Jawan උන්මාදය

161

ලංකාවේත් දැවැන්ත රිලීස් එකක්…
ලාංකේය සිනමා තරුත් ශාරුක් බලන්න යයි

සීතල වැසි වැටෙන සන්ධ්‍යාවක කෝපි කෝප්පයක රස විඳින අතරවාරයේ හින්දි ගීතයක් රස විඳින්නට සිතන ඔබගේ පළමු තේරීම බොලිවුඩයේ ප්‍රේමාන්විතයා නමින් නම් දරාපු ශාරුක් ඛාන්ගේ චිත්‍රපටයක ගීතයක් නම්, ඔබගේ සන්ධ්‍යාව සුන්දර මතකවලින් සමන්විත සන්ධ්‍යාවක් වන බව නොඅනුමානයි. ඔහු ඒ තරමටම ලාංකික අපගේත් ලේ මස් ඇට නහරවලට පවා කිඳා බැස අවසන්. අපට ඉන්දියාව වඩාත් සමීප වන්නට ඇත්තේ ප්‍රධාන හේතු දෙකක් බව මා ඔබට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නෑ. එයින් එකක් ක්‍රිකට් වන අතර අනික ඉන්දීය සිනමාවයි. ඉන්දීය සිනමාව තුළ ලාංකික බොහොමයකගේ හදවතේ ගැඹුරුම තැනක ශාරුක් ඛාන් නමැති සුන්දර මනුස්සයා සුවිශාල ඉඩක් වෙන් කරවාගෙන අවසන්. 1965 වසරේ නොවැම්බර් දෙවැනි දින ඉන්දියාවේ නවදිල්ලි නගරයේ මුස්ලිම් පවුලක උපත ලැබූ දෙවැනි දරුවා වන ශාරුක් ඛාන් මේ වන විට සිය 57 වැනි විය පසු කරමින් සිටී. වයස යනු ඉලක්කමක් පමණක්ම වන බව නැවත නැවතත් ඔප්පු කරමින් සිටින සිතින් මෙන්ම, තවමන් රුවින්ද තරුණ විය නොඉක්ම වූ බොලිවුඩයේ කිරුළ තම හිස මත හොවා සිටින, බොලිවුඩයේ රජු ගැන නැවතත් කතා බහක් ඇති වී තිබේ.

Jawan උන්මාදය

ඒ කුමක් නිසාද යැයි ඔබ දැනටමත් දන්නවා. 2018 වසරේ ‘ැරද තුළින් බිංදුවටම වැටුණු ශාරුක් වසර 4ටත් වැඩි දීර්ඝ විවේකයක් ලබා ගන්නේ ඔහුගේ චිත්‍රපටයක් එනතෙක් දෑස් දල්වාගෙන සිටින ලෝකවාසී ශාරුක් රසිකයින්ගේ සිත් තුළට යම් පීඩාවක් ගෙන දෙමින්. ඉතින් ඒ වසර 4 ඉන්දියානු සිනමා ක්‍ෂේත්‍රයටත් බොලිවුඩ් සිනමාවටත් සුබදායක වුණේ නම් නෑ. ඔවුන් අභිබවා යෑමට අනෙකුත් සිනමාවන් සමත් වුණා. එය වැළැක්වීමට කොතරම් උත්සහ කළත් දිගින් දිගටම බොලිවුඩ් සිනමා නිර්මාණයන් රාශියක්ම අසාර්ථකත්වයට පත්වුණා. එම නිසාම බොහොමයක් නිෂ්පාදකයින් මෙන්ම නිර්මාණකරුවන් අනෙකුත් සිනමා ක්‍ෂේත්‍රයන්හි චිත්‍රපටයක් නිකුත් වන දින තම නිර්මාණයන් නිකුත් කරන්නට පවා මැලිවූවා. එහෙත් ඒ සියලු දුර්භික්ෂ කාලසීමාවන් නිමා කරමින් බොලිවුඩයේ රජුගේ පුනරාගමනය 2023 ජනවාරි 25 පතාන් චිත්‍රපටය තුළින් සිදුවුණා. එය මුළු බොලිවුඩයම අවුලවාලන්නට සමත් වුණේ නැවතත් ඉන්දියාවේ සිනමා ක්‍ෂේත්‍රයන් අතර බොලිවුඩයට හිමි තැන ලබා දෙන අතරම බොලිවුඩයේ රජු ශාරුක් ඛාන් බව නැවත වරක් සනාථ කරමින්. පතාන් බොලිවුඩයේ ආදායම් වර්තා අලුත් කරමින් ඉන්දීය කෝටි 1000 සීමාව පසුකරන්නට කෙටි කාලයක් තුළදී සමත්වීම විශේෂත්වයක්. වසර 4 ක් පුරාවට තම රසිකයින්ට සමීප වීමට අවස්ථාවක් නොමැති වූ ශාරුක් ඉන්දියාව තුළ ඇති කළ ගින්න ලොව පුරාම මේ වන විටත් පැතිරී අවසන්. ඉතින් ඒ ගින්න ලැව් ගින්නක් බවට පත්කරන්නට සමත් වූයේ පසුගිය 7 වැනිදා තිරගත වුණු මේ වසරේ ශාරුක් රඟන දෙවැනි චිත්‍රපටය වන ජවාන්. මේ වන විට මා ඇතුළුව ලොව පුරා විසිරී පැතිරී සිටින බොලිවුඩ් රසිකයන් ජවාන් උන්මාදයෙන් පෙළෙන බව නොරහසක්.

Jawan උන්මාදය

ඉන්දීය රුපියල් කෝටි 300 ක දැවැන්ත පිරිවැයකින් නිර්මාණය වන ජවාන් ශාරුක් රංගනයෙන් දායක වන වැඩිම පිරිවැයකින් නිර්මාණය වුණු චිත්‍රපටය ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙහි ඇති විශේෂිතම කාරණාව වන්නේ ජවාන් මේ වන විටත් සිය වියදම් වූ මුදලටත් වඩා ආදායමක් සොයාගෙන අවසන් වීමයි. එහි අයිතිය වෙනුවෙන් t-series ආයතනය ඉන්දීය රුපියල් කෝටි 250ක මුදලක් වැය කිරීම පසුගියදා ඉන්දීය ප්‍රමුඛ පෙළේ පුවත්පතක් වන mint පුවත්පත සිය වෙබ් අඩවියේ සඳහන් කොට තිබුණා. ඊට අමතරව මේ වන විට චිත්‍රපටය තිරගත වීමට පෙර pre booking තුළින්ද සැලකිය යුතු මුදලක් සොයා අවසන්.

Jawan උන්මාදය

ජවාන් චිත්‍රපටයට ඉන්දීය සිනමාවට සුවිශේෂී වූ චිත්‍රපටයක් ලෙස හඳුන්වන්නට පුළුවන් වන්නේ මේ තුළ කොලිවුඩ් සිනමාවේ නම් දරාපු දැවැන්තයින් රාශියකගේ එකතුවෙන් නිර්මාණය වන නිර්මාණයක් නිසාවෙන්. ජවාන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ කොලිවුඩ් සිනමාවේ විශිෂ්ටයෙක් වන Atlee. කොලිවුඩයේ තලපති විජේයිගේ ආදායම් වාර්තා බිඳ හෙළපු සිනමා පට රාශියක අධ්‍යක්ෂවරයා වන්නේ Atlee. මෙය ඔහුගේ පළමු බොලිවුඩ් සම්ප්‍රාප්තියයි. චිත්‍රපටයේ තිර රචනයට අධ්‍යක්ෂවරයා සමගින් S. Ramanagirivasan සම්බන්ධ වෙනවා. චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය දරන්නේ ශාරුක්ගේ Red Chillies Entertainment වෙනුවෙන් ඔහුගේ සුන්දර බිරිය වන Gauri Khan. මේ වන විටත් පූර්ව ප්‍රචාරක පටය නරඹා තිබෙන ඔබගේ රෝම කූප උඩ යවන්නට සමත් වූ සංගීතය සපයන්නේ ඉන්දීය සිනමා කර්මාන්තයට පැමිණෙන නැගී එන නවක සංගීත අධ්‍යක්ෂවරයා වන Anirudh Ravichander විසිනි. බොලිවුඩ් කොලිවුඩ් රසිකයින් පමණක් නොව ලොවපුරා විසිරී පැතිරී සිටින ඉන්දීය සිනමාවට ඇලුම් කරන බොහොමයකගේ ක්‍රෂ් එකක් වන Nayanthara මෙහි ශාරුක් සමගින් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ඊට අමතරව මින් පෙර අප බොලිවුඩ් සිනමාව තුළ නොදුටු Vijay Sethupathi ජවාන්හි දුෂ්ටයාගේ චරිතය නිරූපණය කරනවා.

ජවාන් ලංකාවේ බෙදා හරින්නේ ලයිකා නිෂ්පාදන සමාගම සමග ඊඒපී සිනමා මණ්ඩලයේ බෙදාහැරීමක් ලෙසිනි. මෙම සිනමා නිර්මාණය දමිළ සහ හින්දි භාෂා යන ද්විත්වයෙන්ම රටපුරා ඊඒපී මණ්ඩලය ඇතුළු සිනමාහල් පනස්පහක ප්‍රදර්ශනය වේ. පසුගිය 07 වැනිදා සිට ලොව පුරා ජවාන් දැවැන්ත ලෙස තිරගත වන විට ලංකාවේද ලයිකා නිෂ්පාදන සමාගම සමග ඊඒපී සිනමා මණ්ඩලය අතිදැවැන්ත මංගල දර්ශනයක් පැවැත්වූහ. මෙම මංගල දර්ශනය ශ්‍රී ලාංකීය සිනමා තරු පිරිවරා අතිඋත්කර්ෂවත් අන්දමින් සැවෝයි 3 D සිනමාහලේදී පැවැත්විණි. එහි මාධ්‍ය සම්බන්ධීකාරකවරයා වශයෙන් කටයුතු කළේ මාධ්‍යවේදී උපුල් නිශාන්තය.

ෂාමික ජයලත්

advertistmentadvertistment
advertistmentadvertistment