ශ්‍රී ලංකා නිල සංචිතය එයි

368

පන්දු යවන්නෝ හතරක් පිතිකරුවෙක් ලෙඩින්

ආබාධවලට ලක්වූ ක්‍රීඩකයන් වෙනුවට ආදේශක ක්‍රීඩකයන් හතර දෙනකු ඇතුළත් කර, ඒ අතරින් ද දෙදෙනකු වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය බලාපොරොත්තුවෙන් යුතුව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (29 වැනිදා) නිවේදනය කරන ලදි.

වේග පන්දු යවන ප්‍රමෝද් මධුෂාන් සහ බිනුර ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් දෙදෙනාගේ නම් සඳහා ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය බලාපොරොත්තුවෙන් පසු වන බව එම නිවේදනයේ දක්වා ඇත.

ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි දසුන් ශානක ට හිමිව ඇති අතර උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කර තිබේ.

තරගාවලිය වෙනුවෙන් නම් කරන ලද ක්‍රීඩකයන් අතරෙන් සිව් දෙනකු ආබාධවලට ලක්වීම හේතුවෙන් ඉවත් කර තිබුණි.

තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ වේග පන්දු යවන මුල්පෙළේ ක්‍රීඩකයින් වන දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, දිල්ෂාන් මධුසංඛ එසේ ආබාධයට ලක්වූ ක්‍රීඩකයෝ වෙති.

ඊට අමතරව ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ද උණ රෝගයක් වැලඳී ඇති බවද තරගාවලියේ මුල් තරග කීපයේදී ඔහුගේ සේවය ලබා ගැනීමට නොහැකි වුවත් අවසන් තරග අතරතුර කුසල් ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වනු ඇතැයි එම නිවේදනයේ දක්වා ඇත.

වේග පන්දු යවන දුෂ්මන්ත චමීර ආබාධයක් හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් කර තැබීමට කලින්ම තීරණය කර තිබුණි. ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනූ බී – ලව් කැන්ඩි පිල නියෝජනය කළ දුෂ්මන්ත පපු පෙදෙසේ මස්පිඬු ආබාධයකට ලක්වීමෙන් තරග කිහිපයකට ක්‍රීඩා නොකළ අතර, වනිඳු ද එහි අවසන් පූර්ව තරගයේ දී ආබාධයකට ලක් විණි.

මෙවර තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය හෙට (31 වැනිදා) බංග්ලාදේශය සමග පැවැත්වේ.

ශ්‍රී ලංකා සංචිතය මෙසේය: දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, දුෂාන් හේමන්ත, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මධුෂාන්, කසුන් රාජිත, මතීෂ පතිරණ, බිනුර ප්‍රනාන්දු

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment