බැඳුම්කරේ මුදල් මා හෝ පවුලේ අය  ගත්තා නම් සීඅයිඩී පරීක්‍ෂණයක් කරන්න – මෛත්‍රී දූෂණ විරෝධී හඬට කියයි

169

මහ බැංකු බැඳුම්කර වංචාවේ මුදල් තමා හෝ සිය පවුලේ සාමාජිකයන් ලබාගත් බවට කොහේ හෝ නම් සඳහන් වී තිබේ නම් ඒ පිළිබඳව වහාම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර පරීක්‍ෂණයක් කරන ලෙස දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

මෙය තනිකරම දේශපාලන මඩ ගැහිල්ලක් බවද හිටපු ජනාධිපතිවරයා ඊයේ (4 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සඳහන් කළේය.

දූෂණ විරෝධී හඬ සංවිධානයේ පෙරේදා (3 දා) පැවැති මාධ්‍ය හමුවේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ වංචා දූෂණ සම්බන්ධයෙන් කතා කිරීම ප්‍රශ්නයක් නොමැති බවත් ඒ පිළිබඳ සොයා බලා දඬුවම් කළ යුතු බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

හිටපු ජනාධිපතිවරයාගේ වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා කිරීමේදී ඔහුගේ බෑණාට සහ දරුවන්ට බැඳුම්කර වංචාවේ මුදල් ලැබී තිබෙන බවට සඳහන් කළ බවත් සිය ජීවිත කාලය තුළ රාජ්‍ය දේපළ හෝ පෞද්ගලික දේපළ වංචා සහගතව ලබාගෙන තිබෙනවානම් ඕනෑම දඬුවමකට යටත්වන බවත් මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේ මෙම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරන බව දැනුම් දුන් බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment