හදවත කීරි ගැහෙන ‘අපේ කිරි’ ගැන අහන්න!

2629

කිරි නිෂ්පාදනය ඉකුත් වර්ෂයේදී (2022) සියයට 1.3කින් පහතට

කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීමට රුපියල් බිලියන 63.1ක පමණ මුදලක් වැයවෙනවා

මිල්කෝ පාඩුව රුපියල් මිලියන 471ක්

රුපියල් මිලියන 1,749,67ක් වැය කළත් කිසිදු කිරි ගවයකු ආනයනය කර නැහැ

ලක්ෂ 80ක වියදමක් දරා ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වනු ලැබූ එළුවන් 21ක් මියගිහින්

කිරි ලබාගත හැකි එළදෙනුන් 21දෙනකු සිටියද වසර 04ක පමණ කාලයක සිට කිරිදොවා නැහැ

රට්ටුන්ට කිරිපිටි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයකි. කෙසේ වුවද රටේ පවතින ආර්ථික අර්බුදයත් සමග කිරිපිටි මිල ඉහළ ගියේ විදුලි වේගයෙනි. කිරිපිටි මිල ඉහළ යෑමත් සමග ඇතැමුන් කිරිපිටි පානය කිරීමෙන් ඉවත් වී කහට කෝප්පයේ රස බැලීමට පුරුදු වූහ. අපේ පැරැන්නෝ උදෑසන දියර කිරි වීදුරුවක් පානය කිරීමට පුරුදුව සිටියහ. එකල සෑම නිවසකම පාහේ එළ ගවයකු ඇති කිරීමට අපේ ඇත්තන් කටයුතු කළහ. මේ නිසා පවුලේ සාමාජිකයන්ට කිසිදු මුදලක් නොගෙවා දියර කිරි වීදුරුවක් පානය කිරීමට අවස්ථාව උදාවිය. කලක් මෙරට දියර කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිතව පැවතුණි. එහෙත් 77 වර්ෂයේ දී මෙරටට හඳුන්වා දුන් විවෘත ආර්ථිකයත් සමග සියල්ල කණපිට පෙරලුණි. කිරිපිටි පමණක් නොව බලු දන්වැල, කන්කුන් මිටිය, වතුර බෝතලය ඇතුළු මෙකී නොකී සියලු දෑ පිටරටවලින් ආනයනය කිරීමට කටයුතු කරනු ලැබීය.

මෙවැනි කරුණු කාරණා නිසා මෙරට දේශීය කිරි නිෂ්පාදනය පහත වැටුණි. එළ ගව හා මී ගව කර්මාන්තයේ නිරතවූවන් ක්‍රමක් ක්‍රමයෙන් ඉන් ඉවත් වන්නට වූහ. මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ දත්තවලට අනුව මෙරට සමස්ත කිරි නිෂ්පාදනය ඉකුත් වර්ෂයේදී (2022) සියයට 1.3කින් පහත වැටී තිබුණි. 2021 වර්ෂයේදී කිරි ලීටර් මිලියන 513ක් නිෂ්පාදනය කොට තිබූ අතර එය 2022 වර්ෂයේදී ලීටර් මිලියන 506 දක්වා අඩුවී තිබුණි. සත්ත්ව ආහාර හිඟවීම, මිල අධික වීම, තෘණ හා සත්ත්ව ආහාර භෝග වගාකිරීම සඳහා අවශ්‍ය රසායනික පොහොර නොමැතිවීම, ගබඩා කිරීමේ හා ප්‍රවාහන පහසුකම්වල දුෂ්කරතා හේතුවෙන් කිරි නිෂ්පාදනය අඩුවීමට හේතුවී ඇති බවද මුදල් අමාත්‍යාංශය විසින් නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. මෙරට කිරි අවශ්‍යතාවයෙන් සියයට 48ක් දේශීය නිෂ්පාදනයෙන් සපුරා ගනු ලබයි. 2022 වර්ෂයේ දී ශ්‍රී ලංකාව තුළ එළකිරි ලීටර් මිලියන 419ක් සහ මී කිරි ලීටර් මිලියන 87ක් නිෂ්පාදනය කොට තිබුණි.

හදවත කීරි ගැහෙන ‘අපේ කිරි’ ගැන අහන්න!

මෑතකාලීන දත්තවලට අනුව ශ්‍රී ලංකාව දළ වශයෙන් රුපියල් බිලියන 63.1ක පමණ මුදලක් වැයකරමින් කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන මෙටි්‍රක් ටොන් 88,482ක ආනයනය කරනු ලබන බවද මුදල් අමාත්‍යාංශය මගින් නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. ආනයනික කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන තුළ කිරි සහ යොදය සහිත කිරි, යොදය සහිත කිරි මේදය, උකුකිරි, චීස් දී කිරි, බටර් හා අනිකුත් මේද වර්ග මෝරු සහ මුදවනු ලද කිරි ඇතුළත් වේ. මෙම වර්ෂයේ මුල් මාස හය තුළදී කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 132.5ක මුදලක් වැයවී ඇත. එමෙන්ම මුදල් අමාත්‍යාංශයේ දත්තවලට අනුව ශ්‍රී ලංකාව දළ වශයෙන් කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන මෙටි්‍රක් ටොන් 1,610ක් අපනයනය කරනු ලබයි.

මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් පශු සම්පත් අංශයේ දායකත්වය සියයට එකකි. ඒ කොයිහැටි වුවද මෙරට කෘෂිකාර්මික අංශය තුළ පශු සම්පත් අංශයට හිමිවන්නේ සුවිශේෂී වූ ස්ථානයකි. මෙරට පශු සම්පත් අංශය සඳහා 2022 වර්ෂයේ දී රුපියල් මිලියන 971 වියදමක් දරා තිබුණි. කෙසේ වුවද 2022 වර්ෂයේ දී මෙරට සත්ත්ව නිෂ්පාදන අංශය සියයට 12.9කින් පහත වැටුණි. එමෙන්ම මෙරට කිරි නිෂ්පාදන ඇතුළු පශු සම්පත් ආශ්‍රිත නිෂ්පාදන, අලෙවි කිරීම සඳහා රාජ්‍ය ව්‍යවසායන් ලෙස ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා මිල්කෝ පුද්ගලික සමාගම කටයුතු කරයි.

කෙසේ වුවද මිල්කෝ සමාගම විසින් ඉකුත් වර්ෂයේ දී (2022) රුපියල් මිලියන 471ක පාඩුවක් ලබා ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වන්නේය. මිල්කෝ සමාගම විසින් පසුගිය වර්ෂ තුන තුළ වාර්තාකොට ඇති ඉහළම අලාභය මෙය වන අතර දේශීය කිරි ගොවීන්ගෙන් එකතු කරනු ලබන කිරි ප්‍රමාණය සියයට 29කින් අඩුවීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි. මෙම වර්ෂයේ මුල් මාස හතර තුළ මිල්කෝ සමාගම ලැබූ පාඩුව රුපියල් මිලියන 345කි. එහෙත් 2021 වර්ෂයේදී මිල්කෝ සමාගම රුපියල් මිලියන 329ක ලාභයක් වාර්තාකොට තිබුණි. සමාගම විසින් කාරක ප්‍රාග්ධන අරමුණු සඳහා ලබාගත් අයිරා පහසුකම් හේතුවෙන් බැංකු ණය ප්‍රමාණය 2022 වර්ෂයේ දී රුපියල් මිලියන 1230 දක්වා සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිවී තිබුණි. මේ සමග මූල්‍ය පිරිවැය සියයට 444.8කින් විශාල ලෙස වැඩිවී ඇත. මිල්කෝ සමාගම විසින් ඉකුත් වර්ෂයේ දී කිරිපිටි මෙටි්‍රක් ටොන් 2060ක් නිෂ්පාදනය කිරීමට සමත්වී තිබුණද නිෂ්පාදනය කරනු ලැබූ කිරිපිටි ප්‍රමාණය ආයතනයේ විභවයට වඩා බෙහෙවින් අඩු අගයක පැවතුණි.

මිල්කෝ සමාගම ස්ථාපිතකොට ඇත්තේ දේශීය කිරි ගොවීන් ශක්තිමත් කරමින් නැවුම් කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහාය. ඉකුත් වර්ෂයේ දී 2022 මිල්කෝ සමාගම රටේ සමස්ත කිරි නිෂ්පාදනයෙන් සියයට 19.7ක ප්‍රමාණයක් එකතුකොට තිබුණි.. මෙරට කිරි නිෂ්පාදන ඇතුළු පශු සම්පත් ආශ්‍රිත නිෂ්පාදන, අලෙවි කිරීම සඳහා ඇති අනික් රාජ්‍ය ව්‍යවසාය වන්නේ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයයි. මණ්ඩලය සතු කිරි අලෙවිසල් සංඛ්‍යාව 41කි. ඉකුත් වර්ෂයේ දී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සමස්ත කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 6.43කි. එමගින් ජාතික නිෂ්පාදනයට දක්වන දායකත්වය සියයට 1.5කි. පශු සම්පත් සංවර්ධන මණ්ඩලය 2022 වර්ෂයේ දී ඉපැයූ ආදායමේ සියයට 12.5ක වර්ධනයක් වාර්තාකොට තිබුණි. එහෙත් සත්ත්ව ආහාර මිල ඉහළ යෑම නිසා නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම හේතුවෙන් ශුද්ධ ලාභය රුපියල් මිලියන 133 දක්වා අඩුවී තිබුණි. එහෙත් ඉකුත් මාස හතර තුළදී පශු සම්පත් සංවර්ධන මණ්ඩලය රුපියල් මිලියන 77 පාඩුවක් ලබා තිබුණි.

මෙවන් පසුබිමක් තුළ රට තුළ දියර කිරි නිෂ්පාදනය ඉහළ මට්ටමක පවතින බව පවසමින් කිරිපිටි ආනයනය නතර කරන ලෙස මිල්කෝ, සමාගම, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා පුද්ගලික අංශය සතු පැලවත්ත කිරි නිෂ්පාදන සමාගම්වල බලධාරීන් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කොට ඇත. මෙහිදී මිල්කෝ සමාගමේ බලධාරීන් අමාත්‍යවරයාට සඳහන් කොට ඇත්තේ ඉකුත් මාස 06ක කාලය තුළදී කිරි ලීටර් 19,152,766 දක්වා කිරි නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බවය. පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ බලධාරීන් ද සඳහන් කොට ඇත්තේ පසුගිය මාස හය තුල එළකිරි නිෂ්පාදනය ලීටර් 2,599,617 දක්වා ඉහළ ගොස් ඇති බවය. එය ඉකුත් වසරට සාපේක්‍ෂව කිරි නිෂ්පාදනයේ ඉහළ යෑම සියයට 30කි. එමෙන්ම පැලවත්ත කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාව සතුව මෙරට දියර කිරි ආශ්‍රිතව නිෂ්පාදනය කරනු ලැබූ සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙටි්‍රක් ටොන් 500ක් අලෙවි කරගත නොහැකිව ඇති බැව් එහි හිමිකරු වන ආරියශීලි වික්‍රමනායක මහතා සඳහන් කොට ඇත්තේය. මෙම තත්ත්වය තුළ රජය විසින් තවදුරටත් විදේශීය රටවලින් කිරිපිටි ආනයනය කිරීම සඳහා අවසර දීම නිසා තම නිෂ්පාදන අලෙවිකර ගැනීමට නොහැකිව ඇති බව මොවුන් සඳහන් කොට ඇත. දියර කිරි නිෂ්පාදන ඉහළ යෑම සම්බන්ධයෙන් කඩිනමින් තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පශු සම්පත් බලධාරීන්ට නියෝග කොට ඇත.

මෙකී සංඛ්‍යාලේඛනවලට අනුව නම් අපේ රට දියර කිරිවලින් ස්වයංපෝෂිත වී ඇත. මිල්කෝ සමාගමේ හා පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නිෂ්පාදනය වැඩිවී ඇතත් එකී ආයතන මෙම වර්ෂයේ මුල් මාස හතර තුළ වාර්තාකොට ඇත්තේ අලාභයකි. එසේ නැතිනම් රට්ටුන් තවමත් විශ්වාසය තබා ඇත්තේ දේශීය කිරිපිටි මතය.

කිරි නිෂ්පාදනය පමණක් නොව කුකුළු පාලනය සඳහා ප්‍රමාණවත් ලෙස සත්ත්ව ආහාර ද්‍රව්‍ය නොලැබීම හේතුවෙන් ඉකුත් වර්ෂයේදී (2022) මෙරට බිත්තර නිෂ්පාදනය සියයට 5.4කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. 2021 වර්ෂයේදී මෙරට බිත්තර නිෂ්පාදනය මිලියන 1954කි. එහෙත් 2022 වර්ෂයේ දී මෙරට බිත්තර නිෂ්පාදනය මිලියන 1849 ක් දක්වා පහළ ගොස් ඇත. 2021 වර්ෂයේ දී බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 18.07ක් වැය වී ඇති අතර 2022 වර්ෂයේ දී බිත්තර නිෂ්පාදනයක් සඳහා වැයකළ මුදල රුපියල් 38.10කි. වී සහ බඩ ඉරිඟු නිෂ්පාදනය කැපී පෙනෙන ලෙස පහළ යෑමත් සමග දේශීයව නිෂ්පාදනය කරනු ලබන සත්ත්ව ආහාර ද්‍රව්‍ය ප්‍රමාණය අඩුවීම, ඩොලර් නොමැතිකම නිසා ආහාර ද්‍රව්‍ය ආනයනය සීමා කිරීම, බිත්තර නිෂ්පාදනය අඩුවීමට හේතුවී ඇති බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. කෙසේ වුවද බිත්තර හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට රජය මගින් කටයුතු කරනු ලැබීය. රට්ටුන්ට පහසුවෙන් පෝෂණ අවශ්‍යතාවය සපුරාගත හැකි බිත්තරයේ මිලද පාරිභෝගිකයන්ට දරාගත නොහැකි අයුරින් ඉහළ ගොස් ඇත. මේ වනවිට කුකුළු මස් කිලෝවක මිලද ජනතාවට දරාගත නොහැකි අයුරින් වැඩිවී තිබේ. 2021 වර්ෂයේදී මෙරට කුකුළු මස් නිෂ්පාදනය මෙටි්‍රක් ටොන් 236,790කි. එය 2022 වර්ෂයේදී මෙටි්‍රක් ටොන් 228,130 දක්වා සියයට 3.7කින් අඩුවී ඇත.

එමෙන්ම දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා බලයට පත්වූ රජයන් විසින් විවිධ ව්‍යාපෘති දියත්කොට තිබේ. එහෙත් ඇතැම් ව්‍යාපෘති ලප්තැනම ලොප්වී ඇත. ඇතැම් ව්‍යාපෘති අනිත් දූෂිත ව්‍යාපෘතිය. කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමේ ව්‍යාපෘතියද එවැනි දූෂිත ව්‍යාපෘතියකි. කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ අත්තිකාරම් වශයෙන් රුපියල් මිලියන 1,749,67 ක මුදලක් 2018 වර්ෂයේ මැයි 08 වැනි දින කොන්ත්‍රාත්කරු වෙත ගෙවා තිබුණද එම ව්‍යාපෘතිය යටතේ කිසිදු කිරි ගවයකු 2018 වර්ෂයේ සිට 2020 වර්ෂයේ අගෝස්තු මස 31 වැනි දින වන විටත් ආනයනය කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වන්නේය.

කොන්ත්‍රාත්කරුට අත්තිකාරම් ගෙවීම් විදේශීය බැංකුවකින් ලබාගත් ණය මුදලකින් ගෙවා තිබූ බැවින් ඒ සඳහා වන පොලිය හා විදේශ විනිමය අවප්‍රමාණය වීමේ අලාභයද ශ්‍රී ලංකා රජයට දැරීමට සිදුවී තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. මෙකී ව්‍යාපෘතියේ අසාර්ථක භාවය පැහැදිලිව තිබියදී අත්තිකාරම් ගෙවීම නිසා රජයේ මුදල් වෙනත් පාර්ශ්වයක් විසින් අවභාවිතා වීමක් සිදුවී තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

කෙසේ වුවද විගණනය විසින් ගොවිපළ මගින් ලබාගත් වාර්තා අනුව මීට පෙර ගෙනා සතුන් අසාර්ථක බව පෙන්වා දී තිබුණි. ඒ පිළිබඳ අවධානය යොමු නොකොට 2018 වර්ෂය තුළ ඒ සඳහා පාර්ලිමේන්තු ප්‍රතිපාදන නොතිබියදී ඉතිරි සතුන් 15000 ක් ආනයනය කිරීම සඳහා වූ මුදලින් සියයට 20ක අත්තිකාරම් මුදල වූ රුපියල් මිලියන 1,749,67 ක් කොන්ත්‍රාත්කරුට ගෙවා තිබුණි.

මෙම සතුන් ආනයනය කිරීම සඳහා එළඹ තිබූ ගිවිසුම අවලංගු කිරීම සඳහා නීතිපතිගෙන් උපදෙස් විමසා තිබූ අතර අත්තිකාරම් ගෙවා තිබීම හේතුවෙන් එම ගිවිසුම අවලංගු කළ නොහැකි බව 2019 මැයි මස 03 වැනි දින නීතිපතිවරයා විසින් දන්වා තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය විසින් කිරි ගවයින් 20000ක් ආනයනය කිරීමට සංශෝධිත ගිවිසුම අනුව අදියර දෙකකින් කටයුතු කර තිබුණි. පළමු අදියර යටතේ සතුන් 5000ක් ආනයනය කිරීම මාස 07ක් තුළ නිම කිරීමටත් ඒ අනුව පළමුව සාර්ථක නම් දෙවැනි අදියර යටතේ අත්තිකාරම් ලබාදී මාස 12ක් තුළ සතුන් 15000ක් ආනයනය කිරීමට එකඟවී තිබුණි. ජාතික අයවැය අධ්‍යක්ෂ ජෙනරාල් ලබාදෙන ප්‍රතිපාදන අනුව 2018 වර්ෂයේ දී සතුන් 2500ක්, 2019 වර්ෂයේදී සතුන් 7500ක්, 2020 වර්ෂයේදී සතුන් 5000ක් ආනයනය කිරීමට සැලසුම්කොට තිබුණි.

‘ඒ විතරක් නොව අභිජනන කටයුතු සඳහා ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කර තිබූ රුපියල් අසූලක්ෂ, තිස්හයදහස්, දෙසිය හැත්තෑපහක් (8,036,275) වටිනා එළුවන් 21 දෙනකු අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමට පෙර 2021 වර්ෂය තුළදී මියගොස් තිබුණි. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2019 වර්ෂයේ අප්‍රේල් මාසයේදී මෙකී එළුවන් ආනයනය කොට තිබූ අතර අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමට පෙර එළුවන් මියයෑම තුළින් මෙකී සතුන් සඳහා දරනු ලැබූ ආනයනික හා නඩත්තු වියදම පලදායී නොවන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එළුවන් 100 දෙනකු ආනයනය කොට තිබූ අතර එම එළුවන් අතුරින් පිරිමි සතුන් 05ක් සහ ගැහැණු සතුන් 16 දෙනකු මියගොස් තිබුණි. මියගිය එළුවන්ගේ වටිනාකම මූලික ආයෝජනයෙන් සියයට 21ක් බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

එළුවන් ආනයනය කිරීම සඳහා ප්‍රසම්පාදන මණ්ඩලය 2017 වර්ෂයේ දී අනුමත කර තිබුණද ආනයනය කොට තිබුණේ 2019 වර්ෂයේ බැවින් විනිමය අනුපාතයේ වෙනස්වීම මත රුපියල් 2,311,760ක අමතර ගෙවීමක් කිරීමට ද සිදුවී තිබුණි. ආනයනික සතුන් නව පරිසර තත්ත්වයන්ට පරිවර්තනය කළයුතු අතර එසේ පරිවර්තනය නොවන සතුන් මියයෑම අපේක්ෂිත තත්ත්වයක් බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත. එළුවන් ආනයනය ප්‍රමාද වී ඇත්තේ සත්ත්ව සෞඛ්‍ය සහතිකය පිළිබඳව ඔස්ට්‍රේලියාවේ නිරෝධායන ආයතනය සහ මෙරට නිරෝධායන අංශ අතර අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම නිසා බවද විගණනයට සඳහන් කොට ඇත.

පොල් පර්යේෂණ මණ්ඩලයට අයත් අඹකැලේ ජාන සම්පත් මධ්‍යස්ථානයේ කිරි ලබාගත හැකි එළදෙනුන් 21 දෙනකු සිටියද වසර 04ක පමණ කාලයක සිට එම කිරි දෙනුන්ගෙන් කිරි ලබාගෙන නොමැති බව ජාතික විගණන කාර්යාලය නිකුත්කොට ඇති වාර්තාවක සඳහන්ව තිබුණි. 2018 වර්ෂයේ සිට කිරි එළදෙනුන් ගෙන් කිරි ලබා ගැනීම සඳහා කම්කරුවකු නොමැතිවීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 2018 වර්ෂයේ මාර්තු මස 16 දිනෙන් පසුව කිරි අලෙවි ආදායමක් වාර්තා වී නොතිබීම මතභේදාත්මක කරුණක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. කිරි ආදායම ගිණුම්ගත නොවීම සම්බන්ධව පරීක්ෂණයක් සිදුකළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. මෙකී මධ්‍යස්ථානය අක්කර 318.5ක විශාලත්වයකින් යුක්තවේ. සියලු කාර්යාල කටයුතු චෙක්රෝල් පදනමින් සිටින කම්කරු සේවිකාවක් විසින් සිදුකිරීම හේතුවෙන් පරිපාලන කටයුතු නිසි පරිදි සිදුනොවන බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment