කුලී ගමනක් යන මුවාවෙන් ගොස් ගෙලට පිහියෙන් ඇන ත්‍රිරෝද රියැදුරු මරලා

212

කුරුවිට තෙප්පනාව මැදගම ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ත්‍රිරෝද හිමිකරුවෙකු කුලී ගමනක් රැගෙන ගොස් කුරුවිට, එරත්න, විතානපංගුව ප්‍රදේශයේදී ඉකුත් 11 වෙනිදා ඝාතනය කර ඇති බව කුරුවිට පොලිසිය පවසයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ තෙප්පනාව, මැදගම පදිංචි ඇස්වත්තගාගේ සුමිත් නමැති 52 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතනයට ලක් වූ ත්‍රිරෝද රථ රියැදුරාගේ නිවස ආසන්නයේම පදිංචි අයෙකු සමග තම ඩීසල් ත්‍රිරෝද රථයෙන් කුරුවිට නගරයට ගොස් පසුව හකුරු මිලදී ගැනීමට යැයි පවසා එරත්න ප්‍රදේශයට යන අතරතුර විතානපංගුව ප්‍රදේශයේ දී ඔහු සඟවා ගෙන සිටි පිහියෙන් ගෙල ප්‍රදේශයට ඇන ඇතැයි කුරුවිට පොලිසිය පවසයි. එහිදී රියැදුරා පිහි පහර කාගෙනම මීටර් 30ක පමණ දුරකට දිව යන අවස්ථාවේ වෙනත් රාජකාරියකට එම මාර්ගයේ යමින් සිටි කුරුවිට පොලිසියේ නිලධාරියෙකු හමුවීමේදී “මට පිහියෙන් ඇන්නා” කියා බිම වැටී ඇති බව පොලිසිය පවසයි. එම අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියා අසාධ්‍ය තත්ත්වයෙන් සිටි එම පුද්ගලයා අවට අයගේද සහයෝගය ඇතිව එරත්න ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව තිබූ බව පොලිසිය කියයි. ඝාතකයාද ඒ අවස්ථාවේම අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙකු වන අතර රත්නපුර මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. කුරුවිට පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. රංජිත් මිණිපුර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. සිරිවර්ධන, පො.සැ. (42980) නිශ්ශංක, පො.කො. වරුන් වන (86550) රජිත, (28184) සුරේෂ් යන නිලධාරීන් ඇතුලු කණ්ඩායමක් මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

කිරිඇල්ල – ඩී. කේ. කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment