්සේ මහ බැංකුවට තිබෙන බලතල, මහ බැංකුවට තියෙන වගකීම් මහ බැංකුව ඉටු කරන්නට නම් මෙවැනි තීරණ ගත යුතුය කියන තැන මම ඉන්නවා. දැනටමත් මේ වසර (2021) තුළ දී රුපියල අවප‍්‍රමාණය වෙලා තියෙන ප‍්‍රමාණය මම හිතන්නේ හොඳටම ඇති. ඕනෑම ගනුදෙනුවක් බොහොම සාර්ථකව කරගෙන යන්නට.

තවදුරටත් රුපියල අවප‍්‍රමාණය වුණෝතින් එය සමහර වෙලාවට අපේ ආර්ථිකයට දැඩි කම්පාවක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා එවැනි දෙයක් සිදු නොවෙන්නට මහ බැංකුවටත් තියෙනවා වගකීමක් ඒක රැකගන්නට.

ප‍්‍රශ්නය – එන්නත්කරණයත් වේගයෙන් කරගෙන යනවා ආණ්ඩුව විසින්. මෙය මරණ ප‍්‍රමාණය සහ ආසාදිතයින් ප‍්‍රමාණය අඩු කරන්නට හේතුවක් වෙයි. රජය විසින් පනවපු නිරෝධායන ඇඳිරි නීතිය දෙවරක් දීර්ඝ කළා. මෙය ඉවත් කරලා නව සාමාන්‍ය තත්වයක් ඇති කරගෙන ආර්ථික කටයුතු පණ ගන්වා ගන්න කොපමණ කල්යයි ද ඔබ හිතන්නේ ?

පිළිතුර – මම මේ ගැන ටිකක් හොයල බැලූවා. දැනටමත් එන්නත් කිරීම පළවෙනි එන්නත දිය යුතු යම් අවදානමක් තියෙන පුද්ගලයන් සංඛ්‍යාවෙන් සියයට 99 කට දීල අවසානයි කියල තමයි වාර්තා වෙන්නේ. දෙවෙනි එන්නත සියයට 60 කට අධික සංඛ්‍යාවකටත් දීල තියෙනවා. තව දින කිහිපයකින් එන්නත්කරණය ලෝකයේ ඉහළතම මට්ටමකට එන විදියට ශ‍්‍රී ලංකාව පත් වෙනවා. ඒත් එක්කම ඒකෙ තිබෙන වටිනාකම රටට ලබා දෙන්න නම් රට නිල වශයෙන් විවෘත කළ යුතුයි. අපි දකිනවා දැන් වුණත් බොහෝ ක්ෂේත‍්‍ර තම තමන්ගේ වැඩ කටයුතු විවිධ ආකාරයෙන් කරගෙන යනවා. ඒ ගැන මම සතුටුයි. මම හිතන්නේ හැමෝටම වැඩ කරන්නට අවස්ථාව දුන්නොතින් සෞඛ්‍ය අංශයේ උපදෙස් අනුව ඒ අයට පුළුවන් තම වැඩ කටයුතු හරහා තමන්ගේ ඕනෑ එපාකම්වලට අවශ්‍ය වන මුදල් උපයාගන්නට. ඒක ඉතාම වැදගත්. නැත්නම් බොහෝ දෙනෙකුට තමන්ගේ වැඩ කටයුතු කරන්න බැරි වෙලා ඒ සියලූම අංශ අඩපන වෙනවා. එහෙම වුණාම ඒ අයට තමන්ගේ ණය ගෙවාගන්න බැරුව යනවා. ගෙවල් කුළී ගෙවා ගන්න බැරි වෙනවා. මේ ආදී වශයෙන් දැවැන්ත අර්බුදවලට ඒ අයට මුහුණ දෙන්නට සිදු වෙනවා එහෙම නොවී තමන්ගේ වැඩ කටයුතු කරගන්නට ඉතාම ඉක්මණින් රට විවෘත කරගන්නට පුළුවන් නම් හොඳයි. මම සෑහෙන උත්සාහයක්
ගන්නවා මොකද මම දන්නවා එක පැත්තකින් සාර්ව ආර්ථික සාධක දුර්වල වෙනවා. අනිත් පැත්තෙන් අපේ රටේ සුළු සහ මධ්‍යම පරිමාණයේ වැඩකරන අය ඒවාට ව්‍යවසායකයන්ට සෑහෙන ලොකු අර්බුදවලට මුහුණ දෙන්නට සිදු වෙනවා. මේ දෙපැත්තෙන්ම බැලූවම රට ඉතාමත්ම ඉක්මණින් විවෘත කිරීම තමයි මෙතන තියෙන යෝග්‍යතම විසඳුම. ඒකට අපි පිවිසෙන්න අවශ්‍යයි.

ප‍්‍රශ්නය – සංචාරක අංශය ඉදිරියේදී අපට ඩොලර් ආදායම් උපයගන්න පුළුවන් ප‍්‍රධාන අංශයක්. ඔබතුමා රජයේ සිටියත්, ඉදිරියේදී මහ බැංකුවේ හිටියත් විදේශ විනිමය අර්බුදය විසඳන්නට නායකත්වය දෙනවා නම් ඒ ගැන විශේෂයෙන් බලන්න වෙනවා මම හිතන්නේ. ඒ සම්බන්ධයෙන් ඔබගේ දැක්ම කුමක් ද ?

පිළිතුර – මම ඉතාමත්ම ඉක්මණින් රට විවෘත කරලා රටට සංචාරකයන් ගෙන්වා ගැනීමටත් කටයුතු කිරීමේ ඒ අවශ්‍යතාව
ගැන පැහැදිලි ඕනෑකමකින් කටයුතු කරනවා. ඒ පිළිබඳව මම දන්නවා සංචාරක ක්ෂේත‍්‍රයට නැවත වරක් මුදල් ගලා එන්නට පටන් ගත්තොත් අපට ඉතාමත්ම ඉක්මනින්ම මේ ප‍්‍රශ්නවලට මුහුණ දෙන්නට පුළුවන් වෙනවා. අනිත් පැත්තෙන් එම ක්ෂේත‍්‍රයේ තියෙන දැනටමත් කරලා තියෙන දැවැන්ත ආයෝජනයට සාපේක්ෂව අපට මුදල් ලබා ගන්නට පුළුවන් නම් ඒක දෙපැත්තකින් හොඳයි. මොකද ඒ ආයෝජනය කරපු අයටත් වාසියක් ලැබෙනවා. අනිත් පැත්තෙන් රටට විදේශ විනිමය ගලා එන්නට පටන් ගන්නවා. ඒ දෙකම ඉතාමත්ම වැදගත්. ඉතාමත්ම හොඳයි. ඒකට අවශ්‍ය වන සියලූම දිරි ගැන්වීම් සහ ශක්තීන් එකතු කරන්නට අපි සූදානම් විය යුතුයි.

සාකච්ඡා කළේ –
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment