370 ට අකැමැති මෝදි 13 ට කැමැති වේවිද?

391

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව බලා පිටත්වූයේ පසුගිය 20 වැනි දාය. ජනාධිපතිවරයා ඉන්දියාවට ළඟාවීමට දින කිහිපයකට පෙර මෙරට, දෙමළ දේශපාලන පක්ෂවල නායකයන් කිහිප දෙනෙකුම ඉන්දියන් අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත ලිපි කිහිපයක්ම යොමු කර ඇත. එම ලිපිවල අරමුණ වී ඇත්තේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙසටත්, දෙමළ නායකයන්ගේ අභිලාෂයන් ඉටුවන ලෙස කටයුතු කරන ලෙසටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට බලපැම් කරන ලෙස ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලා සිටීමය.

ඉන්දියාව අතීතයේදී අපගේ රටේ ව්‍යවස්ථාවට 13 වන සංශෝධනය බලහත්කාරයෙන් ඇතුළත් කිරීම සඳහා මැදිහත්වීමත්, මෙරට ක්‍රියාත්මක වූ සන්නද්ධ දෙමළ බෙදුම්වාදී සංවිධාන හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙනස් කිරීම සඳහා බළල් අතක් ලෙස යොදා ගැනීමත් නිසා මෙරට දෙමළ දේශපාලන පක්ෂවල නායකයන් තමන්ගේ දේශපාලන අභිලාෂයන් ඉන්දීය නායකයා වෙත ඉදිරිපත් කිරීම පිළිබඳව අප පුදුම විය නැත. නමුත් ගැටලුව වන්නේ වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ 13 වන සංශෝධනය අප මත බලෙන් පැටවූ රජීව් ගාන්ධි මහතාගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති අතර බරපතල වෙනස්කම් පැවතීමය.

නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය ඉන්දියාවේ බලයට පත්වීමෙන් පසුව ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයේ බලය සම්බන්ධයෙන් සහ එරට භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පැහැදිලිව වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන අයුරු දැක ගත හැක. ඉන්දීය ආණ්ඩුව 1949 දී ජම්මු සහ කාශ්මිර ප්‍රාන්ත සඳහා විශේෂ බලතල සපයන්න 370 නම් ව්‍යවස්ථාවක් හඳුන්වා දී ඇත. ඒ සඳහා හේතු වී ඇත්තේ මෙරට උතුර සහ නැඟෙනහිර යන ප්‍රදේශවල මෙන් බෙදුම්වාදී ව්‍යාපාරයක් ජම්මු කාශ්මීර යන ප්‍රදේශවල පැවතීමය. එසේම ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ප්‍රධාන වශයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කරන අතර ප්‍රාන්තවල කටයුතු එම ප්‍රාන්තයේ ප්‍රධාන භාෂාවෙන් සිදුකිරීම සඳහා අවස්ථාව සලසා දී ඇත.

එහෙත් නරේන්ද්‍ර මෝදි මහතා අගමැතිවරයා ලෙස කටයුතු කරන ඉන්දීය ආණ්ඩුව එම ප්‍රතිපත්ති වලින් බැහැරව කටයුතු කරන අයුරු දැක ගත හැක. එම ආණ්ඩුව මීට වසර කිහිපයකට පෙර ජම්මු කාශ්මීර යන ප්‍රාන්ත සඳහා විශේෂ බලතල ලබාදුන් 370 වන ව්‍යවස්ථාව අත්හිටුවීමට කටයුතු කර ඇත. එසේම හින්දි භාෂාවෙන් කටයුතු නොකරන ප්‍රාන්ත පවා එම භාෂාවෙන් කටයුතු කරනවා දැකීම එම ආණ්ඩුවේ කැමැත්ත බව පැහැදිලිව දැකගන්නට ඇත. භාරතීය ජනතා පක්ෂයේ මෙන්ම නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවේ අභිලාෂය වී තිබෙන්නේ ඉන්දියාව මහා භාරතය බවට පත්කිරීම ය. එම දේශපාලන පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ ලාල් ක්‍රිෂ්ණ අද්වානි මහතා ‘ඉන්දියාව මහා භාරතය කිරීම සඳහා’ භාරතීය ජනතා පක්ෂයට ඡන්දය දෙන ලෙස ප්‍රකාශ කර ඇත. පසුගියදා විවෘත කළ නව පාර්ලිමේන්තු සංකීර්ණයේ ද මහා භාරතය පිළිබිඹු වන ආකාරයේ සිතියමක් නිර්මාණය කර ඇත. එම සිතියමට ශ්‍රී ලංකාවද ඇතුළත් කර ඇත.

නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ එම ප්‍රතිපත්තිවලට අනුව කටයුතු කරනවා. මෙරට තුළදි කළ යුතුව ඇත්තේ උතුරු නැඟෙනහිර යන පළාත්වලට විශේෂ බලතල ලබාදීමට ගෙන ආ 13 වන සංශෝධනය අත්හිටුවීම සහ සිංහල පමණයි යන ප්‍රතිපත්තියේ සිට කටයුතු කිරීමය. නමුත් නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ ආණ්ඩුව නව පාර්ලිමේන්තු සංකීර්ණය තුළ නිර්මාණය කර ඇති සිතියම අනුව නම් පෙනී යන්නේ මෝදි අගමැතිවරයාගේ කැමැත්ත වන්නේ මෙරට ජනතාව හින්දු භාෂාවෙන් කටයුතු කරනවා දැකීමය.

සැබෑ තත්ත්වය එසේ දකින්නට තිබියදි මෙරට ක්‍රියාත්මක දෙමළ දේශපාලන පක්ෂවල නායකයන් ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සහ ඔවුන්ගේ අභිලාෂයන් ඉටුවන ආකාරයට කටයුතු කරන ලෙසට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට බලපෑම් කරන ලෙසය. මෝදි අගමැතිවරයාගේ ප්‍රතිපත්ති සහ අභිලාෂයන් අනුව නම් දෙමළ දේශපාලන පක්ෂවල නායකයන්ගේ ඉල්ලීම් පරිදි එබඳු බලපෑමක් එල්ලවේය කියා කිසිසේත්ම විශ්වාස කළ නොහැක. යම් හෝ බලපෑමක් වනවා නම් එය සිදුවන්නේ තමිල්නාඩු සාධකය නිසාම පමණක් බව පැහැදිලිය.

අනෙක් අතට 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙස හෝ දෙමළ නායකයන්ගේ අභිලාෂයන් ඉටුකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අමුතුවෙන් බලපෑම් කළ යුතු වන්නේ නැත. පාර්ලිමේන්තුවේ පැවැති ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් ව්‍යවස්ථාවේ කොටසක් බවට පත්වී ඇති 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළ අයුරු අපට මතකය. පාර්ලිමේන්තු ඡන්දයේදී සී. වී. විග්නේෂ්වරම් වැනි දෙමළ දේශපාලන නායකයින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම සඳහා පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම එබඳු ප්‍රකාශයක් කිරීම සඳහා හේතු වන්නට ඇත. කෙසේ වුවත් එම අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ඔවුන්ගේ අකැමැත්ත ප්‍රකාශ කිරීම එම අවස්ථාවේදී 13 වන සංශෝධන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොවීම හේතුවන්නට ඇත.

එබැවින් 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වනවාද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අවසාන තීරණාත්මක සාධකය නොවන බව පැහැදිලිය. 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවාද එසේත් නොමැති නම් එම සංශෝධනය අහෝසි කරනවාද යන කාරණය සම්බන්ධයෙන් අවසාන තීරණාත්මක සාධකය වන්නේ මේ රටේ ජනතාවය. මේ රටේ ජනතාව 13 සංශෝධනයට එරෙහි වූයේ පැහැදිලි හේතු සාධකයක් ඇතිවය. එම හේතු සාධකය වන්නේ උතුර සහ නැඟෙනහිර යන දෙපළාත දෙමළ ජනතාවගේ ඓතිහාසික නිජභූමිය ලෙස පිළිගෙන එම දෙපළාතට වෙනම පාලනයක් ලබාදීමය.

මෙරට පවතින දෙමළ බෙදුම්වාදයට හේතු සාධකය වන්නේ ඩී. සුන්දරලිංගම්, එස්. වී. චෙල්වනායගම් වැනි දෙමළ නායකයින් මෙරට උතුරු සහ නැඟෙනහිර යන දෙපළාත් ඓතිහාසික දෙමළ නිජභූමියක් පැවැතියාය යන විශ්වාසයෙන් සිට කටයුතු කිරීමය. 13 වන සංශෝධනය සඳහා ද හේතු වන්නේ එම හේතු සාධකයමය. මෙරට ජනයා 13 වන සංශෝධනයට එරෙහි වූයේ උතුර සහ නැඟෙනහර යන දෙපළාත තුළ දමිළ නිජභූමියක් පැවතියාය යන විශ්වාසය මිත්‍යාවක් වූ බැවිනි. එබැවින් 13 වන සංශෝදනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරවා ගැනීමට අවශ්‍ය නම් ඔවුන් පළමුව කළ යුත්තේ උතුර සහ නැඟෙනිර දෙපළාතේ ඓතිහාසිකව දෙමළ නිජභූමියක් පැවැති බව සාධක සහිතව ඔප්පු කිරීමය. එසේ ඔප්පු කළ හැකි නම් මෙරට ජනතාව 13 වන සංශෝධනය සම්පූර්යෙන්ම ක්‍රියාත්මක කිරීමට එරෙහි නොවන බව පැහැදිලිය. එසේ නොමැතිව ඉන්දීය අගමැතිවරයාට ලියුම් ලියා 13 වන සංශෝධන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර ගැනීම හෝ තම අභිලාෂයන් ජයගත නොහැකි බව දෙමළ දේශපාලන පක්ෂවල නායකයන් අවබෝධ කරගත යුතුය.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment