තෙල් මත පනවා ඇති සමස්ත බදු ඉවත් කළත් දෛනිකව රු. මි. 551 සංස්ථාවට පාඩුයි – ඇමැති ගම්මන්පිල

161

මුදල් අමාත්‍යාංශය මගින් තෙල් මත පනවා ඇති සමස්ත බදු ඉවත් කළත් දෛනිකව රුපියල් බිලියන පන්සිය පනස් එකක පාඩුවක් විඳීමට තෙල් සංස්ථාවට සිදුවන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.

කොළඹදී ඊයේ (18දා) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශය මගින් තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මේ දක්වා දන්වා නැති බවත් ඒ සම්බන්ධයෙන් ලිපියක් නිකුත් වී ඇතැයි කියන මාධ්‍ය වාර්තා පිළිබඳවද තමන් හෝ තෙල් සංස්ථාව කිසිවක් නොදන්නා බවද කී ඇමැතිවරයා තෙල් මිල වැඩි කිරීමට මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නැතැයිද පැවසීය.

තෙල් මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස තමා මීට පෙරත් කැබිනට් පත‍්‍රිකාව

මගින් ඉල්ලා තිබූ බවත් ඊයේ ද ඒ සම්බන්ධයෙන් නැවත ලිඛිත ඉල්ලීමක් කළ බවද කී ඇමැතිවරයා තෙල් විකිණීම මත මුදල් අමාත්‍යාංශය දිනකට අය කරන බදුවලින් ලබන ආදායම රුපියල් මිලියන තුන්සිය හැට අටක් වුවත් දෛනික පාඩුව රුපියල් බිලියන පන්සිය පනස් එකක් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

සියලූ බදු ඉවත් කළත් තවදුරටත් පාඩු ලබන තත්ත්වයක් තිබුණ ද එම බර ජනතාව මත පැටවීමට සූදානම් නැති බවද කී ඇමැතිවරයා තෙල් මිල වැඩි කරන ලෙස සභාපතිවරයා කරනු ලබන ඉල්ලීම් සලකා බැලීමට හෝ මේ දක්වා තීරණය කර නැතැයි පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා මෙසේද කීවේය.

තෙල් සංස්ථාවට තවදුරටත් ණය ගන්න බැහැ. ඩොලර් බිලියන 3.71ක් නැතහොත් රුපියල් බිලියන 750කට වැඩි ප‍්‍රමාණයක් ණය අරන් තිබෙනවා. ආඩම්බරෙන් කෙසේ වෙතත් ලැජ්ජාවෙන් කිව යුතුව තිබෙනවා ලංකාවේ සිටින ලොකුම ණයගැතියා ඛණිජ තෙල් සංස්ථාව කියලා. අපිට තවදුරටත් ණය දෙන්න බැහැ කියලා බැංකුවලින් කියා තිබෙනවා. අපිට ඩොලර් ගන්න නම් රුපියල් දිය යුතුව තිබෙනවා. අපට රුපියල් ආණ්ඩුව සහනාධාරයක් ලෙස දිය යුතු වනවා. එසේ නැතිනම් බදු අඩු කරන්න වෙනවා. එසේත් නැත්නම් මිල වැඩි කිරීමකට යා යුතු වෙනවා. එය මුදල් අමාත්‍යාංශය තීරණය කළ යුතුයි. අපි ඒ දැනුම්දීම අනුව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

බදු අඩු කළත් යම් මිල වැඩි වීමකුත් විය හැකියි. මුදල් අමාත්‍යාංශය විසින් බදු අඩු කිරීමට ගන්නා තීරණය මත තමයි තෙල් මිල වැඩි කිරීමේ තීරණය පටන්ගන්නේ. මේ දක්වා මේ සම්බන්ධයෙන් කිසිම අනුමැතියක් හෝ තීරණයක් නැහැ.

තෙල් මිල වැඩි කරනවා නම් ? දොළහට තමයි අපි එය නිවේදනය කරන්නේ. තවම කිසිම තීරණයක් නැහැ. නමුත් මම ඉන්ධනහල් හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා මිල වැඩි කිරීම් බලාපොරෝත්තුවෙන් තෙල් නැහැ කියලා බෝඞ් ගහලා ජනතාව අපහසුතාවට ලක් කරන්න එපා කියලා.

අපි මිල වැඩි කරන්නේ මාධ්‍යයට සහ රටට නොකියා. කලින් කිව්වොත් තෙල් පෝලිම් ඇති වෙලා පාරිභෝගිකයා අපහසුතාවයට ලක් වෙනවා. රාතී‍්‍ර දහයෙන් පස්සේ තමයි කියන්නේ අද ? 12න් පසුව තෙල් වැඩි වෙනවා කියලා. මේ දක්වා මුදල් අමාත්‍යාංශයෙන් අපට තෙල් මිල වැඩි කිරීමත් ගැන කිසිවක් දන්වා නෑ කියලා නැවත කියනවා.

අපේ රටට ගෙන්වන තෙල් නැව් ගොඩබා ගැනීමට ඩොලර් සපයා ගැනීම අපහසුනිසා දවස් ගණන් නැව් මුහුදේ තිබුණා. එහෙම වුණාම තෙල් සැපයීම සීමා කරන්න සිදු වෙනවා. පසුගිය දින දෙකට එසේ කරන්න සිදුවුණා. බොරු ප‍්‍රචාරවලට උත්තර දෙන්නත් අපට සිදුවණා. නමුත් ඒ ප‍්‍රචාර බොරු කියලා අපි ඔප්පු කළා. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුවෙන කොට අඩු කරන්නත් වැඩිවන විට වැඩි කරන්නත් මම පොරොන්දු දී නැහැ. අමාත්‍යාංශයේ එහෙම අරමුදලක් හදලත් නැහැ. එහෙම යෝජනාවක් ඇවිත් තිබුණේ බලශක්ති අමාත්‍යාංශයෙන් නෙමෙයි, මුදල් අමාත්‍යංශයෙන්.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ. ඞී. ආර්. ඔල්ගා මහත්මිය සහ ඛනිජ තෙල් සුංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ, කළමනාකාර අධ්‍යක්‍ෂ, බුද්ධික මඩිහහේවා කොලොන්නාව තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ශවේන්ද්‍ර අබේසේකර යන මහත්වරුන්ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment