කෝටි ගණන් ලාභ ලැබූ රක්ෂණ – ටෙලිකොම් – මහජන බැංකුව හා ලංකා බැංකුව රැක ගැනීමට ජනතාව සාමූහිකව කටයුතු කළ යුතුයි

111

අනුර කුමාර දිසානායක (ජාජබ)

රටේ ජාතික සම්පත් විනාශ මුඛයට හෙළීමට ආණ්ඩුව කැසකවමින් සිටින මොහොතක ජනතාවට ඉතාමත් තීරණාත්මක වසරක් උදාවී ඇති බැවින් ජාතික හැඟීමකින් පිබිදී සියලුම දෙනා සාමූහික ප්‍රයත්නයකින් කටයුතු කළයුතු යැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද සඳහන් කළේය.

මෙතෙක් දියත් කළ ගමන වේගවත් කර, අපේ රටේ ජාතික සම්පත් විනාශ මුඛයට හෙළීමට ආණ්ඩුව කැසකවමින් සිටිනවා. ජනවාරි මාසය ඇතුළත විදුලි බල මණ්ඩලය කොටස් කර විකිණීමට අවශ්‍ය පනත, රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් ආයතනය වැනි ආයතන විකිණීමේ ක්‍රියාවලිය සිදුකිරීමට නියමිතයි. එයට එරෙහිව පැනනගින ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීමට ප්‍රතිත්‍රස්ත පනත, සමාජ ජාලා මර්දනය කිරීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ රට ආපසු හැරවිය නොහැකි පන්නයේ විශාල ක්‍රියාමාර්ග ප්‍රමාණයක් වේගයෙන් ගැනීමට ආණ්ඩුව කැසකවන අතර, දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපි අපේ රටේ නව ජාතික පිබිදීමක් ඇති කර, නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟමින් ජනතාව ඊට සම්බන්ධ කරගෙන ඔවුනට ප්‍රතිලාභ ලබාගෙන නව ආර්ථික ගමනකට ප්‍රවිෂ්ට වීමේ මතවාදය සමාජගත කරමින් සිටිනවා. අපරාධ මැඬපැවැත්වීමට නීතියේ විධානය, ආධිපත්‍යය, පිහිටුවන්නේ කෙසේදැයි අපි සැලසුම් සකස් කරමින් සිටිනවා. අපේ ජනතාවත්, රටත් ව්‍යසනයට හෙළන ලද මහාපරිමාණ වංචා, දූෂණ කෙළපැමිණි දේශපාලන සංස්කෘතිය වෙනස් කර, නව ගමනකට අවතීර්ණ වීමේ සාකච්ඡාව අප ගෙනයනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ දේශපාලන ව්‍යුහයේ තීව්‍රම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා.

මේ සටන අපි පරාජයට පත්වුණොත් අපේ රටත් ජනතාවත් නින්දාගතභාවයේ, අසරණභාවයේ පතුළටම ඇද වැටෙනවා. අපි මේ සටන ජයග්‍රහණය කළොත් නව බලාපොරොත්තු, අපේක්ෂාවන් සහිතව මේ රට නව දිශාවකට ගෙනයා හැකියි. ඒ නිසා මේ ගොඩනැගෙමින් තිබෙන දේශපාලනය සාමාන්‍ය දේශපාලනයක් වගේ නොවෙයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ තීරණාත්මක බෙදීමේදී ජාතික ජන බලවේගයේ අපි ජනතාවත් සමග කවර ආකාරයේ පොදු සම්මුතියකට ආ යුතුදැයි පළල් ලෙස සාකච්ඡා කරමින් සිටිනවා. වැඩකරන ජනතාව, ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන්, ආගමික නායකයන්, විද්වතුන් ආදී වශයෙන් වූ අපි සියලු දෙනාම මේ රට මුදා ගැනීමේ පොදු සම්මුතියකට එළඹීමේ සාකච්ඡාවට ප්‍රවිෂ්ට වී සිටිනවා. ඒ අතරේ අනෙක් කඳවුර කුණු එකතු කරමින් සිටිනවා. ඔවුන් තැන තැන විසිරී සිටින කුණු එකතු කරන අතරේ අපි ජනතාව ඒකරාශී කරනවා. අපි මේ වසරට ප්‍රවේශ වී සිටින්නේ තීරණාත්මක ජයග්‍රහණයකින් සටන කෙළවර කරනවා කියන දැඩි අධිෂ්ඨානයෙන්. මේ නිසා අපි හැමදෙනාටම විවේක කාලයක් නොමැතිව වෙනස සඳහා කටයුතු කළ යුතු වෙනවා. පවතින අර්බුදයේම හේතුවක් නිසා ඔවුන් විකිණීම සිදුකරනවා. පැමිණි ආර්ථික ගමන විසින් නිර්මාණය කළ අර්බුදයේම ප්‍රතිඵලයක් තමයි විකිණීම. අනෙක් පැත්තෙන් විකිණීමත් මේ ආර්ථික අර්බුදයට හේතුවක්. මේ විකිණීම ඕපපාතිකව සිදුවූවක් නොවෙයි, මෙතෙක් අනුගමනය කළ ආර්ථික ක්‍රියාවලියේම ප්‍රතිඵලයක්.

තෙල් මිල ඉහළ යාම සමස්ත ආර්ථිකයටම බලපෑමක් ඇති කරන නිසා, මේ දක්වා වැට් බද්දෙන් නිදහස් කර තිබුණා. තෙල් මිල ඉහළ යාම තෙල් පරිභෝජනය කරන කෙනාට පමණක් නොවෙයි, සමස්ත ආර්ථික දේහයටම බලපාන සංවේදී කරුණක්. පාසල් උපකරණ මිල ඉහළ යාම දරුවන්ගේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සංවේදී ලෙස බලපානවා. සෞඛ්‍ය උපකරණ, ඖෂධ නිෂ්පාදන අමුද්‍රව්‍ය, සෞඛ්‍ය සේවාව වැට් බද්දෙන් නිදහස් කර තිබුණේ ජන ජීවිතයට සමීපව බලපාන නිසයි. නමුත් අර්බුදය විසින් මේ සියලු ක්ෂේත්‍රවලට අලුතින් වැට් බදු පනවා තිබෙනවා. රජයේ වියදම්, ණය ගෙවීම සහ පොලී වාරික ගෙවීම සඳහා මේ වසරේ රුපියල් බිලියන එකොළොස්දහස් පන්සිය දහහතරක් වැය වෙනවා. නමුත් වැට් බද්ද ඇතුළු මේ සියලු පීඩාවන් ජනතාව මත පටවා ලබාගත හැකි මුළු ආදායම රුපියල් බිලියන හාරදහස් එකසිය හැටහතරයි. ණය වාරික ගෙවීම පසෙක තැබුවත් රුපියල් බිලියන හත්දහස් අටසිය විසිහයක් මේ වසරේ වියදම් වෙනුවෙන් අවශ්‍ය වෙනවා. බිලියන 3000කට වැඩි ප්‍රමාණයක් අතිරේක වශයෙන් ණය ගන්න සිදුවෙනවා.

විකිණීමට හේතු දක්වන මහත්වරුන් අපිට කරුණු කිහිපයක් කියනවා. ජනතාවගෙන් එකතු කර ගන්නා බදු ආදායම් පාඩු ලබන රාජ්‍ය ආයතන නඩත්තු කිරීමට වියදම් නොකරන්නේ නම්, සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපන පහසුකම්, ලබාදීමට යෙදවිය හැකි බව කියනවා. ඔය වගේ කතාවක් කියන්නේ අද විතරක් නොවෙයි. යුද්ධය පැවති කාලයේත් ඔය වගේම කතා කීවා. යුද්ධයේදී මල්ටි බැරල් උණ්ඩවලට දවස් 24කදී දරන වියදම නතර කරගතහොත් රෝහල් දෙකක් ඉදිකළ හැකි බව මෛත්‍රීපාල සිරිසේන කීවා. නමුත් එහෙම වුණාද? පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන අද කියන්නෙත් ඒ දේමයි. යුද්ධය අවසන් කළ විට සුඛිත මුදිත වෙන බව කී ඔවුන් අද කියන්නේ රාජ්‍ය ආයතන විකුණා දැමීමෙන් සුඛිත මුදිත විය හැකි බවයි.

ඔවුන් කීවේ භාණ්ඩාගාරයට විශාල වැය බරක් දරන්න සිදුවී තිබෙන ආයතන විකුණූ බවයි. නමුත් ඒ කතාවත් බොරු. ඒ අතරේ පසුගිය වසරේ මිලියන දොළොස්දහසක් ලාභ ලැබූ රක්ෂණ සංස්ථාව, ජාතික ආරක්ෂාවට ඉතා වැදගත් ටෙලිකොම් ආයතනය පසුගිය වසරේ රුපියල් මිලියන 10,000ක් ලාභ ලැබුවා. මේ ආයතනත් විකුණන්න දාලා තිබෙනවා. තරගකාරී බව කියන ගෑස් සමාගම් දෙකෙන් රජයට අයත් සමාගම ජනවාරි 01දා සිට මිල වැඩි කළේ රුපියල් 685කින්. පෞද්ගලික සමාගම රුපියල් 755/-කින් වැඩි කළා. 2023 සැප්තැම්බර් දක්වා රජයේ ගෑස් සමාගම රුපියල් මිලියන 5639ක ලාභයක් ලබා තිබෙනවා. ආණ්ඩුවට ගෑස් සමාගම තිබුණේ නැතිනම් මොකද වෙන්නේ? දැන් රජයේ ප්‍රධාන බැංකු දෙක විකුණන්න ලැහැස්ති වෙනවා. ලංකා බැංකුව සහ මහජන බැංකුවට ලංකාව පුරාම ශාඛා තුන්සිය ගණනක් තිබෙනවා. ඒ අතරින් ශාඛා සියයක් පමණ පාඩු ලබනවා. බැංකු සේවාව ලබාදීමේ වගකීම තිබෙන්නේ රජයට. පෞද්ගලික අංශයේ නම් කරන්නේ යොදවන මුදලට ලාභය උත්පාදනය කර ගැනීමයි. නගරයේ බැංකු ක්‍රියාකාරිත්වයෙන් ලබන ලාභය ගම්වලින් ලබන්නේ නැහැ.

ගිරාඳුරුකෝට්ටේ ලංකා බැංකු ශාඛාව පාඩු ලබනවා. එහෙත් ඒ ප්‍රදේශයේ ජනතාවට බැංකු සේවාව ලබාදෙන්න ඕනෑ. යුද්ධය අවසන් කළ පසු පදවිය බෝගස් හන්දියේ ලංකා බැංකු ශාඛාව ආරම්භ කළේ කන්ටේනරයක් ඇතුලේ. ඒහෙම කළේ, පුරවැසියන්ට බැංකු සේවාව ලබාදෙන්න ඕන නිසා. පෞද්ගලික අංශයේ බැංකු ශාඛා එන්නේ ඊට පසුව. රජයේ ගිණුම් පවත්වාගෙන යන ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ ගිණුම් දෙකේ අයිරාව රුපියල් බිලියන 7000ක් වෙනවා. භාණ්ඩාගාරයේ සල්ලිත් නැතිව තිබියදී තෙල් සංස්ථාවට තෙල් ලබාදෙන්න රාජ්‍ය බැංකු දෙක මැදිහත් වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයටත් එහෙමයි. අපේ වගේ කුඩා ආර්ථිකයක රාජ්‍ය අංශයේ මේ බැංකු පද්ධතිය තියාගන්න ඕනෑ. 2022 ලංකා බැංකුවේ ලාභය බදු ගෙවූ පසුව රුපියල් බිලියන 32යි. බිලියන 13ක් රජයට බදු ගෙවා තිබෙනවා. මහජන බැංකුව බිලියන 14ක ලාභයක් උපයා තිබෙනවා. බිලියන 08ක් බදු ගෙවා තිබෙනවා.
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment