අවුරුදු උත්සවවලදී මේ ගැනත් හිතන්න

52

සිංහල අලුත් අවුරුද්දත් සමග අවුරුදු උත්සව ද මෙම මාසය පුරාවට පැවැත්වේ. ගම හරහා දිවීම, පාපැදි තරග, කොට්ටාපොරය, කඹ ඇදීම, ලිස්සන ගහ නැඟීම ඇතුළු ක්‍රීඩා රැසක් මෙම අවුරුදු උත්සවවලට ඇතුළත්ය. එළිමහනේ පැවැත්වෙන මෙම අවුරුදු උත්සවවල තරගවලට සහභාගි වන පිරිස මෙන්ම නැරඹීමට එන පිරිස ද දවස පුරා වැඩිකාලයක් හිරු එළිය සහිත පරිසරයකට නිරාවරණය වී සිටිති. එනිසා අධික ලෙස සිරුරින් දහදිය පිටවීම, දැඩි හිරු රැසට වැඩි වේලාවක් නිරාවරණය වී සිටීම නිසා සිරුරේ උණුසුම් බව වැඩිවීම ආදී තත්ත්වයන් ඔවුනට මතුවේ. මෙවැනි තත්ත්වයන් හමුවේ ක්ලාන්තය ඇතිවීම, හිසරදය, ඇඟපත වේදනාවන් වැනි අපහසුතාවලට ලක්වීමට ඇති ඉඩකඩ වැඩිය. විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වැඩිහිටියන් මෙවැනි තත්ත්වයන්ට ලක්වීමේ ඉඩකඩ බොහෝය. එබැවින් මේ දිනවල පවතින උණුසුම් කාලගුණය හමුවේ එළිමහනේ වැඩිවේලාවක් ගත කරන විට මෙවැනි අපහසුතාවලින් වැළැකී සිටීමට අවශ්‍ය පියවර ගැනීමට අවධානයක් යොමු කළ යුතුය.

අධික හිරුරැස් නිසා මතුවන අපහසුතා

පවතින වියළි කාලගුණය මත බාල, තරුණ, මහලු කොයි කවුරුත් මේ දිනවල දිවි ගෙවන්නේ දැඩි අපහසුතාවයකිනි. දිවා කාලයේදී අධික ලෙස දහදිය දැමීම නිසා එළිමහනේ සුළු වෙහෙසකර කටයුත්තකදී පවා විඩාවක් දැනේ. විශේෂයෙන් කුඩා දරුවන් සහ වැඩිහිටියෝ මෙම උණුසුම් කාලගුණය නිසා දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.

සමේ රෝග ඇතිවීම, මස්පිඬු වේදනාව, මස්පිඬු පෙරළීම, හිසරදය, ඉක්මනින් කෝපයට පත්වීම ආදී අපහසුතා මෙම උණුසුම් කාලගුණය සහිත පරිසරයේදී බහුලව දැකගත හැකිය.

උණුසුම් කාලගුණය නිසා ඇතිවන අපහසුතා

උණුසුම් කාලගුණය සහිත පරිසරයකදී වෙනදාට වඩා මස්පිඬු වේදනාව, මස්පිඬු පෙරළීම (Heat Cramp) සිරුරේ දැඩි වෙහෙසකර බව (Heat Exhaustion) වැනි අපහසුතා බහුලව මතුවිය හැකිය. එසේම චර්ම රෝග පැතිරීම ද සිදුවේ. එහිදී සමේ රතු පැහැති කුෂ්ට මතුවීම (Heat Rash) සහ දිලීර රෝග හටගනී.

එසේම අධික උණුසුම් පරිසරයේ වැඩි වේලාවක් සිටීම හෝ එම උණුසුම් පරිසරයේ ක්‍රීඩා කිරීම ව්‍යායාමවල නිරතවීම, වෙහෙසකර කටයුතුවල යෙදීම ආදිය නිසා තාප කම්පන තත්ත්වයට පත්වීම (Heat Stroke) සිදුවිය හැකිය.

සිරුරින් අධික ලෙස දහදිය පිටවීම නිසා විජලනය තත්ත්වයට ද පත්විය හැකිය.

එනිසා කුඩා දරුවන්, වැඩිහිටියන් පමණක් නොව හෘද රෝගීන්, වකුගඩු රෝගීන්, දියවැඩියා රෝගීන්, පෙනහලු ආශ්‍රිත රෝගවලින් පීඩාවට පත්ව සිටින්නන් මෙම උණුසුම් කාලගුණය නිසා ඉතා පහසුවෙන් පීඩාවට පත්වීමේ අවදානමක් ඇත.

නිරෝගී පුද්ගලයන් ද වැඩි වේලාවක් උණුසුම් කාලගුණය සහිත පරිසරයේ සිරුර වෙහෙසකර කටයුතුවල නිරතවීම නිසා ඉතා පහසුවෙන් වෙහෙසට පත්වීම, ආතතියට ලක්වීම, මානසික ව්‍යාකූල තත්ත්වයට පත්වීම (Confused), සිය අවධානය නැතිවී යෑම වැනි අපහසුතාවයනට ලක්විය හැකිය.

උණුසුම් කාලගුණයට මුහුණදීම

පවතින උණුසුම් කාලගුණික පරිසරය සමඟ අපට එදිනෙදා වැඩ කටයුතු කරමින් ජීවත්වීමට සිදුව ඇති නිසා ඇතිවන අපහසුතා අවම කර ගැනීමට අවධානය යොමු කිරීම ප්‍රධාන වශයෙන්ම කළ යුතුය.

එහිදී සැහැල්ලු ඇඳුම් ඇදීම, හිරුරැස් අධික වේලාවන්හිදී එළිමහනේ රාජකාරි කටයුතු සීමා කිරීම, නිසි ලෙස ජලය පානය, හාකිතාක් සිසිල් ස්ථානවල සිටීම ආදිය කළ යුතුය.

අධික ලෙස දහදිය දැමීම නිසා සිරුරින් ලවණ වර්ග පිටවීම ද වෙනදාට වඩා වැඩිපුර සිදුවේ. එනිසා ජලයට අමතරව ජීවනී පානයක් ද ගැනීම වඩාත් සුදුසුය. එහිදී දිනකට පානය කරන ජලය ප්‍රමාණයත් සමග අමතරව ජීවනී පානය ද ලීටරයක් පමණ දවස තුළ පානය කිරීම කළ හැකිය. උණුසුම් ජලය සහ ශීත කළ ජලය පානය නොකළ යුතුය. ඉන් සිරුරේ උෂ්ණත්වය වෙනස් වීමකට ලක්විය හැකිය.

චර්ම රෝග ඇතිවීම පාලනය සඳහා ඇඟපත හොඳින් සෝදා පවිත්‍රව තබා ගැනීම වැදගත්ය. එසේම තමා පරිහරණය කරන ඇඳුම් පැලඳුම්, තුවාය ආදිය අන් අයට භාවිතය සඳහා නොදිය යුතුය. දිලීර මගින් පැතිරෙන චර්ම රෝග, වසංගත ලෙස අන් අයට ද බෝවන්නේ මෙලෙස ඇඳුම් පැලඳුම්, තුවාය, ඇඳ ඇතිරිලි ආදිය අන් අය ද පරිහරණය කිරීම නිසාය.

චර්ම රෝග ඇති වූ විට ලබාදෙන ඖෂධ, වෛද්‍යවරයා නියම කරන දින ගණන භාවිතා කළ යුතුය. බොහෝදෙනා එම ඖෂධ දිනක් දෙකක් භාවිතා කරන විට පවතින අපහසුතා අඩුවන නිසා ඒවා භාවිතය අත්හැර දමති. එය වැරුදි ක්‍රියාවකි. ඉන් සිදුවන්නේ එම චර්ම රෝගය සම්පූර්ණයෙන් සුවපත් නොවී තවදුරටත් වර්ධනය වීමය.

යම් පුද්ගලයෙක් තාප කම්පනයට ලක්වුවහොත් (Heat Stroke) වහාම සිරුර සිසිල් කිරීම සඳහා එම පුද්ගලයා ඇඳ සිටින ඇඳුම් ලිහිල් කිරීම, ඇල් ජලයෙන් සිරුර සිසිල් කිරීම ආදිය කළ යුතුය.

සිහිය තිබේ නම් ඇල් ජලය ටිකක් පානයට දිය හැකිය.

බොහෝවිට තාප කම්පනයට ලක්වන්නේ උණුසුම් සහිත පරිසරයේ වැඩි වේලාවක් ක්‍රීඩා කිරීම, ව්‍යායාමවල නිරතවීම, වෙහෙසකර රුකියාවල නිරතවීම ආදී අවස්ථාවකදීය.

එවිට අධික හිසරදය, සම රතු පැහැ වීම, වමනය යෑම, උගුර කට වේළීම, හෘද ස්පන්දනය වේගවත් වීම ආදී රෝග ලක්ෂණ මතුවී පසුව ක්ලාන්තයට පත්වීම සිදුවිය හැකිය.

අවුරුදු ක්‍රීඩා තරග සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ

අලුත් අවුරුදු උත්සව සමයේදී පවත්වනු ලබන අවුරුදු ක්‍රීඩා උත්සවවල දී ඊට සහභාගි වන තරගකරුවන් සහ තරගකාරියන් බොහෝ දෙනා පූර්ණ කාලීනව ක්‍රීඩාවේ නිරත වන්නන් නොවේ. ඔවුන් බොහෝ දෙනා අවුරුදු ක්‍රීඩා උත්සවවල ඇති ඇතැම් තරග ඉසව් සඳහා සහභාගි වන්නේ විනෝදනය සඳහාය. එසේ විනෝදය සඳහා ක්‍රීඩා තරගවලට එකවර ඉදිරිපත් වීමේදී නොයෙකුත් ශාරීරික ආබාධවලට ලක්විය හැකියි. එනම් මස් පිඬු පෙරළීම, මාංශ පේෂී ඇදීමකට හෝ ඉරීමකට ලක්වීම, තැලීම්, සීරීම් සහ තුවාල වීම්වලට ලක්වීම, ක්ලාන්තය ඇතිවීම වැනි හදිසි අනතුරුවලට මුහුණ පෑමේ සිද්ධීන් වාර්තා වේ. එබැවින් එවැනි හදිසි අනතුරුවලින් මිදී අලුත් අවුරුදු ක්‍රීඩා තරග ඉසව් සඳහා ඉදිරිපත් වන්නන් වෙත පොදු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ලාල් ඒකනායක, ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍ය විද්‍යා සංගමයේ සභාපති සහ කැලණිය වෛද්‍ය පීඨයේ මහාචාර්ය අරන්ජන් කරුණානායක, හදිසි කායික ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙනිත් ලියනගේ, ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය චිරන්තිකා විතාන සහ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග, ක්‍රීඩා සහ ව්‍යායාම පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිමුතු මානගේ, වෛද්‍ය ඉර්ෂා ද මස්හුඩ් සහ වෛද්‍ය චතුර එදිරිසිංහ යන අයගේ උපදෙස් මත මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කර ඇත. එම මාර්ගෝපදේශ මාලාවේ ඇති උපදෙස් කිහිපයක් මෙසේය.

ධාවන තරග

මැරතන්, ගමහරහා දිවීම, පාපැදි වැනි දිගු වේලාවක් පැවැත්වෙන තරග ඉසව් සඳහා සහභාගි වන්නන් අවම වශයෙන් සති 06කට පෙර පුහුණුවීම් කළ යුතුය. එම පුහුණුවීම් පුහුණුකරුවෙක් යටතේ සිදු කිරීම වඩාත් යෝග්‍යය.

මැරතන්, මීටර් 1500ට වැඩි ගම හරහා දිවීමේ තරග, පාපැදි තරග මීටර් 800ට වැඩි පිහිනුම් තරග සඳහා සහභාගි වන්නන් අවම වශයෙන් එක් සතියකට පෙර සුදුසුකම් සහිත වෛද්‍යවරයකු විසින් පවත්වනු ලබන පූර්ව තරග සෞඛ්‍ය ඇගැයීමකට ලක්විය යුතුය.

කොට්ට පොර

තරගය සඳහා යොදාගන්නා පැති කණු සහ මධ්‍ය බාහු ක්‍රීඩාකයන්ගේ බරට ඔරොත්තු දියහැකි පරිදි ශක්තිමත් විය යුතුය.

මධ්‍ය බාහුව බිම සිට උපරිම උස සීමාව මීටර් 02 නොයික්ම විය යුතුය.

එක් කොට්ටයක උපරිම බර ග්‍රෑම් 650ක් නොයික්ම විය යුතුය.

ගම හරහා දිවීම

මාර්ගය දිගේ සෑම කිලේ මීටරයකටම නියමිත කාල පරාසයක් තුළ බලය ලබාදෙන මධ්‍යස්ථාන පවත්වාගෙන යා යුතුය.

හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන යෑම

ආරක්‍ෂිත දුරක් පවත්වාගෙන යෑම, හැන්ද තදින් කටින් අල්ලාගෙන නොසිටීම කළ යුතුය. හැන්ද තදින් අල්ලාගෙන සිටින විට එය වැටීමට ලක්වුවහොත් මුහුණට සහ උගුරේ පිටුපසට වැදීමේ සම්භාවිතාව වැඩිය.

ලිස්සන ගහේ නැඟීම

කණුවෙහි උස බිම් මට්ටමේ සිට අඩි 20ක් පමණ විය යුතුය. භූගත කොටස අවම වශයෙන් අඩි 05ක් විය යුතුය.

මිනිස් ස්පර්ශයට හානි නොවන විෂ සහිත හා පරිසර හිතකාමී ග්‍රීස් වර්ගයක් භාවිත කළ යුතුය.

ග්‍රීස් ආලේප කිරීමට පෙර කණුව යම් හානියක් හෝ දුර්වලතාවයක් ඇත්දැයි පරීක්‍ෂා කළ යුතුය.

කඹ ඇදීම

ශක්තිමත් මීටර් 25 සිට 35 දක්වා දිගකින් යුතු කඹයක් තෝරා ගැනීම කළ යුතුය.

අනතුරුදායක නොවන තණකොළ මතුපිටක් සහිත බිමක් විය යුතුය.

මාංශ පේශී ඇදීම් හෝ තුවාල වීමේ අවදානම අවම කිරීම සඳහා සහභාගි වීමට පෙර ශරීරරය උණුසුම් කිරීමට සහ ඉහිල් කිරීමට අදාළ ව්‍යායාමවල යෙදිය යුතුය.

තරගයෙන් පසු මාංශපේශී කැක්කුම සහ තද බව වළක්වා ගැනීම සඳහා ශරීරය සිසිල් කිරීමට හා ඉහිල් කිරීමට කටයුතු කළ යුතුය.

ශක්ති මට්ටම් යථාතත්ත්වයට පත් කර ගැනීම සහ ප්‍රකෘති තත්ත්වයට පත්වීම සඳහා ජලය හා කෙටි ආහාර ලබාගත යුතුය.

කොළඹ වෛද්‍යපීඨයේ පරපෝෂවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශේෂඥ
වෛද්‍ය සනත් සේනානායක

සකස් කළේ – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment