අජිත් රෝහණ සුව අතට – වෛද්‍ය උපදෙස් මත ‘කෝල් ආන්සර්’ කරන්නේ නෑ – බිරිඳ කියයි

474

කෝවිඞ් රෝගය වැළඳී ඇති තම සැමියා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටින බව හිටපු මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ බිරිඳ ‘දිවයින’ ට ඊයේ (25 දා) පැවසුවාය.

තම සැමියා මේ වනවිට සුවය ලබමින් සිටින බව ද තවත් දින කීපයක් ප‍්‍රතිකාර ගැනීමෙන් පසු රෝහලෙන් පිටව යා හැකි බවද ඔහුට ප‍්‍රතිකාර කරන වෛද්‍යවරුන් තමන් සමඟ පැවසූ බවත් අජිත් රෝහණ මහතාගේ බිරිඳ වැඩිදුරටත් කියා සිටියාය.

තම සැමියා ඉකුත් 18 වැනිදා සිට කොවිඞ් රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් සිටි බවත් පසුව ප‍්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළුවූ බවත් අජිත් රෝහණ මහතාගේ බිරිඳ පැවසුවාය.

කොරෝනා රෝගය වැළඳී ඇති හිටපු මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා ඉතාම අසාධ්‍ය තතත්ත්වයේ කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයක ප‍්‍රතිකාර ලබමින් සිටි බවට විවිධ සමාජ ජාලා වෙබ් අඩවිවලින් සහ ඇතැම් මාධ්‍යවලින් විශාල ප‍්‍රචාරයක් ලබාදී තිබිණි.

අජිත් රෝහණ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැන ගැනීම සඳහා ඒ මහතාගේ බිරිඳ සම්බන්ධ කර ගත් අවස්ථාවේ ඇය වැඩිදුරටත් මෙසේද කියා සිටියාය.

මහත්තයගෙ ජංගම දුරකථනවලට දිගින් දිගටම ඇමැතුම් ලැබෙනවා. ඒ නිසා වෛද්‍ය උපදෙස් මත ඒ ඇමැතුම් ලබා ගන්නේ නැහැ.

මහත්තයා මේ වනවිට හොඳ සෞඛ්‍ය තත්ත්වයක් යටතේ විවේකීව පසුවන බව වෛද්‍යවරුන් පැවසුවා.

සමහර වෙබ් අඩවිවල ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළයි කියලා වාර්තා කරලා තියනවා. ඒත් එහෙම තත්ත්වයක් නැහැ. මහත්තයා හොඳින් සිටිනවා යැයි අජිත් රෝහණ මහතාගේ බිරිඳ වැඩිදුරටත් කියා සිටියාය.

නෝමන් පලිහවඩන –  හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment