රජයේ වැඩවලට රු. ට්‍රිලියනයක් අනීතිකව සම්මත කරගෙන – සජිත්ගෙන් මැතිසබයේදී චෝදනාවක්

114

මුදල් කාරක සභාව සඳහා ස්ථිර සභාපතිවරයකු පත් නොකාර තාවකාලික සභාපතිවරයකු පත් කරගනිමින් රජයේ කටයුතු සඳහා රුපියල් ටි්‍රලියන 01ක් අනීතිකව අනුමත කරගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් පාර්ලිමේන්තුවේ දී ඊයේ (12 දා) චෝදනා කළහ.

එම කාරක සභාවේ සභාපතිවරයකු නොමැති අවස්ථාවක විපක්ෂය විසින් සභාපතිවරයකු පත් කළ යුතුය යන ස්ථාවර නියෝග තිබිය දී අනීතිකව, ව්‍යවස්ථා විරෝධීව වැඩබලන සභාපතිවරුන් රජය විසින් පත් කර ගැනීමෙන් පසු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තා නීත්‍යානුකූලව ඉදිරිපත් වන්නේ කෙසේද? කියා ප්‍රශ්න කරනවා යැයි ද හෙතෙම පැවසීය.

කාරක සභාවක් ස්ථාපනය වන්නේ එහි සංයුතිය තුළ, ස්ථාවර නියෝග මත පදනම්ව, ස්ථිර සභාපතිවරයකු පත් කිරීමෙන් බවත් නීත්‍යානුකූලව සභාපති වැඩ නොබලන විට තාවකාලික සභාපතිවරයකු පත් කළ හැකි නමුත් මේ අවස්ථාවේ සිදුව ඇත්තේ ස්ථාවර නියෝගවලට පටහැනි ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මෙවැනි තත්ත්වයක් තුළ බංකොලොත් රටක අනීතිකව වැඩ කරන්න පාර්ලිමේන්තුවට අවස්ථාවක් නොමැති බවත් කරුණාකර මුදල් කාරක සභාවට නිත්‍ය සභාපතිවරයකු පත් කර මෙම වාර්තා නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් මෙතෙක් අනීතික සභාපතිවරයකු හරහා ඉදිරිපත් කළ වාර්තා ව්‍යවස්ථා විරෝධී බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ පාර්ලිමේන්තුවට සම්මත කරන ලද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තා ඉදිරිපත් කිරීමට විරෝධය පළ කරමිනි.

අකිත පෙරේරා, රනිල් ධර්මසෙන

advertistmentadvertistment
advertistmentadvertistment