ලෙල්ලම හෙල්ලූ වෙඩි තැබීමෙන් වන්දි ගෙව්වේ අහිංසකයෙක්

3010

ඝාතනයට මුල අනියම් සම්බන්ධතාවක්…

වැඩේ දුන්නේ ආමි සමන්ත…

ධනුෂ්ක උමයංග ප්‍රනාන්දු මීගමුව පිටිපන පැදිමන්කඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. අවිවාහකයකු වන ඔහුගේ වයස අවුරුදු 25කි. පාසල් යන කාලයේ සිට ඔහු ගත කළේ අන් අයටත් ආදර්ශවත් දිවි පෙවතකි. ප්‍රදේශයේ සමාජ සේවා සහ පොදු වැඩ කටයුතුවලදී මොහු පෙරමුණ ගෙන වැඩ කටයුතු කළේය. එයට අමතරව පල්ලිය සමග තිබුණේ ආත්මීය බැඳීමකි. පල්ලියේ ආගමික වැඩසටහන්වලට අමතර සමාජ සේවා වැඩසටහන්වලදී පෙරමුණ ගෙන කටයුතු කළේ මොහුය. එම නිසා ධනුෂ්ක උමයංග ප්‍රනාන්දු එම ප්‍රදේශයේ ජනප්‍රිය චරිතයක් බවට පත්විය.

ධනුෂ්කගේ රැකියාව මාළු ලෙල්ලමේ නතර කරන වාහන වලින් ගාස්තු අය කර ගැනීමයි. එය වෙළෙඳ සංගමය හරහා සිදුවූවකි. එයට අමතරව කායවර්ධන ශිල්පියකු ලෙස ද ඔහු කටයුතු කළේය. කායවර්ධන ශිල්පියෙකු වූ නිසා මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඔහු දැඩි විරෝධයක් දැක්වූවේය. එම ප්‍රදේශයේ තරුණයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වැළැක්වීම සඳහා මොහු පෙරමුණ ගෙන කටයුතු කළේය. ඒ අනුව සමහර තරුණයන්ව කායවර්ධන ශිල්පීන් බවට පත්කළේ මත් රකුසාගෙන් බේරා ගැනීම සඳහාය.

එමෙන්ම ඔහු හොඳ ආදරවන්තයෙකි. දැනට වසර කිහිපයකට පෙර හඳුනාගත් තරුණියක් සමග පෙමින් වෙලී සිටියේය. නොවැම්බර් මස වන විට එම තරුණිය සමග විවාහ වීමටද ඔහු සැලසුම් කර තිබුණි. කාලය එලෙස ගෙවී ගියේය.

මීගමුව බඩල්ගම කෙහෙල්ඇල්ලේ පදිංචි සමන්ත විවාහකයෙකි. වයස අවුරුදු 45 කි. ඔහු කලක් යුද හමුදාවේ සේවය කළේය. යුද හමුදා සෙබළෙකු වුණත් ඔහු චරිතවත් පුද්ගලයෙක් නොවීය. හමුදා සේවයෙන් ඉවත්වූ පසු “ආමි සමන්ත” යන නම ඔහුට පටබැඳුණි.

යුද හමුදාවට සමුදුන් “ආමි සමන්ත” ජීවත්වීම සඳහා නොයෙක් දෑ සිදු කළේය. අවසානයේ ඔහු සල්ලි පොලියට දීමට පටන් ගත්තේය. සල්ලි පොලියට දීම හරහා පාතාල සාමාජිකයන් සමග ද මොහු සම්බන්ධතා පවත්වා ගත්තේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපරාධ චෝදනා ද මොහුට එල්ල විය. ඒ අනුව දැනට මාස කිහිපයකට ඉහතදී ආමි සමන්තට රක්ෂිත බන්ධනාගාරගත වීමටද සිදු විය. එලෙස මාස කීපයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔහු නැවත ඇප මත එලියට පැමිණියේය.

එලෙස ඇප මත එළියට පැමිණි පසු ආමි සමන්තට ඔහුගේ හිතවතෙකු මුණ ගැසුණි. එම හිතවතා ආමි සමන්ත සමග මෙලෙස කතාබස් කළහ.

“සමන්ත කොහොමද?”

“වරදක් නැහැ. දන්නවනේ ඉතිං වුණ දේවල්.”

“ඔව් මට ආරංචියි. එන්න බැරි වුණා බලන්නවත්. දැන් තියෙන තත්ත්වෙත් එක්ක ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. දවසක් වැඩට නොගියොත් ගෑණියි දරුවොයි බඩගින්නෙ.”

“ඔව් ඒක මම දන්නවා. බලන්න නාවාට කිසිම අවුලක් නැහැ. උබ මගේ හිතවතා නේ.”

“ඔව් ඒක නම් එහෙම තමයි. ඒක නෙවෙයි මම දවස්

ගණනක ඉඳන් උඹට දෙයක් කියන්න හිටියේ.”

“ඒ මොකක්ද?”

“හැබැයි මේක අහලා මං ගැන වැරදියට හිතන්න එපා. මම මේ කියන්නෙ බොරුවක් නොවෙයි. උඹත් හොඳට හොයලා බලපන්.”

“පිස්සුද මම උඹ ගැන එහෙම හිතනවද ?. උඹ ඕන දෙයක් මට කියපන්. එදා ඉඳන් මම දන්නවානේ උඔ අවංකයා කියලා.”

“මචං උඹ ඇතුළේ ඉන්න කාලේ නෝනා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තා. ඒක මේ ලෙල්ලමේ ගොඩක් අය දන්නවා.”

“ඔය ඇත්තම ද කියන්නේ.”

“ඇයි මම බොරු කියන්නෙ. උඹත් පොඩ්ඩක් හොයලා බලපන්.”

“එළියට ආවට පස්සෙ මටත් ඔය

ගැන පොඩි ආරංචියක් ආවා. ඒත් මම පිළිගත්තේ නැහැ. මම හිතුවේ ඔය කතා ඉරිසියාවට කියනවා කියලා.”

“ඉරිසියාවට නොවේ මචං ඒක ඇත්ත.”

“බලපන්කෝ මං මේ ගෑනිව විශ්වාස කරා මටත් වඩා. මම අද ඕකිව තියන්නේ නැහැ.”

“පිස්සු වැඩ කරන්න එපා. ඔය ප්‍රශ්නය ගොඩින්

බේරගන්න විදිහක් කල්පනා කරපන්.”

ලෙල්ලම හෙල්ලූ වෙඩි තැබීමෙන් වන්දි ගෙව්වේ අහිංසකයෙක්
මියගිය ධනුෂ්ක උමයංග ප්‍රනාන්දු

“මේවා ගොඩින් බේර ගන්න බැහැ. මම දන්නවා මේකට කරන්න ඕන දේ.”

“ඕකනේ මචං කලබල වෙන්න එපා. අනික උඹ ආයි ඇතුළට යන්න හිතන්නවත් එපා.”

“හරි ඒක මම බලාගන්නම්. කවුද ඔය මිනිහා අර මාළු ………..

එලෙස පවසමින් ආමි සමන්ත එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ මාළු ව්‍යාපාරිකයෙකුගේ නමක් පැවසුවේය.

“ඔව් එයා තමයි” අවසානයේ ආමි සමන්තගේ මිතුරා එලෙස පැවැසුවේය.

ආමි සමන්ත එදින නිවසට ගියේ යක්ෂාරූඪ වෙමින්ය. නිවසට ගිය ඔහු තම බිරිඳගෙන් ඒ පිළිබඳව විමසුවේ ඇයට අතින් පයින් සංග්‍රහ කරමින්ය. ඒ සම්බන්ධය ගැන කොතරම් විමසුවත් ඇය එකහෙලාම පැවසුවේ එවැනි දෙයක් නොමැති බවත් මිනිස්සු ඉරිසියාවට එවැනි කතාවක් ගොතා ඇති බවයි.

“මම දන්නවා උඹ කියන්නේ බොරු කියලා. ඌ දන්නේ නෑ මේ ආමි සමන්ත කියන්නේ කවුද කියලා. බලාගෙන හිටපන් තව දවස් දෙක තුනක් යනකොට මොකද වෙන්නේ කියලා.”

අවසානයේ ආමි සමන්ත එලෙස පැවසුවේය.

දින කිහිපයක් ඔහු මේ පිළිබඳව කල්පනා කළේය. අවසානයේ ඔහු තීරණයක් ගත්තේය. ඒ තම බිරිඳ සමග අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ මීගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ මාළු ව්‍යාපාරිකයා ඝාතනය කිරීමටයි. ඒ අනුව ඔහු පාතාල සාමාජිකයෙකු සමග මේ පිළිබඳව මෙලෙස කතාබස් කළහ.

“මචං මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.”

“ඒ මොකක්ද?”

“මට එකෙක්ව මරන්න ඕනා. ඒකට උඹගෙ උදව් ඕනා.”

“ඇයි මේ නිකම් මිනිස්සු මරන්න හදන්නේ.”

“නිකන් නොවේ ඒක ලොකු ප්‍රශ්නයක්.”

“උඹට මම ඒකට උදව් කරන්නම්. ඒත් මොකක්ද ප්‍රශ්නේ කියල කියපන්.”

“මම ඇතුළේ ඉන්න කාලේ ඒ මිනිහා අපේ ගෑනිත් එක්ක සම්බන්ධතාවක් පවත්වාගෙන ගිහින් තියෙනවා. මට මේක දරාගන්න බැහැ. අනිවාර්යෙන් ඌට රිටන් එක දෙන්න ඕනා.”

“මම කියන්නේ ගෑනිව ඇතඇරලා දාපන්.”

“ඒක කරන්න බැහැ මචං. ඒකයි මම මේ තීරණය ගත්තේ.”

“හරි උඹ මට ඒ මිනිහගේ විස්තර කියපන්. මේ වැඩේ කරන්න හොඳ කොල්ලෝ දෙන්නෙක් මම දෙන්නම්.”

“හරි මම අද හෙටම දෙන්නම්. යන ගාන ගැන හිතන්න එපා. මට ඕනේ වැඩේ ඉවරයක් කරලා දාන්න එච්චරයි.”

කතාව එලෙස අවසන් විය. ආමි සමන්ත දින කිහිපයක් ඇතුළත ඝාතනය කළ යුතු පුද්ගලයාගේ සියලු තොරතුරු එම පාතාල සාමාජිකයාට ලබා දුන්නේය. ඉන්පසු එම පාතාල සාමාජිකයා” හරි බයවෙන්න එපා සියලු දේ අකුරටම සිදුවෙයි. මට තව දවස් දෙකක් දෙන්න” යැයි පැවසුවේය.

දිනය පසුගිය දොළොස් වැනි දාය. ධනුෂ්ක සුපුරුදු පරිදි ලෙල්ලමේ තම රැකියාව සිදු කරමින් සිටියේය. ඒ අතරතුර ස්කුටි වර්ගයේ යතුරු පැදියක අසුන් ගෙන ඔහු තම මිතුරෙකු සමග සතුටු සාමීචියේ යෙදී සිටියේය. එම අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වන සේ ආරක්ෂිත හිස් වැසුම් පැළඳ ගත් දෙදෙනකු එම ස්ථානයට පැමිණියහ.

ගතවූයේ සුළු මොහොතකි. එලෙස පැමිණි එක් පුද්ගලයෙකු ධනුෂ්ක ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළේය. නොසිතූ මොහොතක එල්ල වූ එම වෙඩි ප්‍රහාර හමුවේ ධනුෂ්කට කිසි දෙයක් කරගත නොහැකි විය. ඔහු අසල සිටි මිතුරා මරු විකල්ලෙන් දිව යද්දී ධනුෂ්ක කපා හෙලූ කෙහෙල් කඳක් මෙන් යතුරු පැදියෙන් බිමට ඇද වැටුණි. එලෙස ඇද වැටුණු ඔහු ලේ විලක් මැද විනාඩි කීහිපයක් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණි.

වෙඩික්කරුවන් පලා ගිය පසු එම ස්ථානයේ සිටි පිරිස ධනුෂ්කව මීගමුව රෝහල වෙත රැගෙන ගියහ. එහෙත් පලක් වූයේ නැත. එම වෙඩික්කරුවන්ගේ අමානුෂික වෙඩි ප්‍රහාර හමුවේ ඔහු සිය ජීවිතයෙන් සදහටම සමුගෙන තිබුණි.

විනාඩි කිහිපයක් ගත වීමට මත්තෙන් එම වෙඩි ප්‍රහාරය පිළිබඳව ලෙල්ලමේ පමණක් නොව මුළු මීගමුව ප්‍රදේශයේම ජනතාව දැන ගත්හ. ඒ සැවොම කිසිවෙකුටත් කරදරයක් නොකර අන් අයටද උදව් උපකාර කරමින් ජීවත් වූ මෙම තරුණයාට මෙවැනි අපරාධයක් සිදු කළේ ඇයිද යන්න පවසමින් සෝසුසුම් නැගූහ.

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීහු මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූහ. එහිදී එම නිලධාරීන්ට මෙම තරුණයා ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුව ලබා දුන් ආමි සම්පත් අත්අඩංගුවට ගැනීමට හැකි විය. එලෙස අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ දී ඔහු පවසා සිටියේ සිය බිරිඳ සමඟ ඝාතනයට ලක්වූ තරුණයා අනියම් සම්බන්ධතාවක් පවත්වන්නේ යැයි සැක කරමින් ඔහුව මරා දැමීමට කොන්ත්‍රාත්තුව ලබා දුන් බවයි.

පසුව කළ පරීක්ෂණවලදී හෙළි වූයේ සැකකරුගේ බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පවත්වා ඇත්තේ ඝාතනයට ලක්වූ තරුණයාගේ මිතුරෙකු බවයි. එම මිතුරා එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ මාළු ව්‍යාපාරිකයෙකි. කොටින්ම කියතහොත් ඔහු ලෙල්ලම හොල්ලාගෙන සිටින පුද්ගලයෙකි.

අවසානයේ ආමි සමන්ත ඝාතනය කර ඇත්තේ තම බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය මාළු ව්‍යාපාරිකයා නොව ඔහුගේ මිතුරාවයි.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment