“අද අපට අවශ්‍ය පරණ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම නොවේ. අද අප කළ යුත්තේ පැරැණි පිළිතුරු ප්‍රශ්න කිරිමයි” දිවන්ගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා කළ මෙම ප්‍රකාශය තුළ එතුමාගේ චින්තනයේ ගැඹුර හා පැතිකඩ අපට අවබෝධ කර ගැනීමට පුළුවන්. රටක් ඉදිරියට ගමන් කිරීමට නම් නව චින්තනයකින් ක්‍රියා කිරීමට රටේ නායකත්වය භාරගන්නා, නායකයෙකුට හැකියාව තිබිය යුතුයි. එතුමාගේ මෙම ප්‍රකාශය තුළින් අප දකින්නේ වෙනස් වන සමාජය තුළ වෙනස් වන මතවාද සමඟ කටයුතු කිරීමට රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඇති කැමැත්තයි. එමෙන්ම එකී වෙනස සිදු කිරීමට නම් අප සමාජය, සමාජයේ ක්‍රමවේදයන් ප්‍රශ්න කළ යුතු බව එතුමා පැහැදිලිවම මේ තුළින් ප්‍රකාශ කොට තිබේ. රණසිංහ ප්‍රේමදාස මහතාගේ දේශපාලනය සහ පොදුජන මෙහෙවරෙහි ප්‍රධානතම ලක්ෂණයක් වූයේ ප්‍රශ්න කිරීම තුළින් විසඳුම් වලට එළැඹීමට කටයුතු කිරීමයි.

එම ප්‍රශ්න කිරීම බොහෝ විට සම්ප්‍රදායික ක්‍රමවේදයන් හා අනුගත වූවනට ගැටලුකාරී වූවාට කිසිඳු සැකයක් නොමැත. එතුමාගේ ජීවිතයේ සමහරක් අභියෝග හා ගැටුම් නිර්මාණය වීමට ප්‍රධානතම හේතුවක් වූයේ ද මෙම ප්‍රශ්න කිරීම් සහ ඒවාට පිළිතුරු සැපයීමට දැරූ නව ප්‍රවේශයක් බව ගැඹුරු ආධිපත්‍යයක් තුළින් වටහා ගැනීමට පුළුවන.

රණසිංහ ප්‍රේමදාස මහතා වෙනස් වීමට සූදානම් වූ අයෙක් බව විටින් විට එතුමා කළ ප්‍රකාශ වලින් සහ ක්‍රියාකාරකම් තුළින් අපට හඳුනාගැනීමට පුළුවන්. රටක් වෙනස් කිරීමට නම් සමාජය ගැන අප සිතන අයුරු ක්‍රියා කරන පරණ පිළිවෙත් අත්හල යුතු බව එතුමා තරයේ විශ්වාස කළා පමණක් නොව එසේ නොකළහොත් සිදුවන විනාශය විග්‍රහ කළේ මෙලෙසයි. “අපට තෝරාගන්න තිබෙන මාර්ග දෙක ඉතාම පැහැදිලියි. එක්කෝ අපට පැරණි ක්‍රමය අනුව වැඩ කරලා විනාශයට මුහුණ දෙන්න පුළුවන්. හැකිනම් අලුත් උපායමාර්ගයක් අනුව ප්‍රතිසංවිධානය කර නොබිඳී ජීවත් වෙන්න පුළුවන්”ප්‍රේමදාස මහතා ප්‍රතිසංස්කරණය හා ප්‍රතිසංවිධානය යන්න මැනවින් හඳුනා ගනිමින් සිය ජනතා මෙහෙවර තුළ එය ප්‍රායෝගික වැඩපිළිවෙළකට ලක් කළ ආකාරය විමසා බැලීමට රටේ අනාගතය සඳහා සැලසුම් සකස් කරන වර්තමානයේ දේශපාලන පක්ෂ වලට සහ නායකයන්ට අතිශයින් වැදගත් වන බව සඳහන් කළ යුතුය.

නොබිඳී ජීවත් විය හැකි රටක් පැතූ ප්‍රේමදාස

වෙනසක් යනු අභියෝගයක් බව ප්‍රේමදාස මහතා මැනවින් වටහාගෙන සිටි කරුණකි. ලංකා සිවිල් සේවයේ කීර්තිමත් නිලධාරියෙකු ලෙස ක්‍රියා කළ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස කටයුතු කළ නෙවිල් ජයවීර මහතා ප්‍රේමදාස මැතිතුමා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ඒ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මේ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකරන ලදී. එහිදී එතුමා සඳහන් කළේ “සෑම නව සංකල්පයක්ම ක්‍රියාවේ යෙදෙන විට ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවනවා. එහෙම වුණත් ඒ සංකල්පයේ වටිනාකම අඩු වෙනවා යැයි කියන්න බැහැ” අලුත් යමක් ක්‍රියාවට නංවනවිට පැමිණිය හැකි ප්‍රතිවිරෝධතා පිළිබඳවත් ඒ තුළින් අධෛර්ය නොවිය යුතු බවත් ප්‍රේමදාස මහතා මැනවින් වටහාගෙන ක්‍රියා කළ අයුරු එතුමාගේ ජිවිතය පුරාම දක්නට ලැබෙන සුවිශේෂි ගුණානංගයකි.

රණසිංහ ප්‍රේමදාස මහතා දේශපාලනය තුළ වෙනස්කම් සිදුවිය යුතු බව තරයේ විශ්වාස කළ අයෙක්. එතුමා එදා දැක්වූ අදහස් නිවැරදිව කියවා ගැනීමට සමාජය හෝ එතුමා නියෝජනය කළ දේශපාලනයට හැකි වුවාද යන්න ප්‍රශ්න සහගතය. වරෙක එතුමා සඳහන් කළේ,

“අපි දැන් අවුරුදු ගණනාවක් මුළුල්ලේ අත්හදා බැලූ ක්‍රම තුළින් සමාජයේ පාරිශුද්ධභාවය ඇති කරන්නට තිබෙන අමාරුකම් මොනවා ද? බොහෝ විට සිද්ධවෙලා තියෙනවා බොහෝ වැරදිවලදී ඇස්දෙක වහගෙන ඉන්න. කන් ඇහෙන්නේ නැතිව ඉන්න ඇයි? අපේ පක්ෂයේ මිනිසා නිසා අපේ කණ්ඩායමේ එක්කෙනා නිසා. ඒ ක්‍රමය හරි ද? ඒ ක්‍රමයෙන් මේ සමාජයේ පාරිශුද්ධයක් ඇති කරන්න පුළුවන් ද? සමහරවිට කණ්ඩායමේ එක් කෙනා නිසා. ඒ ක්‍රමය හරි ද? ඒ ක්‍රමයෙන් මේ සමාජයේ පාරිශුද්ධියක් ඇති කරන්න පුළුවන් ද? සමහර විට කණ්ඩායමේ එක්කෙනා නිසා නුසුදුස්සාට කැමැත්ත දෙන්න වෙනවා. රටේ පොදු දියුණුවට නොසුදුස්සෙක් නමුත් පක්ෂයට කණ්ඩායමට සුදුස්සෙක් එනිසා පොදු දියුණුවට මොනවා වුණත් කමක් නැහැ. පක්ෂයට හිතවත් නිසා. කණ්ඩායමේ කෙනෙක් නිසා ඔහුට රුකුලක් දිය යුතුයි ඒක හරිද? වර්තමානයේ දේශපාලනයට සහ දේශපාලඥයින්ට නගන චෝදනාවේ ස්වභාවට 1986 දී ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ එලෙසිනි. පෙන්වා දුන්නා පමණක් නොව එය වෙනස් කරන්නට යම් යම් සාධනීය පියවර ගැනීමටත් එතුමා උත්සුක විය.

1988 ජනාධිපතිවරණයට එතුමා මුහුණ දුන් භීෂණය තුළ, එයට හේතු කියවා ගත් අයුරින් එවැනි තත්ත්වයක් යළි ඇති නොවීමට පියවර ගත්තේ කෙසේදැයි එතුමා කළ පැහැදිලි කිරීම් තුළින් අපට හඳුනාගැනීමට පුළුවන්. සාකච්ඡාව, සම්මන්ත්‍රණය හා සම්මුතිය එතුමාගේ විසඳුම් ලබාදීමේ දී ප්‍රමුඛ අවධානයට යොමු වූ කරුණය. ජනතා විමුක්ති පෙරමුණ 88 – 89 ක්‍රියාත්මක කළ භීෂණය තුළින් එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාවට නැංවූ භීෂණය තුළින් එතුමා උත්සහ දැරුවේ ප්‍රජාතන්ත්‍රවාදය මෙම මූලික සංකල්පය මත ක්‍රියාත්මක වීමටය.

නොබිඳී ජීවත් විය හැකි රටක් පැතූ ප්‍රේමදාස

නෙවිල් ජයවීර මහතා සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවේදී ජනතා විමුක්ති පෙරමුණ ගැන දැක්වූ අදහස විමසීම මෙය අවබෝධ කර ගැනීමට ඉතා වැදගත් වේ. එතුමා එහිදී සඳහන් කර ඇත්තේ “ඔවුන්ගේ දෘෂ්ටිවාදය තුළින් ඔවුන් කැපවීම තුළින් මා දුටුවේ සමාජ ක්‍රමය වේගවත්ව වෙනස් කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා මාර්ගය ඔස්සේ පෝෂණය කළ හැකි අතිවිශාල ශක්ති සම්භාරයක්. ජනාධිපතිවරණයට මුහුණ දී සිටියදී පවා මගේ ආධාරකරුවන් ඉතා සහාසික ලෙස මරා දමනු ලබද්දි පවා මා කිසිවිටෙකත් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානයට දෝෂාරෝපණය කළේ හෝ විවේචනය කළේ නැත්තේ අන්න ඒ නිසයි. ඔවුන් වෙනස්වනු ඇති යන අපේක්ෂාවෙන් බලා සිටීමට මා සූදානම් වී සිටියහ. මා ජනාධිපති වශයෙන් තේරී පත් වූ පසුව වේදිකා කිහිපයකදී මා ඔවුන්ට විවෘත ආරාධනයක් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට එක්වන ලෙස ඉල්ලා සිටිමින් ඔවුන්ට සමාවදීමට සහ පාර්ලිමේන්තු ආසන පිරිනැමීමටත් පොරොන්දු වුණා. මා පිරිනැමූ දේවල් ප්‍රතික්ෂේප කරමින් අපේ ආධාරකරුවන් මරා දැමීම නොකඩවා කරගෙන යද්දි පවා මා ඉතා ඉවසිලිමත්ව සිටියා.”

එවැනි තත්ත්වයක් යළි ඇතිවීම වළක්වා ගන්නේ කෙසේදැයි ප්‍රේමදාස මහතා කර ඇති පැහැදිලි කිරීම වර්තමානයේදී තවමත් කතා කරන දිළිඳුකම පිටුදැකීම, තරුණ අසහනය, තරුණයාට දේශපාලන අවස්ථා ලබාදීම වැනි සංවාදවලට මග පෙන්වීමක් බව පැහැදිලි වේ. “ජනතා විමුක්ති පෙරමුණ බිහිවීමට තුඩුදුන් අසාධාරණ සමාජ ක්‍රමය සහ මුලින්ම වෙනස් කිරීමට සහතික විය හැකි අන්දමින් සම්පූර්ණ ප්‍රතිපත්ති මාලාවක් අප සම්පාදනය කර තිබෙනවා. දිළිඳුබව සහ තමන් සමාජයට අයත් වන්නේ නැතැයි යන හැඟීම එක එල්ලේම තුරන් කිරීම එහි අරමුණයි. ඒ සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රධාන වැඩසටහන ජනසවියයි. ජනසවිය ආධාරයක් පමණක් හෝ සුබ සාධක වැඩසටහනක් නෙවෙයි. එහි මූලික පරමාර්ථය වන්නේ ජනතාව ක්‍රියාකාරී අය බවට පත් කිරීමයි. එමපමණක් නොවේ තරුණයන් පිළිබඳ කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ රැසක් ක්‍රියාවට නංවනවා. එම වාර්තාවේ දැක්වෙන නිර්දේශ 51 න් 43 ක් එක එල්ලේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. පාලන තන්ත්‍රය සහ ජනතාව අතරේ පවතින අවහිරතා ඉවත් කිරීමට ජනාධිපති ජංගම සේවය ක්‍රියාත්මකය. ජනතාකරණ වැඩපිළිවෙළ තුළින් සංස්ථා සේවකයන් සංස්ථාවේම හවුල්කරුවන් බවට පත් කිරීමේ මූලික ප්‍රයත්නයක් දරනවා. මේ හැරුණු විට රටේ මහජන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ හැම මට්ටමකම ආසන වලින් සියයට 40 ක් අවුරුදු 18 ත් 35 ත් අතරේ තරුණ පිරිස් වලට ලබාගත හැකි වන අන්දමින් රටේ පවතින මැතිවරණ නීති ද සංශෝධනය කරනවා.”

ප්‍රජාතන්ත්‍රවාදීව පිහිට වූ ආණ්ඩුවක් උණ්ඩයේ බලයෙන් පරාජයට පත් කරන්නට උත්සහා දැරූ පිරිස් වෙතද තම දෑත් දිගු කළ එතුමා එය ප්‍රතික්ෂේප කරමින් වැපුරූ භීෂණය පරාජයට පත් කළ පසු එය දේශපාලනයට උපයෝගි කරගනිමින් එවැනි තත්ත්වයක් යළි ඇති නොවීමට ගත් උත්සාහය මෑත කාලයේ දේශපාලනඥයන් ආදර්ශයට ගත්තා නම් කෙතරම් වෙනසක් රට තුළ ඇති කළ හැකිව තිබුණාද?

එතුමාගේ චින්තනය තුළ සමානාත්මතාවය පිළිබඳ වූ හැඟීම අතිශය සංවේදී මෙන්ම සෑම ආගමක් හරහා උලුප්පා දැක්වූවකි. 1991 වසරේ කඹුරුපිටියේ ගම්උදාව ප්‍රදර්ශනය විවෘත කරමින් කළ ප්‍රකාශයේ මෙම වදන් පෙළ එයට මනා නිදසුනකි. “අපි සියලු දෙනාම මනුෂ්‍යයෝ වෙමු. ශ්‍රී ලංකාව අපේ මව්බිම ලෙස සලකන අප හැමදාම සිංහල, මුස්ලිම්, දෙමළ , බර්ගර් කුමන ජනවර්ගයකට අයත් වූවද මෙම වෙනස්කම් වටහා ගන්නේ අප ඉපදී තේරුම් යන වයසට ආ පසුවය. එක ජන වර්ගයක් අනෙකට වඩා ප්‍රමාණයෙන් ලොකු හෝ කුඩාවිය හැක. නමුත් ඉතා වැදගත් කරුණ නම් අප සියලු දෙනාම මනුෂ්‍යයන් වීමය. ඒ අර්ථයෙන් අප සියලු දෙනාම සමානය.”

ජනාධිපති දිවංගත ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ චින්තනය විහිදී ගිය ක්‍ෂේත්‍රය අතිවිශාල පුළුල් පරාසයක දක්නට පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය දිළිඳුකමට එරෙහි අරගලය, ජනවාර්ගික ගැටලුව, නව සංවර්ධන දර්ශනය, ජාත්‍යන්තර සබඳතා, ජාතික ස්වාධීනත්වය සහ ස්වෛරීත්වය, නීතියේ ආධිපත්‍ය වැනි ක්‍ෂේත්‍ර තුළ එතුමා ක්‍රියා කළ ආකාරය සහ දැක් වූ අදහස් එම යුගයට පමණක් නොව අද දිනයටත් හෙට දිනයටත් වලංගු සර්වකාලීන වූ මග පෙන්වීම් බව අවධාරණය කළ යුතුය.

මේ මොහොත වනවිට හෝ එතුමාගේ එකී දර්ශනය මැනවින් හැදෑරීමක් සිදුකොට රටට එළිදැක්වීමට කටයුතු නොකිරීම එක්තරා අන්දමක අභාග්‍යයකි. අපි දේශපාලනිකව කොතරම් පරිනත ද, විචාරශීලි ද, යන්න ප්‍රශ්න කරන ප්‍රශ්නයක් ලෙස එය හැඳින්වීම
අභියෝගයක් නම් නොවේ.

සටහන –
ඒරානන්ද හෙට්ටිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment