වස මිශ්‍ර කළ කිරි පැකට් දුන් සැකකරු තාමත් නිදැල්ලේ – කිරි බීපු දෙදෙනා රෝහලෙන් සිර ගෙදරට

86

ආදුරුප්පුවීදියේ පොලිස් සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනකුට වස මිශ්‍ර කළ කිරි පැකට්ටුවක් ලබාදීමෙන් පසු එය පානය කළ දෙදෙනා අසාධ්‍යව රෝහල් ගත කිරීම සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශනවලට අදාළව කිරිපැකට්ටුව ලබාදුන් සැකකරු ඊයේ (11දා) දහවල් වනවිටත් අත්අඩංගුවට ගෙන නැතැයි පොලිසිය පවසයි.

කිරි පැකට්ටුව පානය කළ දෙදෙනා සිහිසුන්ව ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමෙන් පසු ඔවුන් දෙදෙනා සුවය ලබා රෝහලෙන් පිටවී බන්ධනාගාර ගතකර සිටින බව ආදුරුප්පුවීදිය පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය. එම සැකකරුවන්

දෙදෙනාගෙන් ප්‍රකාශ ලබාගත් බවත් විමර්ශන අනුව ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රකාශ ලබාගත යුතු බවත් එම නිලධාරියා කීය.

සැකකරුවන්ට වස මුසුකර කිරිපැකට්ටුව ලබාදුන් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අනුව පාතාල නායකයින් වන කංජිපානි ඉම්රාන්, දිනේෂ් සහ පූකුඩුකන්නා යන නම් ප්‍රකාශ වුවද නිශ්චිතවම කුමන පාතාල සාමාජිකයා විසින් සැකකරුවන් දෙදෙනාට වස මිශ්‍ර කිරිපැකට්ටුව ලබා දුන්නාද යන්න අනාවරණය වී නැති බව ද එම නිලධාරියා පැවැසීය. කිරිපැකට්ටුව ලබාදුන් සැකකරු හඳුනාගෙන ඇති බවත් ඔහු තවමත් රට තුළ රැඳී සිටින බවට විශ්වාස කරන බවත් එම නිලධාරියා කීය. ආදුරුප්පුවීදිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අමිත් මෙත්තානන්ද මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

වසක් මිශ්‍රකර කිරිපැකට්ටුවක් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අනුව කිරිපැකට්ටුව ලබාදීම සිදුවූ පසුගිය (07 දා) රාජකාරියේ යෙදී සිටි වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කර තිබේ.

මින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment