කෝටියක කේජී සැප රියෙන් අදිද්දී මාට්ටු දෙදෙනෙක් අත්අඩංගුවට

854

රුපියල් ලක්ෂ 95 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සුඛෝපභෝගී මෝටර් රථයකින් ප්‍රවාහන කරමින් සිටි දිවයිනේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ හිටපු හමුදා සෙබළෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු පසුගියදා (01) අළුයම අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස්ගොඩ සහ බෙන්තර ප්‍රදේශයේ පදිංචි 37 සහ 40 වියේ පසුවන පුද්ගලයන් බව පොලිසිය කීය. වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවෙකුට අයත් ජාවාරමක කේරළ ගංජා මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය කීය. සැකකරුවන් පැමිණ සුඛෝපභෝගී මෝටර් රථය බෙන්තර පාලම ආසන්නයේ දී පරීක්ෂා කිරීමේදී ,කේරළ ගංජා කිලෝ 36 ක් සහ ජාවාරමට යොදාගත් සුඛෝපභෝගී මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.

කුලී ගෙවීමේ පදනම යටතේ ලබාගත් සුඛෝපභෝගී මෝටර් රථ මගින් කාලයක පටන් ජාවාරම කරගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි. සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී. ජේ. නන්දන සහ සහකාර පොලිස් අධිකාරී යූ.ඩී.එල්. ක්‍රිෂාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක උපුල් හර්ෂ, සැරයන්වරුන් වන ගුණේන්ද්‍ර (55301), සමන්තිලක (41104), ප්‍රසන්න (69479), ජයසූරිය (69615), ඒකනායක (69087), කොස්තාපල් තුෂාර (79335) සහ පො.කො.රි. ලසිත (80123) වැටලීමට එක්වූහ.

වාද්දුව සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment