නිළියො හිටියට නළුවො හිඟයි

යසෝමා, අනුරාගයේ අනන්තය, සඳ යහනට, කළු සුදුමල්, එක මලක පෙති, මැරෙන්නේ නෑ, ශ්‍රී වික්‍රම වැනි සිනමා නිර්මාණ ප්‍රේක්ෂකයා වෙත තිළිණ කළ ප්‍රවීණ තිර රචකයකු අධ්‍යක්ෂවරයකු හා නිෂ්පාදකවරයකු වන මොහොමඩ් මොහාන් නියාස්ගේ නවතම සිනමා නිර්මාණයයි බඹර වසන්තේ. මෙම සිනමා නිර්මාණය ගැන වගේම වත්මන් සිනමා කර්මාන්තය පිළිබඳව අපි කෙටි සංවාදයක නිරත වුණා. මතු දැක්වෙන්නේ එහි පෙළගැස්මය.

බඹර වසන්තය චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා නේද?

ඔව්, අපි මේ චිත්‍රපටයේ රූගත කිරීම් කළේ කොවිඩ් ආසන්න කාලයේ. මේ හේතුව නිසා තිරගත කරන්න ටිකක් ප්‍රමාද වුණා. නමුත් දැන් එහෙම බාධාවක් නෑ. චිත්‍රපටය තිරගත කරන්න අපි සූදානමින් ඉන්නවා.

මේක සත්‍ය කතාවක් - මොහාන් නියාස්

මොකක්ද මේ බඹර වසන්තය?

මේ නිර්මාණයේ තියෙන්නෙ උඩරට පළාතේ වත්තක සිදුවන මිනී මැරුමක් ගැන හොයගෙන යන පිරිසක් වටා ගෙතුන කතාවක් එක්ක යන ලස්සන ආදර කතාවක්.

මේ සත්‍ය කතාවක්ද?

ඇත්තටම මේක සත්‍ය සිදුවීමක්. නමුත් ප්‍රතිනිර්මාණයත් එක්ක කතාවේ අලංකරණයට යම් යම් දේ එකතු කිරීම නිසා වෙනස්වීම් සිදු වෙලා තියෙනවා. මේ නිසා සත්‍ය සිදුවීම ම රූගත කරල නැහැ.

මේක සත්‍ය කතාවක් - මොහාන් නියාස්

මෙහි සංගීත අධ්‍යක්‍ෂණයට නීල් වර්ණකුලසූරිය තෝරා ගන්නව?

නීල් කියන්නෙ වැඩිහිටි වගේම තරුණ පරපුරේත් රිද්මය හඳුනාගත්ත, විෂයය පිළිබඳව අවබෝධයක් ඇති ශිල්පියෙක්. සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමට මේ රටේ වගේම පිටරටවලත් තිබුණ ජනප්‍රියත්වයෙන්ම ඒ බව පැහැදිළි වෙනවනෙ. මේ නිසා තමයි චිත්‍රපටයේ සංගීත නිර්මාණයට නීල් වර්ණකුලසූරිය සම්බන්ධ කරගන්නෙ.

බඹර වසන්තේ නළු නිළියන් තෝරා ගන්නේ කොහොමද?

මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ චන්න පෙරේරා. ඔහු බොහොම කඩවසම් ජනප්‍රිය නළුවෙක්. අපේ සිනමාවේ එවැනි අය ගොඩක් නැහැ. අපිට තියෙන ලොකු අර්බුදයත් ඒක. නිළියන් ඉන්නවා. නමුත් නළුවන් හිඟයි. ප්‍රධාන නිළිය වෙන්නේ තනාෂා හතරසිංහ. ඊට අමතරව රෙක්ස් කොඩිප්පිලි, බුද්ධික ජයරත්න, ගයේෂා පෙරේරා, ජගත් ගලප්පත්ති, චංචලා වර්ණසූරිය වැනි ජනප්‍රිය නළු නිළියන් චරිත නිරූපණය කරනව.

මේක සත්‍ය කතාවක් - මොහාන් නියාස්

වර්තමාන සිනමාවේ පිබිදීමක් තියෙනවද?

ඇත්තටම අද වන විට සිනමාවේ ලොකු පිබිදීමක් තියෙනවා. ඒ වගේම අපි විසඳාගත යුතු අර්බුද රැසකුත් තියෙනවා. විශේෂයෙන්ම ප්‍රදර්ශනය සම්බන්ධයෙන් තියෙන අවිධිමත් බව. මේ ගැන ප්‍රදර්ශකයන්, සිනමා ශාලා හිමියන් වගේම චිත්‍රපට සංස්ථාව එකතුවෙලා සාමූහිකව සාකච්ඡා කරල තීරණ ගත යුතුයි. තරගය වැඩි වෙනකොට චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් ප්‍රදර්ශනයට මුදාහරිනවා. දැනට තියෙන ඉල්ලුම හැටියට මාසයකට චිත්‍රපට තුනක් එළියට එනවා. ඒක සිනමා ශාලා ධාරිතාවට දරාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සිනමාව කර්මාන්තයක් හැටියට සහ කලාවක් හැටියට පවත්වාගෙන යන්න නම් අපි මේ අඩුපාඩු හදාගන්න ඕනෑ.

චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට තියෙන ලොකුම බාධාව මොකක්ද?

මේ කර්මාන්තය තුළ වෘත්තීයමය නොවන චිත්‍රපටත් හැදෙනවා. ඔවුන්ට ඒවා ප්‍රදර්ශනය කරගන්න බැරි වුණාම සිනමා ශාලා වෙත පරිවර්තනය කරලා අරගෙන එනවා. එතැනදී විධිමත්ව වෘත්තීමය වශයෙන් නිෂ්පාදනය කරන චිත්‍රපට පුළුවන් තරම් ධෛර්යමත් කරන්නත්, වෘත්තීමය නොවන චිත්‍රපට අධෛර්යමත් කරන්නත් වැඩපිළිවෙළක් ඕනෑ. එහෙම වුණාම අතිරික්ත නිෂ්පාදන එන්නේ නැහැ. දැනටත් එහෙම නිර්මාණ තියෙනව ප්‍රදර්ශනය කරගන්න අවස්ථාවක් නැතිව. මේවාත් එක්ක එකතු වුණාම ගුණාත්මක නිර්මාණවලට ලැබෙන්න තියෙන අවස්ථාව අවහිර වෙනවා.

දවසින් දවස සිනමා ශාලා වැහෙනවා. මේක හොඳ ප්‍රවණතාවක් නොවෙයි?

අපේ සිනමාවට පැමිණි අභියෝගාත්මකම අවස්ථාව තමයි කොවිඩ් කාලය. අනෙක් හැම අවස්ථාවකදීම සිනමාවට බේරිලා ඉන්න අවස්ථාව තිබුණා. නමුත් කොවිඩ් නිසා මේ කර්මාන්තය සම්පූර්ණයෙන්ම ඇනහිටියා. මෙවැනි අවස්ථාවක් අපේ ලංකා ඉතිහාසයේම නැහැ. වසංගතය ටිකෙන් ටික අවසන් වෙලා යද්දී සිනමා ශාලා විවෘත වුණත් ඒ සමගම ආර්ථික අර්බුදයක් පැනනැඟුණා. අපිට පනවපු සියයට දහ අටක වැට් එකත් එක්ක කර්මාන්තය යථාතත්ත්වයට පත්වෙන්න තිබුණ වේගය අඩු වුණා. මේ වැට් එකට කලින් එක දවසට සිනමා ශාලා බොහෝ ප්‍රමාණයක් විවෘත වුණත් අද වන විට ආර්ථිකයේ සංකෝචනයත් එක්ක සිනමා ශාලා වැසෙමින් යන තත්ත්වයට පත්වෙලා. නමුත් මේ අතර ඇතැම් ප්‍රදේශවල අති නවීන පහසුකම්වලින් යුත් සිනමා ශාලා විවෘත වන තත්ත්වයකුත් දකින්න ලැබෙනව. ඒක හොඳ ප්‍රවණතාවක්.

මේ ඇතිවන නවීන සිනමා ශාලාවල බොහෝ දුරට ප්‍රදර්ශනය වෙන්නෙ විදේශීය සිනමා පට?

අපි 70, 80, 90 දශක ගත්තොත් 70 දශකයේ විදේශීය චිත්‍රපටවලට නිශ්චිත පාලනයක් තිබුණා. නමුත් 2000 න් පස්සේ මේ තත්ත්වය වෙනස් වෙලා සම්පූර්ණයෙන්ම නිදහසේ චිත්‍රපට ආනයනය කරල ප්‍රදර්ශනය කිරීමේ හැකියාව තිබුණා. මේ නිසා සිංහල චිත්‍රපටවලට ලැබුණ කාලය බොහොම සීමා සහිත වුණා. නමුත් 2020 වන විට ආනයනික සිනමාපටවලට ඉහළ තාක්‍ෂණයෙන් යුත් සුවිශේෂී සිනමා ශාලා හැදුණා. වැඩි කාලයක් ඒ චිත්‍රපටවලට වෙන් කළා වගේම ඒවාට විශාල ප්‍රේක්‍ෂක පිරිසක් හිටියා. නමුත් වර්තමානයේදී ඉංග්‍රීසි සහ දමිළ චිත්‍රපටවලට සිටි ප්‍රේක්‍ෂකයන් ප්‍රමාණය වේගෙන් අඩුවෙලා තියෙනවා. මේ වාසිය දේශීය සිනමාවට ලැබෙනවා. නමුත් පීක් හවර්ස් ලැබෙන්නෙ බොහෝම අඩුවෙන්.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment