තාක්ෂණයේ දියුණුවත් සමඟින් ලෝකයම වේගවත් ගමනකට අවතීර්ණ වී සිටින්නේ ඉදිරි සියවසේ අභියෝග ජය ගැනීමට හැකි සෑම ආකාරයකටම මං පෙත් විවර කර ගැනීමේ අදිටන පෙරදැරි කර ගනිමිනි. එහිදී නව තාක්ෂණික ක්‍රමවේද මෙන්ම නවීන තාක්ෂණය සෑම ක්ෂේත්‍රයකටම යොදාගැනීම බොහෝ රටවල් මේ වන විටත් ක්‍රියාවට නංවා ඇත්තේ අනාගත ශ්‍රම බළකායද නව දැනුමෙන් සන්නද්ධ කිරීම අරමුණු කර ගනිමින්ය.

එවැන් ලෝකයක් සමඟ කරට කර සටනකට එළඹීමට නම් අපද නවින තාක්ෂණයෙන් හා ඒ ආශ්‍රිත දැනුමෙන් සන්නද්ධ විය යුතුය. අප රටේ එවැනි ක්ෂේත්‍රයන් පිළිබඳ පසුගිය වසර ගණනාව පුරාම වැඩි අවධානයක් යොමු කළ බවක් පෙනෙන්නට නොලැබෙයි. එහෙත් මේ වන විට යම් යම් ක්ෂේත්‍රවල මෙම ප්‍රවණතාව දැක ගත හැකි අතර එය රටේ මෙන්ම රටේ ජීවනාලිය බඳු තරුණ පරපුරේ අනාගතය පිළිබඳ සුබදායී සිහිනයක් බව අපට පෙනී යන කරුණකි.

මේ වනවිට ක්ෂේත්‍ර රැසක කාර්යයන් පහසු කර ගැනීමට යොදා ගන්නා ඩ්‍රෝන තාක්ෂණය කෙරෙහි අපේ රටේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ එම තාක්ෂණය ඔස්සේ සිදුකළ හැකි දැවැන්ත විපර්යාසය පිළිබඳ ක්ෂේත්‍ර කීපයක විශේෂඥයන් ලබා ගත් දැනුම හේතුවෙන්ය. අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ පවතින ආංශික නිපුණතා සභාව මෙහිදී පෙරමුණ ගෙන සිටින්නේ රට පුරා විසිරී සිටින තරුණ තරුණියන් ඩ්‍රෝන තාක්ෂණය හා බද්ධ කිරීමේ දැවැන්ත කාර්යභාරයට මුලපුරමින්ය. විශේෂයෙන්ම මෙරට කෘෂි කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් හා ඩ්‍රෝන තාක්ෂණ සහාය කර්මාන්තයට ඵලදායී ලෙස යොදා ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථා පුළුල් කරමින් නිසි දැනුමෙන් හා නිපුණතා වන්ගෙන් ක්ෂේත්‍රයට වඩා ඵලදායක ඩ්‍රෝන කැමරා ක්‍රියාකරුවන්ගේ බල ඇණියක් නිර්මාණය කිරීමට කෘෂි ආංශික නිපුණතා සභාව මේ වන විට සාර්ථකව ක්‍රියාවට නංවා ඇත.

ඩ්‍රෝන තාක්ෂණය කෘෂිකර්ම ක්ෂේත්‍රයට

දෙස් විදෙස් රැකියා වෙළඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති ඩ්‍රෝන කැමරා ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු වීමට නොමඳ හා නොබිදෙන අත්වැලක් සපයමින් කෘෂි ආංශික නිපුණතා සභාව යටතේ ක්‍රියාත්මක ඩ්‍රෝන කැමරා ශිල්පීන් පුහුණු කිරීමේ වැඩසටහන මගින් මේවන විට කණ්ඩායම් හයක් පුහුණු කොට ක්ෂේත්‍රයේ කටයුතු සඳහා යොමු කර තිබේ. මෙසේ පුහුණුව ලැබූ කීප දෙනකු විදෙස් රැකියා සඳහා යොමු වෙමින් රැකියා වෘත්තියේ නිරතව සිටින්නේ ඉතා ඉහළ වැටුපක් ද ලබමිනි. මෙම පාඨමාලා පැවැත්වෙන්නේ කෙසේද? ඒ සඳහා ඉල්ලුම්පත් යොමු කළ යුත්තේ කුමන අයුරින්ද? අපි මේ කරුණු කාරණා දැනගැනීම සඳහා පාඨමාලා සම්බන්ධීකාරක යුද හමුදා විශ්‍රාමික මේජර් වසන්ත විජේකෝන් මහතාගෙන් විමසීමක් කළා…..

මෙම පාඨමාලාව හදාරන්න Agro tech dissemination center minister of education කියන වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අන්තර්ජාලයට පිවිසීමේදී drone pilot course යනුවෙන් යොමු වුණාම අපේ ආයතනය සඳහන් වෙනවා. ඒ අනුව ඕනම කෙනෙකුට පාඨමාලාවට ඉල්ලුම් කිරීමේ හැකියාව තියෙනවා. පාඨමාලාව හැදෑරීමට වයස ඒ වගේම ස්ත්‍රී පුරුෂ භේදයක් නෑ. මෙහිදී මීට යොමුවීමේදී ආරක්ෂක අමාත්‍යාංශය විසින් සොයා බැලීමක් සිදු කිරීම නිසා උප්පැන්න සහ ජාතික හැඳුනුම්පත යොමු කිරීමට අවශ්‍යයි. වෙබ් අඩවියේ මේ සියලුරෑ විස්තර සඳහන් වෙලා තියෙනවා. පාඨමාලාව සඳහා ගෙවීම් කරන්න ඕන අන්තර්ජාාලය ඔස්සේ. පාඨමාලාවේ මුළු කාලය දින දොළහයි. අපි දින හතක් නාරාහේන්පිට පිහිටි නිපුණතා පියසෙ පාඨමාලාවෙ මූලික දැනුම ලබා දෙනවා. ඒ දින හත නේවාසිකව නෙවෙයි පැවෙත්වෙන්නෙ. අනතුරුව දින පහක් තුළ නේවාසිකව පැවැත්වෙන ප්‍රායෝගික පුහුණුව සඳහා සබරගමු විශ්වවිද්‍යාලය වෙත අපි බස් රථයකින් රැගෙන යනවා. එහිදී අවශ්‍ය සියලු ආහාර අවශ්‍යතා, පාඨමාලාවට අවශ්‍ය ඇඳුම් පැලඳුම් අප ආයතනය විසින්ම ලබා දෙනවා. මීට අදාළ සියලු විස්තර මෙම දුරකථන අංකයෙන් විමසන්න.- 0777298957

පාඨමාලාවන්ගේ අන්තර්ගතයන් කුමක්ද? පාඨමාලා ක්‍රියාත්මක වන ආකාරය එම කටයුතු සැලසුම් කර ඇති අයුරු පාඨමාලාවේ ප්‍රධාන උපදේශක ලුතිනන් කර්නල් විශ්‍රාමික රසික කහදගමගේ මහතා පැහැදිලි කළේ මේ අයුරින්…………

ලෝකයේ තාක්ෂණයෙන් ඉහළම T14 වර්ගයේ සහ සිටි ඊට පහළින් තිබෙන සියලුම ඩ්‍රෝන් භාවිත කර පුහුණු කිරීම් කටයුතු කරන්නෙ. මෙම පාඨමාලාවන්ට විවිධ අය සහභාගි වුණා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන වෛද්‍යවරුන් පවා මේ පාඨමාලාව හැදෑරුවා. ඉතිං අපි සියලු දෙනාම එක තලයකට ගේනවා. මේ පුහුණු කාලය තුළ ක්‍රීඩා වැඩසටහන්, පෞරුෂත්ව වර්ධන වැඩසටහන්, ත්‍රාසජනක වඩසටහන්, විනෝදාත්මක වැඩසටහන් පවත්වනවා. ප්‍රායෝගික පුහුණුවට අපි මේගොල්ලො කුඹුරට අරන් යනවා. කුඹුරේ මේගොල්ලො කොහොමද කැමරාවත් එක්ක හැසිරෙන්නේ, ගොවීන් සමග සම්බන්ධ වෙනවා, ඔවුන්ගේ සමඟ සම්බන්ධ වෙලා මේ කටයුත්ත සිදු කරන්නේ කොහොමද ඒ සියලු දේවල් පුහුණු කරනවා. අවසාන දිනයේ ඔවුන්ගේ දක්ෂතාවන් එළිදැක්වීමට අපි අවස්ථාව සලසනවා. පැයක කාලයක් ඩ්‍රෝන් ෂෝ එකක් කරන්න අවස්ථාව ලබා දෙනවා . පෙරෙඩ් එකක් තියලා නිල ලාංඡන පළඳලා සහතික පත් දෙනවා. ලෝකයේ පිළිගන්න NVQ level 4 සහතිකයත් අපි ඔවුන්ට ලබා දෙනවා. මේ තුළින් මෙරට පමණක් නොව පිටරට රැකියා අවස්ථාවලට යොමුවීමට හැකියාව උදාවෙනවා.

ඩ්‍රෝන කැමරා ඇසින් ලොව දකිමින් ප්‍රති නවීන තාක්ෂණයෙන් අපේ තරුණ පරපුර හෙට ලොව දිනන විට අපේ පුංචි මව්බිමද නිරන්තරයෙන්ම දියුණුව කරා ගමන් කරනු ඇත. ඒ දිනය උදාවන විට මෙම මහඟු කාර්යයට උරදුන් සැමට සැනසුම් සුසුමන් හෙළීමට ඉඩකඩ සැලසෙන්නේ උපන් බිමට සේවය කළ මිනිසුන් යන අභිමානයෙන් ද සමඟිනි.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment