ඖෂධ-වෛද්‍ය උපකරණ  හැකි ඉක්මනින්  පරිත්‍යාග කරන්න

311

පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය විදෙස්ගත  ශ්‍රී ලාංකිකයන්ගෙන් සහ වෙනත් දානපතියන්ගෙන් ඉල්ලයි

 මේ වන විට ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන උග්‍ර ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය හේතුවෙන් දිනෙන් දින අවදානමට ලක්වෙමින් පවතින අහිංසක රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා හැකි ඉක්මනින් ඖෂධ සහ වෛද්‍ය උපකරණ මෙරටට පරිත්‍යාග කරන ලෙස පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ වෙනත් දානපතියන්ගෙන් ඉල්ලා සිටියි.

 විදෙස් සංචිත සිඳීයෑමත්, ඩොලර් හිඟයත් හේතුවෙන් ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගෙන්වා ගැනීම බරපතළ ප්‍රශ්නයක් වී ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් පවසන පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත රෝහල් පද්ධතියම දැඩි අර්බුදයකට මුහුණදී තිබෙන බව ද පවසයි. ඉතා ඉක්මනින් මේ තත්ත්වය මඟහරවා ගැනීම සඳහා පියවරක් නොගතහොත් ඉදිරියේ දී මෙරට සමස්ත සෞඛ්‍ය පද්ධතියම දරුණු කඩා වැටීමකට ලක්විය හැකි බවට ද ඔවුන් අනතුරු අඟවා ඇත.

 ශ්‍රී ලංකාවේ සියලු පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස නියෝජනය කරන එකමුතුව ලෙස සිය සංගමය අවස්ථා රැසකදීම මෙම අවදානම් තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව දැනුවත් කිරීමට පියවර ගත් බවත්, මේ වන විට හිඟවී ඇතැයි හඳුනා ගෙන තිබෙන ප්‍රධාන ඖෂධ වර්ග 76ක් පිළිබඳ පසුගියදා සෞඛ්‍ය අධක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා දැනුවත් කළ බවත් සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

 ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද අනුමැතිය ඇතිව, ලේඛනයේ ඇති සහ නැති ඖෂධ සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාග ලෙස මෙරටට ගෙන්වා ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළක් පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය විසින් ක්‍රියාත්මක කර ඇති අතර, එම ඖෂධ රෝගීන් වෙත සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීමට කටයුතු කරන බවට ද සංගමය විසින් සහතිකයක් ලබාදී ඇත.

 මේ සඳහා දායකවීමට බලාපොරොත්තු වන පරිත්‍යාගශීලීන්ට +94 0777755171 (ආචාර්ය ආනන්ද කුරුප්පු ආරච්චි – සභාපති), +94 0773497515 (වෛද්‍ය සුනිල් රත්නප්‍රිය – ලේකම්) යන දුරකථන අංක හෝ [email protected] සහ [email protected]  ඊමේල් ලිපින ඔස්සේ පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය සමග සම්බන්ධ විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment