1976 දී දුටු අනාගතය අද අපි අත් විඳිනවා -ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල

417

සෙක්කුව පක්ෂ දේශපාලනය පැත්තට ලගු කරනවට මම එච්චර කැමති නෑ. ඒ මොකද මම කතා කළේ අසීමාන්තික ශ්‍රම සූරා කෑම ගැන. එක්තරා පැලැන්තියක් වැඩකරන ජනතාවගේ ශ්‍රමය සූරා කනවා. ශ්‍රමයට ඔවුන්ට ප්‍රතිලාභ ලැබෙන්නේ නෑ. ප්‍රතිලාභ වෙන පැත්තකට ගලාගෙන යනවා. ජනතාව එක තැන කැරකෙනවා. මම කියන්නේ ඔබ ඊට ඔබට ගැළපෙන පරිදි දේශපාලනය ආරෝපණය කළාට කමක් නැහැ.

පරාක්‍රම නිරිඇල්ල කියන්නේ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ම අපේ දේශීය කලාකෙත විවිධත්වයෙන් යුතුව පෝෂණය කරන්න දායක වුණ අසමසම කලාකරුවෙක්. වේදිකාව පුංචි තිරය සිනමාව ආදී නන්වැදෑරුම් කලා ක්ෂේත්‍රයන් ඔස්සේ අනභිභවනීය කලා කෘති රැසක් නිර්මාණය කළ ඔහු ඒ තුළින් අපේ රටේ දෑතේ ඇඟිලි ගානටත් අඩු වූ විශිෂ්ටයන් අතලොස්ස අතරටත් පැමිණියා. කලාවේ සම්ප්‍රදාය ඔස්සේ නිර්මාණකරණයේ යෙදුණත් නිතරම ඔහු සම්ප්‍රදායේත් විප්ලවීය වෙනසක් ප්‍රාර්ථනය කළා. පුංචි කාලයක් නෙවෙයි. වසර දසක පහකට අධික කාලයක් ඔහු ඒ සඳහා කැපවුණා…

ඔව්.. ඔහු අදටත් නිර්මාණකරණයේ තරුණයෙක්. අද අපි ඒ තරුණයා සමග පුංචි පිළිසඳරක්. “සෙක්කුව, කොරා සහ අන්ධයා, වලහැඩියා” ගැන කතා කරමින් ඔහු සිය දශක හයක කලා දිවිමග මතකය බිඳක් වචන බවට පත් කළා…

● පරාක්‍රම නිරිඇල්ල නම් ඔබ ගැන දැන් නැවතත් සමාජය කතාබහ කරන්න පටන් අරන්. ඔබට මොනවද හිතෙන්නේ..?

“අවුරුදු 18 කට පස්සේ මම අලුත් ප්‍රවේශයක් ගත්තා. ඔබ දන්නවා මම ආරම්භයේ සිටම විශ්වාස කරපු දෙයක් තමයි අපි නාට්‍ය කලාව රැගෙන ප්‍රේක්ෂකයා ළඟට යා යුතුයි කියන එක. ඒකට තමයි මම mobile theatre ජනකරළිය ජංගම වේදිකාව සැලසුම් කරලා පටන් ගත්තෙ. අවුරුදු දහ අටක් මම ඒ දුෂ්කර ව්‍යායාමයේ යෙදුනා. ඔබට මතක ඇති අපි “වේදිකාව” ගමට ගෙන යන්න ගත්ත මහන්සිය.

ඒ තුළින් අපි උත්සාහ කළේ නාට්‍ය කලාවට ආදරය කරන කණ්ඩායමක් බඳවගෙන, ඔවුන් වේදිකාවේ විවිධ ඉසව් සඳහා පුහුණු කරලා, නාට්‍ය නිෂ්පාදනය කරලා, ඒක අරන් කොළඹින් එලියට ගිහින්, තාවකාලික ප්‍රේක්ෂකාගාරයක් තනලා දවස් ගාණක් එක දිගට නාට්‍ය ප්‍රදර්ශනය කළා. ඔබ දන්නවා ඒ කණ්ඩායමට අපි වැටුප් පවා ගෙව්වා. ඇත්තටම මම සැලසුම් කළේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට වෘත්තීය ශිල්පීන් පිරිසක් බිහි කරන්න.

පහුගිය කාලේ ආපු, බෝම්බ සිද්ධීන්, කොවිඩ් ව්‍යසන අස්ථාවර සමාජ දේශපාලන පසුබිම මත ජනකරළියේ කන්සෙප්ට් එකම අභියෝගයට ලක් වුණා. ඇත්තටම ඒ හැරුණ විට ශිල්පීන්ටත් ප්‍රශ්න තිබුණා. ඒගොල්ලො මේකෙන් බැහැරව ගියා. විවාහ ජීවිතය, ස්ථාවර රැකියාවන් වගේ දේවල් ඒ සඳහා හේතුවන්න ඇති. ඇත්තම කියනවා නම් මම එවෙලෙ ලොකු වගකීමකින් නිදහස් වුණා.

ඔය විදියට ජනකරළිය බිඳ වැටුනාට පස්සේ රටේ යම් සමාජ දේශපාලන අස්වැසුමක් ලැබුනහම මට හිතුනා අලුත් ප්‍රවේශයකින් නැවතත් වේදිකාවට ගොඩවෙන්න. එක තමයි මම “සෙක්කුව” වේදිකා නාට්‍යය නව ලොවට ගැළපෙන පරිදි ප්‍රතිනිර්මාණය කරලා නිෂ්පාදනය කරන ගමන් “කොරා සහ අන්ධයා” නාට්‍යත් “වලහැඩියා” නාට්‍යයත් යළි වේදිකාවට ගේන්නේ. සෙක්කුව දැන් කීප තැනක පෙන්නුවා. ලබන ජූලි 7 වෙනිදා ටවර රඟහලේ පෙන්වනවා. ඊට වඩා විශේෂත්වය වන්නේ හත්වෙනිදා ම ලුම්බිණි රඟහලේදී කොරා සහ අන්ධයා හා වලහැඩියා නාට්‍ය දෙකක් මුල්වරට පෙන්නන්න සැලසුම් කිරීම. සමාජය මං ගැන යළි කතා වෙනවා නම් මං හිතන්නේ ඒක තමයි ඊට හේතුව.”

● මං කැමතියි ඔබේ අතීතය ගැන ටිකක් කතා කරන්න. ඔබ නාට්‍යකරණයට පිවිසෙන කාලයේ මේ රටේ නාට්‍ය කලාව තිබුණෙ මොනවගේ තැනකද කියලා ඇහුවොත්… මොනවද ඔබව ඊට යොමු කරපු කාරණා..?

“ඇත්තටම මං photography වලින් පටන් ගත්තෙ. පොතපත කියෙව්වා. කවි ලිව්වා. ඒව බලපෑවා තමයි. හැබැයි ඉතිං මූලිකම දේ අපි නාට්‍ය හා චිත්‍රපට පිස්සුවෙන් වගේ බැලුවා. ඔය කාලේ පේරාදෙණි සාහිත්‍යය පුනරුදය ඇතිවෙලා. කොළඹ අය වෙනම නාට්‍ය කරන්න පටන් අරන්. 60 70 දශක නේ ඇත්තටම හොඳම කාලේ. මම මුලින්ම රස්සාවක් හැටියට කළේ ත්‍රිකුණාමලයේ නාවික හමුදාවේ සිවිල් අංශයේ යතුරු ලේඛක ලිපිකරු රැකියාව. ඔය කාලේ තමයි මම හැමදාම නාට්‍ය බලන්න චිත්‍රපට බලන්න පිස්සුවෙන් වගේ කොළඹ ආවේ. ඉස්සර තරංගනී කියලා ටකරන් හෝල් එකක් තිබුණා නේ ඔය ගුවන් විදුලි සංස්ථාවේ අනිත් පැත්තේ. ඒකෙ සත පනහට රුපියලට ලෝකෙ තියෙන හොඳම ෆිල්ම් පෙන්නුවා. ශේක්ස්පියර්ගේ වෙනම festival එකක් තිබුණා. ඉතින් ඒකට අපි නිවාඩු දාලා එන්නේ. සිකුරාදා ඇවිල්ලා එක පාරක් සෙනසුරාදා ලුම්බිණි එකේ “හුනුවටයේ කතාව” බලලා ඉරිදා Y M B A එකේ “දුන්න දුනුගමුවේ” බලලා ඊතලයක් වෙලා තමයි මම ට්‍රින්කො ගියේ.

● ඒ කියන්නේ ඔබ සුගතපාල ද සිල්වාලට, හෙන්රි ජයසේනලට පිස්සු වැටිලා හිටියේ..?

“ඇයි දයානන්ද ගුණවර්ධන… කොච්චර හිටියද අපි වීරත්වයෙන් සලකපු නාට්‍යවේදියො. අනිත් එක ඔවුන් හා ළඟ ඇසුරක් ඇති වුණා. ඒ කිව්වේ මම පුහුණු වුණේ ධම්ම ජාගොඩයන්ගේ රංග ශිල්ප ශාලිකාවේනේ. ඒ දවස්වල එතනින් කරපු හැම නාට්‍යයකටම මම දායක වුණා. ධර්මසිරි පතිරාජයන්ගේ පිටපතකට අනුව කොරා සහ අන්ධයා මුල්වරට පෙන්වන්නෙ 1970 ලුම්බිණියේ. “මලවුන් නැගිටියි” වගේ ධම්ම ජාගොඩගේ ගොඩක් නාට්‍ය තිබුණා.

1976 තමයි මං මුලින්ම “සෙක්කුව” කළේ. මට මතකයි අපි ඒ නාට්‍යය ජාතික නාට්‍ය උළෙලේ පෙන්වද්දී තරගකාරීව පැමිණි නාට්‍ය දෙසීයක් විතර තිබුණා පිටින් ඇවිත්. එදා ඒ උළෙල විචිත්‍රවත් කරපු ප්‍රේක්ෂකාගාරය පිනවපු නාට්‍යයක් තමයි සෙක්කුව.

● මම දන්න විදියට ඔබේ මුල තියෙන්නෙ වේදිකාවට කලින් වීදි නාට්‍ය සමඟ..?

“74 දී වීදි නාට්‍ය කණ්ඩායම පටන් ගන්නවනෙ. මුල ඉඳලම ලුම්බිණියේ මම වීදි නාට්‍ය වල පුරෝගාමී සාමාජිකයෙක්. අපේ කණ්ඩායම මුලින්ම වීදි නාට්‍ය තුනක් හදලා තිබ්බා. මමයි හේමසිරි අබේවර්ධන කියලා තවත්, රංග ශිල්ප ශාලිකාවේ ඉගෙනගත්තු සහෝදරයකුයි තමයි මුල්වරට අපි මේවා අනුරාධපුරයේදී අරන් ගිහින් පෙන්වන්නේ. පොසොන් පොහොය දවසේ අපි අනුරාධපුර සෙන්ට්‍රල් එකේ ඉස්සරහා එළිමහන් පිට්ටනියෙ තිබුණු වේදිකාවක නාට්‍ය පෙන්නුවා. ආපහු එනකොට අපිට හිතුණා කෝච්චිය එනතුරු රැඳී ඉන්න අතර නාට්‍යයක් පෙන්වන්න. ඔහොමයි පටන්ගැන්ම. එතනදි අපි “එල්ලිලා මැරෙන්න බැරිද” කියන වීදි නාට්‍යය පෙන්නුවා. මම දැක්කා ඔතන රංග භූමියක් නිර්මාණය වන හැටි. නාට්‍යයක් කියන්නේ මොකක්ද. ඇත්තටම නාට්‍යයක් කියලා කියන්නේ නාට්‍යෝචිත කතාවක් නළු නිළියන් ලවා ප්‍රේක්ෂකයන් ඉදිරියේ රංග භූමියක රංගගත කිරීමනේ. ඉතිං ඔන්න ඔය දේ විවිධ තැන්වල අපි කරනකොට විවිධ ආකාරයේ ප්‍රේක්ෂකාගාර නිර්මාණය වන හැටි මම දකිනවා. ඒ වගේම විවිධාකාරයේ රංගභූමි. ඔතන අපිත් එක්ක එදා හිටිය තවත් දැවැන්ත චරිතයක් තමයි එච්. ඒ. පෙරේරා. එච්. ඒයි මායි අතර ලොකු ආගියුමන්ට් එකක් තිබුණා අපට ගැළපෙන අනාගත ප්‍රේක්ෂකාගාරය ගැන. රංග ශාලාවකට ඇවිල්ල නිශ්චිතව නාට්‍ය බලන්න බැරි බහුතර ජන කොට්ඨාසයක් වෙත නාට්‍ය කලාව අරගෙන යන්න ඕනය කියන එක තමයි අපේ තර්කය වුණේ.

1976 දී දුටු අනාගතය අද අපි අත් විඳිනවා -ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල

එතනදි මම කියපු දේ තමයි අපිට ජනතාව ඉදිරියට යන්න පුළුවන්. හැබැයි එතෙන්දි අපි ප්‍රොසිනියම් තියටර් (Proscenium Theater) එකේ තියන වටිනා දේවල් ටික ඒ විදියටම අරගෙන යන්න ඕන කියන එක. ඒ කිව්වේ නැටුම් මියුසික් ආලෝකකරණය වගේ අත්‍යවශ්‍ය අංග ටික. ඔන්න ඔය තර්ක-විතර්ක අනුව තමයි අපි සෙක්කුව නාට්‍යය නිර්මාණය කරන්නේ. ඇත්තටම ඒක එළිමහනේ රඟ දක්වන්න පුළුවන් පර්යේෂණාත්මක නාට්‍යයක්නෙ. අපි ධම්ම ජාගොඩ එක්ක ගිහිල්ලා කලුන්දාවේ, මාතලේ, බදුල්ලේ, සීගිරිය වගේ තැන්වල සොකරි බලලා, ඊට පස්සේ දකුණු පළාතේ තිබුණු කෝලම් සම්ප්‍රදායේ නැටුම් බැලුවා. ඒවා ඔක්කොම සංකලනයෙන් අපිට අවශ්‍ය වුණා අලුත් නිර්මාණයක් කරන්න. ඒ තමයි සෙක්කුව. සෙක්කුව අපි හැදුවේ එළිමහනේ රඟ දක්වන්න වුණාට අපිට ඒක යථාර්ථයක් කරගන්න අමාරු වුණා. නැටුම් ගැයුම් වැයුම් හා ඒ එක්ක පාවිච්චි කරපු ටෙක්නික් ටික එළිමහනෙ කරගන්න බැරිවීම තමයි හේතුව.

අනිත් එක මේ මහන්සි වෙන ශිල්පීන්ට ගෙවීමක් කරන්න ඕන. නාට්‍ය කලාව වෘත්තීය මට්ටමට ගේන්නනේ අපිට වුවමනා. ඉතින් එළිමහනේ පෙන්වන කොට අපිට ඒ ගෙවීම කරන්න අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගන්න බැරි කමක් තිබුණා.

● එතකොට මේ නිෂ්පාදනයේ දී එඩ්වඩ් ජයකොඩි සංගීතය සපයනවා ද..?

“ඇයි එච් ඒ… ඇත්තෙන්ම සෙක්කුවට සංගීත අධ්‍යක්ෂවරු තුන්දෙනෙක් හිටියා. එඩ්වඩ් ජයකොඩි, එච්. ඒ. පෙරේරා සහ සැම්සන් සිල්වා. එච්. ඒ. තමයි පූරකගේ කැරැක්ටර් එක කරේ. එඩ්වඩ් එක දවසක් හෙට්ටිමුල්ලේ දී ඒක කළා. ඒ එයාගේ ගම.

මම කියන්න ගියේ අපි මුලින් එළිමහන් වේදිකාව අත්හදා බලන්න හදපු සෙක්කුව අන්තිමට ප්‍රොසිනියම් වේදිකාවට ගේන්න වුණා. 1976 ජාතික නාට්‍ය උළෙලේ පෙන්වද්දී මේ අලුත් අත්දැකීමට ප්‍රේක්ෂකයෝ විශාල වශයෙන් ආකර්ෂණය වුණා. උළෙලෙනුත් සම්මාන හතක් දිනාගන්න සමත් වුණා. ධර්මසිරිගේ ඒකා අධිපති නාට්‍යයත් සෙක්කුවත් තමයි එදා කැපී පෙනුනේ.”

● සෙක්කුව කියන්නේ අපේ රටේ බිහිවෙච්ච සුවිශේෂී දේශපාලන රංගයක්නෙ. යම්කිසි රටක, සමාජයක පරිපාලනය බලය ලබාගන්න බලවේග දෙකක් මහජනතාව වෙත තම සුදුසුකම් ඉදිරිපත් කරමින් කැන්වසින් කරන ආකාරය. ඇත්තටම ඔබට එදා එවන් දේශපාලන නාට්‍යයක් කරන්න තරම් උත්තේජනයක් සමාජයේ තිබුණද..?

සෙක්කුව පක්ෂ දේශපාලනය පැත්තට ලගු කරනවට මම එච්චර කැමති නෑ. ඒ මොකද මම කතා කළේ අසීමාන්තික ශ්‍රම සූරා කෑම ගැන. එක්තරා පැලැන්තියක් වැඩකරන ජනතාවගේ ශ්‍රමය සූරා කනවා. ශ්‍රමයට ඔවුන්ට ප්‍රතිලාභ ලැබෙන්නේ නෑ. ප්‍රතිලාභ වෙන පැත්තකට ගලාගෙන යනවා. ජනතාව එක තැන කැරකෙනවා. මම කියන්නේ ඔබ ඊට ඔබට ගැළපෙන පරිදි දේශපාලනය ආරෝපණය කළාට කමක් නැහැ. හැබැයි මම කිව්වේ වෙන කතාවක්. “සෙක්කුව” ඇවිල්ලා පාලන තන්ත්‍රයේ සුරාකෑමේ යාන්ත්‍රණය.

● හොඳයි මේ සූරාකෑමේ යාන්ත්‍රණය නැවත වරක් 2023 දී සමාජගත කරන්න ඔබව පොළඹවපු උත්තේජනය මොකක්ද කියලා දැන් මට අහන්න හිතෙනවා..?

“1976 දී අපි සෙක්කුව තුළින් දැකපු අනාගතයක් තියෙනවා නේ. අන්න ඒ දැකපු අනාගතය තුළ තමයි අද අපි ඉන්නේ. හැබැයි ඒ අනාගතය හෙවත් අද අපි විඳින වර්තමානය ඉතාම සංකීර්ණයි. අන්න ඒ සංකීර්ණත්වය පෙන්නන්න සෙක්කුවේ අවසාන භාගය මම යම් යම් සංස්කරණයන්ට ලක් කරලා වෙනස් කිරීම් කරලා තියෙනවා. සෙක්කුව කරමු කියලා මට යෝජනා කරන්නේ සෆීර්. නිරෝෂ් කවිරත්න අර්ථපති විදියට නිෂ්පාදක වශයෙන් පෙනී ඉන්නවා. “Interact Art” ආයතනය තමයි අපිට මේ නිෂ්පාදනයට සංවිධායකත්වය සපයන්නේ.”

● ඔබ දැන් සෙක්කුව ලබන ජූලි 7 වැනිදා ටවර් රඟහලේ පෙන්වන අතරම එදාටම පෙන්වනවා ලුම්බිණි රඟහලේ තවත් නාට්‍ය දෙකක්. ඒ කිව්වේ කොරා සහ අන්ධයා මෙන්ම වලහැඩියා කියන නාට්‍යයද්වය. කෙනෙකුට ඇයි හිතෙන්නේ කියලා මටනම් උභතෝකෝටිකයක්..?

“නෑ.. නෑ… මේක ඒ තරම් දෙයක් නෙවෙයි. මොකද මගේ ජීවිතේ මේ වගේ දේවල් මීට පෙරත් වෙලා තියෙනවා. උදාහරණයක් කියන්නම්… මට මතකයි 1989 දී මම “උත්තමාවී” නාට්‍ය කරද්දි සෙනසුරාදා රූපවාහිනියෙ යනවා “යශෝරාවය”. ඒත් එක්කම “සිරි මැදුර” ෆිල්ම් එකත් යනවා. ඒ වගේ දෙයක් විතරයි මෙතන. සෙක්කුව ඉතින් කලින් පෙන්නල තියනවා. ඒක නිසා එදාට මම ලුම්බිණියේ රැඳී ඉන්නවා කොරා සහ අන්ධයා මෙන්ම වලහැඩියා කියන නාට්‍ය දෙකක් එක්ක…”

මට හිතෙනවා එකම දවසේ ඔබ ලොකු දේශපාලන පණිවිඩයක් සමාජයට දෙන්න උත්සාහ කරනවා..?

මම දන්නෑ කොහොම ඔබ අර්ථ දක්වනවා ද කියලා. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. කොරා සහ අන්ධයා ධර්මසේන පතිරාජයන්ගේ ප්‍රබල කතා පුවතක් සහිත පිටපතක්. ප්‍රථම නිෂ්පාදනය 1970. මේක දෙවන නිෂ්පාදනය. මේකෙ නාට්‍යය පුරාම ප්‍රබල චරිත දෙකයි. එක්කෙනෙක් කොරයි. ඇවිදින්න බෑ ඇස් පේනවා. අනිත් එක්කෙනා අන්ධයි, හැබැයි ඇවිදින්න පුළුවන්. නාට්‍යයේ සිද්ධවෙන්නේ අන්ධයගේ කර උඩ කොරා නැගලා කොරාගේ මගපෙන්වීම මත එක්තරා ගමනක් යනවා.

යන ගමනත් හරිම වැදගත්. යන්නේ ආශ්චර්යයක් බලන්න. එක්තරා කුමාරිකාවක් ලස්සන පරිසරයක තියෙන මාලිගාවක නිදා ඉන්නවා. ඒ කුමාරිය අවුරුදු සීයකට පස්සේ ඇස් ඇරල ලෝකය දෙස බලනවා. අන්න ඒ බැල්මට ඉස්සෙල්ලාම අහුවන අන්ධයින් ගේ ඇස් සුව වෙනවා. කොරුන්ගේ අතපය නිරෝගී වෙනවා. මෙන්න මේ දර්ශන පථයට අහු වෙන්න තමයි මේ දෙන්නා එක්කෙනාට එක්කෙනා හවුල් වෙලා මේ ගමන යන්නේ…

1976 දී දුටු අනාගතය අද අපි අත් විඳිනවා -ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල

අන්න ඒ ගමනාන්තය හොයාගෙන ඒ දෙන්න යනකොට ඔවුන් තුළ ඇතිවන පරස්පර විරෝධයන් තමයි නාට්‍යෝචිතව මුළු නාට්‍ය පුරාම විසිරිලා තියෙන්නේ. දෙන්නා එකිනෙකා රවට්ට ගන්නවා. එකිනෙකාට ඊර්ෂ්‍යා කරනවා. ඒ නිසා බොරු කියනවා. බොරු කියලා අමාරුවේ වැටෙනවා. ඒ බොරුවලට මුළාවී පාර වරද්ද ගන්නවා. හැබැයි මෙතන කියවෙන සත්‍ය තමයි සැබෑ ගමනාන්තයක් ඒ ආකාරයෙන් දකින්න නම් දෙදෙනාටම එකිනෙකා ගේ උදව් උපකාර හා කාරුණිකභාවය අවශ්‍යයි කියන එක. හැබැයි මේ දෙන්න තුළ තියන ප්‍රතිවිරෝධයන් නිසා ඒක සිද්ධ වෙන්නේ නෑ. මුළු නාට්‍ය පුරාම ඉතාම රසවත්ව කියන්නේ ඔන්න ඔය කතාව.

මම ඇත්තටම මෙතන සමාජවාදය ගැන කතා කරනවා. සමාජවාදය යථාර්ථයක් කරගන්නට නම් මේ රටේ වැඩ කරන ගොවි කම්කරු ජනතාව එකතු වෙන්න එපාය. හැබැයි ඒක සිද්ධ වෙන්නේ නැත්තේ ඒ ගොල්ල පිල් බෙදිලා එක එක පැත්තට අදින නිසාය කියන දේ මේ කොරා සහ අන්ධයාගේ කතාව ඇතුළාන්තයෙන් පිළිබිඹු වෙනවා. කවුරුහරි එහෙම හිතුවට කමක් නෑ.”

● ඉලක්කය සඳහා දෙන්න එකතු වෙලා යන ගමනක් වුණත්, දෙදෙනාගේම තියනවා මේ ගමනාන්තයේ ප්‍රතිඵල තනියෙන් අත්පත්කර ගැනීමේ අභිලාෂයක්..?

“ඔව් ඒක තමයි… ඒ නිසාම තමයි මෙහි අවසන් ප්‍රතිඵලය දෙන්නාටම භුක්ති විඳින්න නොලැබෙන්නේ. ඔන්න ඕකයි මම කියන්න උත්සාහ කළේ. ඒ මොකද ගමනාන්තයට එනකොට කොරා, අන්ධයාගෙ බෙල්ල මිරිකල මරනවා. මේ අර්බුදය මොහොතේදී පවා ඉලක්කයක් පෙනුනට කවුරු හෝ ඉලක්කයක් පෙන්නුවට ඉලක්කය කරා යන ගමන පිළිබඳ කාගෙවත් සමගියක් නැහැනේ… ඒ අර්ථයෙන් ඔබ මේක අද සමාජයට ගැලපුවට ප්‍රශ්නයක් නෑ…”

● මට ඊට වඩා දෙයක් හිතෙනවා. මට හිතෙනවා කොරා සහ අන්ධයා තුළින් ඔබ අද කියන්න උත්සාහ කරන්නේ වර්තමානයේ පවතින, තරුණයන්ගේ ආකර්ෂණය වඩාත් යොමු වුණ එකම අරමුණක් සහිත එකම මාවතේ යන පක්ෂ දෙකක දේශපාලන ක්‍රියාන්විතය ගැන කියන්න කියලා…

“නෑ නෑ… මන් දන්නෑ. මම නං අදහස් කළේ ඒක නෙවෙයි. අවශ්‍ය නම් කෙනෙකුට මෙහි අර්ථය ඒ වගේ පටු තැනකට ගන්න පුළුවන්. හැබැයි මගේ අරමුණ හෝ අදහස නම් ඒක නෙවෙයි. මම කියන්නේ පුළුල් කතාවක්. අරමුණ හොඳ වුණාට වැඩක් නෑ අරමුණ ලස්සන වුණාට වැඩක් නෑ අරමුණ කොච්චර වටිනවා වුණත් වැඩක් නෑ… අරමුණ කරා යන ගමනේ අවංක භාවයක් නැත්නම් ඒ අයගේ එකතුවක් නැත්නම් අවසානයක් දකින්න ලැබෙන්නේ නෑ. ඕක මම පුළුල් අර්ථයෙන් දැකපු දෙයක්. මම ඔය ගැන ඊට වඩා කතා කරන්නේ නැහැ. මොකද ඔබ ඊළඟට මාවත් පටු තැනක හිර කරන්න උත්සාහ කරාවි.

මට තියනවා අදහසක් වලහැඩියා ගැනත් කතා කරන්න. මේක අලුත් නිෂ්පාදනයක්. ඇන්ටන් චෙකොෆ්ගේ The boor කියන නාට්‍යය මම ම පරිවර්තනය කළා. පිටපත් අනුසාරයෙන් තමයි මම මේ කෙටි නාට්‍යය නාට්‍යය නිෂ්පාදනය කළේ. ඒක අලුත් වැඩක්. අලුත් විදියට රසවිඳින්න ඔබටත් රටේ නාට්‍ය ප්‍රේක්ෂකාගාරයටත් මම ආරාධනය කරනවා.”

පරාක්‍රම නිරිඇල්ල නම් මේ දැවැන්තයා අන්න එහෙම ඉතාම සරලව හා නිහතමානීව කතාබහ අවසන් කළා. එහෙමනම් කලකට පසුව මේ වගේ ප්‍රවීණයෙක් නාට්‍යයක් රසවිඳින්න නාට්‍ය ප්‍රේක්ෂක ජනතාවට ලබා දීපු මේ දුලබ අවස්ථාව ගැන ස්තුතිවන්ත වෙමින් අපි කතාබහ අවසන් කළා..

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment