මට උගන්වන්න අම්මා කේක් කඩේක වැඩට ගියා…

ජයග්‍රාහී නර්තන ශිල්පීන්ට අයි.ටී. ශිෂ්‍යත්ව…

ප්‍රසංගයේ මූලික වැඩවලට මුදල් හොයාගත්තෙ අම්මගෙ කර මාලය උකස් කරලා…

සමහර ගම්වල නර්තන ගුරුවරු නෙළුම් පොකුණේ නටල නෑ…

සඳ එළියෙන් ආලෝකවත් වූ කොළඹ අහස වෙනදාට වඩා සුන්දරය. නෙක විසිතුරු විදුලි බුබුළෙන් හැඩ වූ කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රය ද මන බඳිනා අසිරියෙන් බැබළේ. සතර දිග්භාගයෙන් පැමිණෙන මිනිසුන්ගෙන් නෙළුම් පොකුණ පරිශ්‍රය පිරී ඉතිරී යන අයුරු මම බලා සිටිමි. දුර බැහැර සිට මේ මිනිසුන් පැමිණෙමින් සිටිනුයේ නගරයේ මෙන්ම හද්ද පිටිසර ගම්මානවල නර්තන කණ්ඩායම්වල සුරුවිරුකම් එක වේදිකාවක දී නැරඹීමට ය. විනාශ වී යන සාම්ප්‍රදායික නර්තන කලාවට ජීවය ලබාදීමට උපන් ‘වන්නම’ වේදිකාව තුළ අපේකම නැරඹීමට ය. තරු සමාජගත කරන ‘මාර්කටින් රියැලිටි’ කලාවෙන් ඔබ්බට ගිය ‘වන්නම ප්‍රසංගය’ තවත් එක් ව්‍යාපාරයක් නොවේ. අනුරාධපුර එප්පාවල හද්ද පිටිසර ගමක දිළිඳු පවුලක ඉපිද දුක් මහන්සියෙන් ඉගෙන ගෙන තොරතුරු සංවිධාන තාක්‍ෂණ උපාධිය හැදෑරීමට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ තරුණයෙක් කලා කෙත අස්වැද්දීමට දරන අහිංසක වෑයමකි. හේ නිලංක ලියනගේය. වයස අවුරුදු 23ක භද්‍ර යෞවනයෙකි. මේ මොහොතේ ඔහු කාර්යබහුලය. පසුව ඔහු සම්බන්ධ කරගැනීමේ අදහසින් තම දක්‍ෂතා ඉදිරිපත් කිරීමට නර්තන ශිල්පීන් විචිත්‍රවත් වන ශාලාවට අපි ගියෙමු.

එකම වැඩ බිමකි. අඳිති. පලඳිති. බෙර තද කරති. විශාල පිරිසක් තැන, තැන යුහුසුලුව ප්‍රසංගයට සූදානම් වෙමින් සිටිති. තැනක නර්තන ශිල්පීහු තාලයට පාද තබති. තව තැනක පිරිසක් කවි පද මුමුණති. ඈත ගම්මානවලින් පාන්දර සිට පැමිණ සිටිය ද විඩාබර ගතියක සේයාවක් හෝ ඒ මුහුණු තුළින් නොපෙන්. ඔවුන්ගේ උනන්දුව දැකීම ද සිතට සතුටකි. එහෙත් අපේ මේ වෑයම නෙළුම් පොකුණ රඟහල තුළ ‘වන්නම’ වේදිකාගත වූ ආකාරය සටහන් තැබීම නොවේ. එම ප්‍රසංගයේ තිරයෙන් පිටුපස කතාව රට ට හෙළිදරව් කිරීමය.

“ඒ කතාව ප්‍රසංගය තරම් සුන්දර නෑ. ඒත් ප්‍රංසගය අවසානයේ මගේ හිතට දැනුන සතුට වචන කරන්න බැරි තරම්…” වන්නම නිර්මාණයේ සිහින කුමරු නිලංක ලියනගේ පෙළගැසෙන කතාවට එසේ ප්‍රවිෂ්ට විය.

“මම කලා පවුලකින් පැවැත එන කෙනෙක් නෙමෙයි. මගේ තාත්තා ගොවියෙක්. අම්මා රැකියාවක් කළේ නෑ. ඒත් මට හොඳට උගන්වන්න කියලා අම්මා කේක් කඩේක වැඩට ගියා. එහෙම මහන්සි වෙලා තමයි මට ඉගැන්නුවේ. මම ඉගෙන ගත්තෙ අනුරාධපුර ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ. පහේ ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වුණා. ඒ. 6 යි. බී 3 ක් අරගෙන සාමාන්‍ය පෙළත් එක වර සමත් වුණා. වාණිජ අංශයෙන් උසස් පෙළ කරලා ඒ තුනක් ලබා ගත්තා. දිස්ත්‍රික්ක මට්ටමින් 34 වෙනියට ලකුණු තිබුණේ මට. අපේ පවුලට ආර්ථික ශක්තියක් නොතිබුණු නිසා ඉගෙන ගන්න ගොඩක් මහන්සි වෙන්න වුණා. ටියුෂන් යන්නවත් වත්කමක් තිබුණේ නෑ. ඒත් පුංචි කාලේ ඉඳලා මගේ සිහිනය වුණේ විශ්වවිද්‍යාලයට යෑම. ඒ සිහිනය සැබෑ කරගත්තට, දුප්පත් පවුලක ළමයෙක්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවා කියන එක පහසු නෑ. විශාල වියදමක් යනවා. ඒ වියදම හොයාගන්න මම පාසල් ළමයින්ට අයි. ටී. පන්ති කරනවා. ගෙවල්වලට ගිහින් ටියුෂන් දෙනවා. මගෙන් ඉගෙන ගත්ත ගොඩක් ළමයි විභාගයේ දී උපරිම ප්‍රතිඵල ගත්තා. ඒ ප්‍රසිද්ධියත් එක්ක මට වැඩියෙන් ක්ලාස් කරන්න අවස්ථාව ලැබෙනවා. එහෙම වැඩ කරගෙන යනකොට මේ රටේ පාරම්පරික කලාවෙන් ලොකු වැඩක් කරන්න පුළුවන් කියලා මට හිතුණා. ඒ සමග සාම්ප්‍රදායික නර්තන කලාව ගැන කෙටි හැදෑරීමක් කළා. ඊට පස්සෙ තමයි වන්නම ප්‍රසංගය ගැන මගේ යාළුවොත් එක්ක සාකච්ඡා කළේ. ඒ අයටත් මගේ වැඩසටහන ගැන හොඳට අවබෝධ වුණා…” නිලංකගේ කතාවට මම බාධා කළෙමි.

අපේ රටේ අලුත් දෙයක් සොයාගත්තේ, අලුත් විදිහට හිතන්නේ රට, ජාතිය, අපේ උරුමය ගැන කැකුමක් තියෙන්නේ වත්පොහොසත් ඇති පවුල්වල ළමයින්ට නොවේ. හද්ද පිටිසර ගම්මානවල දුප්පත් පවුල්වල දරුවන්ටය. අතීතයේ සිට මේ දක්වා ඊට ඇති උදාහරණ බොහෝමය. නිලංක ද එප්පාවල ගමේ දිළිඳු පවුලක දරුවෙක්ය. උත්සාහයෙන් සහ කැපවීමෙන් ඉගෙන ගෙන මේ වනවිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවෙකි. ලෝකයට ප්‍රවිෂ්ට වීමේදී විශ්වවිද්‍යාල උපාධිය ප්‍රමාණවත් නොවන බව තේරුම් ගෙන සිටින හේ හොරයිසන් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ගණකාධිකාරී උපාධිය ද හදාරනු ලැබේ. හෙළ කලාවට ජීවයක් ලබාදීමට වන්නම ප්‍රසංගය කලඑළි දැක්වීමට නිලංක උපරිම ශක්තිය යොදා ඇත්තේ ඒ සියලු අධ්‍යාපන කටයුතුවල නියැළෙන අතරතුරය.

නිලංකගේ සිහින ප්‍රසංගය ‘වන්නම’ කලඑළි දුටුවේ පසුගිය ඔක්තෝබර් මස 30 වැනිදාය. උඩරට, පහතරට, සබරගමුව දේශීය කලා සම්ප්‍රදායන්වලට අයත් කලා නිර්මාණ පමණක් ඉදිරිපත් වූ එම ප්‍රසංග වේදිකාව තුළ පැවැති විචිත්‍රත්වය නම් වචන කර අවසාන කළ නොහැකි තරම් ය. කොළඹ නෙළුම් පොකුණ රඟහල තුළ, විශාල ප්‍රේක්‍ෂක පිරිසක් ඉදිරියේ පැවැති එම ප්‍රසංගයට සහභාගි වී සිටි නර්තන කණ්ඩායම් සංඛ්‍යාව 18 කි. උතුර, නැඟෙනහිර පළාත් හැරෙන්න මෙරට පළාත් හතක් නියෝජනය කරමින් නර්තන කණ්ඩායම් සහභාගවී සිටියහ. එම නර්තන කණ්ඩායම්වල සාමාජිකයන්ගේ මවුපියන්, සහෝදර, සහෝදරියන් ඇතුළු විශාල පිරිසක් එක්, එක් කණ්ඩායම් සමග පැමිණ සිටීම ද විශේෂත්වයකි. එමෙන්ම සහභාගිවී සිටි නර්තන කණ්ඩායම්වලින් බහුතරය හද්ද පිටිසර ගම්මානවල කණ්ඩායම් ය. කොළඹ දිස්ත්‍රික්කයේ නර්තන කණ්ඩායම්වල සහභාගිවීම ඉතාම අඩුය. ඒ කොළඹ නර්තන කණ්ඩායම්වල ශිල්පීන්ට මෙවැනි දුප්පත් ප්‍රසංගවලට ඉදිරිපත්වීම මදිපුංචිකමක් බැවිනි. ඔවුන්ට සුපිරි සන්දර්ශන සුලබව තිබේ. එහෙත් දුර පළාත්වලින් පැමිණ සිටි නර්තන ශිල්පීන් බහුතරය නෙළුම් පොකුණේ කෙසේ වෙතත් කොළඹ සාමාන්‍ය රඟහලකවත් නර්තන ඉදිරිපත් නොකිරීම අසන හදවත් කම්පනයට පත්කරවීමකි. එමෙන්ම පැමිණ සිටි නර්තන කණ්ඩායම් 18 හි ගුරුවරු බහුතරය ද මීට පෙර නෙළුම් පොකුණ රඟහලේ නර්තන ඉදිරිපත් නොකිරීම ද විශේෂත්වයකි. නෙළුම් පොකුණට යාබද සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඇතැම් ගුරුවරු ද නෙළුම් පොකුණේ නර්තන ඉදිරිපත් කර නොතිබීම කනවැකීම මගේ සිත පුදුමයට පත් විය.

සිංහල වන්නමට අලුත් පණක් දෙන්න හදන සරසවි සිසුවා
නිලංක ලියනගේ

‘ඔන්ලයින්’ තාක්‍ෂණය ඔස්සේ තෝරාගත් නර්තන කණ්ඩායම් ප්‍රසංග වේදිකාවේ දී ප්‍රවීණ විනිශ්චය මඬුල්ලක් විසින් සාම්ප්‍රදායික නිර්මාණ, ගැමි නිර්මාණ, නව නිර්මාණ සහ සංකලන නිර්මාණ වශයෙන් ඛණ්ඩ හතරක් යටතේ ජයග්‍රාහකයන් තෝරාගනු ලැබිණි. එහෙත් විශාල මුදල් ත්‍යාග ලබාදීමට වන්නමට හැකියාව නොතිබිණි. ප්‍රසංගයට සහභාගි වී සිටි සියලුම දරුවන්ට වටිනා සහතික පත්‍රයක් ලබාදුන් අතර ප්‍රථම, දෙවන සහ තෙවැනි ස්ථාන ලබාගත් කණ්ඩායම්වල සාමාජිකයන්ට සම්මාන සහ සහතික පත්‍රයට අමතරව නොමිලේ තොරතුරු තාක්‍ෂණ පාඨමාලාවකට සම්බන්ධවීමට අවස්ථාව හිමිකර දුන්නහ. එම පාඨමාලාවේ ගුරුවරයා ද ‘වන්නම’ නිර්මාතෘ නිලංක ලියනගේ සිසුවාය.

“මගේ කතාව බලන කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙවැනි කැප කිරීමක් කරන්න මට පිස්සු ද කියලා. ඔව්… මේකත් පිස්සුවක් තමයි. අපේ රටේ පාරම්පරික නර්තන කලාව වේගයෙන් විනාශ වෙලා යනවා. මේ විනාශය නතර කරන්න කවුරුහරි මූලිකත්වය ගන්න ඕනෑ. ඒත් මෙවැනි විශාල ප්‍රසංගයක් පැවැත්වීමට මා ළඟ මුදල් තිබුණේ නෑ. ප්‍රසංගයේ මූලික වැඩවලට මුදල් හොයාගත්තෙ අම්මගෙ කර මාලය උකස් කරලා. වැඩසටහන ගැන පැහැදිලි කළා ම අම්මා කර මාලය ගලවල මගේ අතට දුන්නා. ඒත් ඒ මුදල් නෙළුම් පොකුණ රඟහල බුක් කරන්නවත් ප්‍රමාණවත් වුණේ නෑ. නෙළුම් පොකුණ රඟහල බුක් කරන්නම රුපියල් අට ලක්‍ෂ හතළිස් දහසක් ගෙවන්න වුණා. පස්සෙ මම අයි.ටී. උගන්වන දරුවෙක්ගේ තාත්තා කෙනෙක්ට වන්නම වැඩසටහන ගැන පැහැදිලි කළා. ඒ තාත්තා මගේ වැඩසටහන ගැන අවබෝධ කරගෙන ප්‍රසංගයේ සම්පූර්ණ අනුග්‍රහය දැරුවා. ආචාර්ය ප්‍රියන්ත කල්පගේ සහ ගයනි කල්පගේ අම්මා, තාත්තා මට උදව් නොකරන්න මේ ප්‍රසංගය පවත්වන්න ලැබෙන්නෙ නෑ. ඔවුන් මූල්‍ය අනුග්‍රහය දැක්වුවා පමණක් නෙමෙයි, ප්‍රසංගයත් කළමනාකරණය කරන ආකාරය ගැන මට පූර්ණ දැනුමක් ලබාදුන්නා. ඇත්තට ම, ප්‍රසංගයක් කරන්න සූදානම් වෙන්න පෙර අනිවාර්යෙන් එය කළමනාකරණය කරන ආකාරය ගැන හැදෑරිය යුතුයි. ඒ වගේම විශ්වවිද්‍යාලයේ හිතවතුන් ශ්‍රමයෙන් මට ගොඩක් උදව්, උපකාර කළා. අපි පොඩියට හිතුවට ප්‍රසංගය අවසාන වෙනකොට රුපියල් ලක්‍ෂ 20කට ආසන්න මුදලක් වියදම් වෙලා තිබුණා. ලක්‍ෂ තුනයි ගාණක් ණය වුණා. මම ටියුෂන් කරලා ඒ ණය පියවනවා. ඒ ගැන මට දුකක් නෑ. මගේ එකම බලාපොරොත්තුව අපේ කලාව අන්තර් ජාතික මට්ටමට රැගෙන යෑම. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී මෙරට පාරම්පරික නර්තනයක් ඉදිරිපත් වෙනවා දැකීම…”

“දක්‍ෂතා මත ඇතැම් කලාකරුවන් තම නිර්මාණ ජාත්‍යන්තරයට ගෙනිහින් තිබුණට මෙරට පාරම්පරික කලාව තවම ජාත්‍යන්තරයට ඉදිරිපත් වෙලා නෑ. එහෙම වුණා නම් අපේ කලාව ලෝකය තුළ හොඳ වෙළෙඳ භාණ්ඩයක් වෙනවා. එකතු වුණොත් අපිට ඒක කරන්න බැරි කමක් නෑ. වන්නම හැදුවේ ඒකට. පාරම්පරික කලාව අනාගත පරපුරට සුරක්‍ෂිත කර තැබීමට. අපේ දේ ආරක්‍ෂා කරගෙන අලුත් දෙයක් ලෝකයට හඳුන්වාදීමට දරුවන්ව යොමු කිරීමට දෙමවුපියන්ව හුරු කිරීමට. එහෙම වුණොත් විතරයි මේ රට දියුණු කරන්න පුළුවන්. ඒත් ඒ වෑයම උඩුගං බලා පිහිනීමක්. අපේ දේ විනාශ කර පිටරට දේ කරපින්නාගත් වෙළෙඳ මාෆියාවෙන් එන අභියෝග වැඩියි. ‘විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ට මේ වගේ නර්තන තරගයක් කරන්න පුළුවන් ද…’ කියල මට මඩ ගැහුවා. සංස්කෘතික අමාත්‍යාංශයෙන්වත් අපිට සහයෝගයක් ලැබුණේ නෑ. ඒත් අපි නතර වුණේ නෑ. අපේ ප්‍රථම ප්‍රසංගය සීයට සීයක් සාර්ථක කර ගත්තා. ඊට පස්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන්නම ප්‍රසංග දෙකක් කළා. මගේ යාළුවන්ගෙන් වගේම විශ්වවිද්‍යාල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩල දෙකෙහිම සහයෝගය උපරිමයෙන් ලැබුණා. දැන් මට විශ්වවිද්‍යාලය තුළ ප්‍රසංගයක් කරනවා කියන එක සාමාන්‍ය දෙයක්. නෙළුම් පොකුණ අන්තර් ජාතික මට්ටමේ වේදිකාවක්. එවැනි රඟහලක මෙවැනි ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමට ලැබීම මගේ අනාගතයට විශාල ආශීර්වාදයක්. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට මට කියන්න තියෙන්නේ දුප්පත් අපිට ජීවිතය ජයගන්න තියෙන එකම අවස්ථාව සරසවි වරම් ලබාගැනීම. ඒ අවස්ථාව ලැබෙන්නෙත් අතිශය අල්ප පිරිසකට. පෙරිලා, මිරිකිලා විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙලා පිස්සු නැටීම පාපයක්. විශ්වවිද්‍යාල තුළ කලාව, දේශපාලනය කරන්න ඕනෑ. ඒ හැම දෙයක්ම විෂය බාහිර ක්‍රියාකාරකම් බව නිරන්තර අවබෝධයෙන් ඉන්න ඕනෑ. විශ්වවිද්‍යාල තුළ දේශපාලනය කරන්න ඕනම කියලා කාගෙන්වත් බලපෑමක් නෑ. ළමයි දැනගන්න ඕන විශ්වවිද්‍යාල ජීවිතය කළමනාකරණය කර ගන්න…” නිලංකගේ කතාව පාසල් ළමයින්ට පාඩමකි. මෙරට රජයෙන් කළ යුතු කාර්යභාරය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ලෙස නිලංක තනියෙන් කිරීමට වෑයම් දරන අයුරු දැකීම සතුටකි. එමෙන්ම මුවින් ගිලිහෙන වචන දෙසවනේ රැඳෙනවිට ඔහු සම්බන්ධයෙන් දැනුණේ අසීමිත ආඩම්බරයකි. වන්නම ප්‍රසංගයට මූල්‍ය අනුග්‍රාහකත්වය දැක්වූ ගයනි කල්පගේ මහත්මිය ද අදහස් දක්වමින් නිලංගගේ දක්‍ෂතා ගැන අපට පැහැදිලි කළාය.

“මගේ පුතා සාමාන්‍ය පෙළ කළේ ගිය අවුරුද්දේ. අවසාන මාස හය වෙනකන් අයි.ටී. දැනුම අල්පයි. හිතවතෙක් මාර්ගයෙන් නිලංකව සම්බන්ධ කරගෙන පුතාට අයි.ටී. ඉගැන්නුවා. විභාගයට පෙර මුළු විෂය නිර්දේශයම ඉගැන්නුවා. විභාග ප්‍රතිඵල ලැබෙනකොට පුතාට අයි.ටී.වලට ඒ සාමාර්ථයක් තිබුණා. නිලංකගේ වන්නමත් හොඳ වැඩසටහනක්. ඒ ප්‍රසංගයට සහභාගි වෙලා හිටපු සමහර ගම්බද ළමයි කොළඹටත් ඇවිත් තිබුණේ නෑ. ඒ වගේ දරුවන්ට වේදිකාවක් හදලා දීම පින්කමක්. මම දකින විදිහට වන්නම සමාජ සද්කාරයක්. රට පුරා නර්තන හැකියාවන් තිබෙන කොපමණ දරුවන් සිටියත් නටන්න වේදකාවක් නැති නම් ඒ දක්‍ෂතාවලින් ඵලක් නෑ. නර්තන ගුරුවරු සොයාගන්නා මිණි කැට ඔප දැමීමට සෑදුණු වේදිකාව වන්නම කියලා මම හිතනවා…” ඇය නිහඬ විය. නිලංකගේ දක්‍ෂතාව සහ වන්නම ගැන තවත් අටුවාටීකා ඇවැසි නැත.

රටකට ඇවැසි එවැනි දේශහිතෛෂී, ජාතිමාමක තරුණයන්ය. අපේකමට මුල් තැන දෙන තරුණයන්ය. එහෙත් මෙරට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන බහුතරය අරගලකරුවන්ය. කාලය කා දමන අරගලවලින් මෙරටට ලැබුණු ජයග්‍රහණයක් නැත. එම ශිෂ්‍යයන්ට ද අත් වූ සෙතක් නැත. නිලංක වගේ රටට, ජාතියට වැඩ ඇති දෙයක් කළවිට අවසානයේ ආත්ම තෘප්තිය හෝ ඉතිරි වේ. එමෙන්ම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී, රෑ තිස්සේ නයිට් ක්ලබ් අස්සේ රිංගන වල්මත් වූ මානසිකත්වයෙන් පෙළෙන වර්තමාන තාරුණ්‍යයට නිලංක සුපිරි ආදර්ශයකි. එවැනි තරුණයෙක් සමග කතා කිරීමට ලැබීම ද සිතට සතුටකි. හෙළ කලාවේ සියුම් තැන් සෙවීමට ‘වන්නම’ සමග ‘අත්වැල්’ බැඳ ගැනීමට පාරම්පරික කලා ශිල්පීන්ට සහ ප්‍රේක්‍ෂක ඔබටත් අපි ඇරයුම් කර සිටිමු. මෙරට කලාව භාර බලධාරීන් සහ සංස්කෘතික අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ වගකීම විය යුත්තේ නිලංක වැනි තරුණයන්ව තව, තවත් දිරිමත් කිරීමට කටයුතු කිරීම බව අපගේ හැඟීමය. එහෙත් මෙපමණ කාලයකට මෙරට බලධාරීන්ගෙන් සහ නිලධාරීන්ගෙන් එවැනි වගකීමක් ඉටුනොවීම රටේ කරුමයකි.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment