වීසා නැතිව රැඳී සිටි රුසියානු ජාතිකයා පිටුවහල් කිරීමට නියෝග

179

වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටි රුසියානු ජාතිකයෙකු රටින් පිටුවහල් කිරීමට නියෝග කළ ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජිවනී පතිරණ මහත්මිය එතෙක් ඔහු මිරිහාන අතරමැදි කඳවුරේ රඳවා තබන ලෙසට පෙරේදා(09) නියෝග කළාය.

 මෙසේ රටින් පිටුවහල් කිරීමට නියෝග කරනු ලැබුවේ Aleksander Savenkov නමැති රුසියානු ජාතිකයෙකි. මෙම රුසියානු ජාතිකයා 2014 නොවැම්බර් මාසයේ ලංකාවට පැමිණ බූස්ස කැඳල ප‍්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පදිංචිව සිට ඇති අතර පසුගිය මාසවල නිවසේ කුලිය නොදිම නිසා නිවෙස් හිමියා විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

 ඒ අනුව පොලිසිය විසින් පරීක්ෂණ පැවැත්වීමේදී අනාවරණයවී ඇත්තේ 2015 මැයි මස සිට ඔහුගේ වීසා අවසන්ව ඇති බවය. පසුව වලංගු වීසා නොමැතිව ශ‍්‍රී ලංකාව තුළ රැඳී සිටීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත. රත්ගම පොලිසියේ උප පොලිස් පරික්ෂක දේවසිංහ මහතා විසින් සැකකාර රුසියානු ජාතිකයා අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment