මලිත්තගොල්ල ගම්මානයේ නායයෑම වේගවත් වෙයි

25

ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් සතියක් ඇතුළත වාර්තාවක් ඉල්ලයි

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ගම්මානයේ 25 දා සිට සක්‍රීය වූ නායයෑම මේ වනවිට වේගවත් වී තිබේ.

ගලන ජලය මඩ සහිත හෙයින් නායයෑමේ සක්‍රීයතාවක් ඇතැයි සැක කරන බව පැවසූ බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා මෙම නායයෑම සහ උමාඔය උමං මාර්ගය අතර සම්බන්ධතාවක් තිබේදැයි පුළුල් අධ්‍යයනයක් කර සතියක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් ඉල්ලීමක් කර ඇත.

ගම්වාසීන් පවසන්නේ ගලන ජල ප්‍රමාණය අධික වන බවත් ඒවා ඇල්ල – වැල්ලවාය මාර්ගය අභ්‍යන්තරයෙන් ගලා යන බවත්ය. ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයෑම් අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා නායයෑමේ සක්‍රීයතාව ඉහළ ගොස් ඇති හෙයින් ඇල්ල -වැල්ලවාය මාර්ගය අවහිර වීමේ අවදානමක් ඇති බව පවසයි. ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයෑම් අංශයේ නිලධාරීන් පිරිසක් 27 දා මෙම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. මෙම නායයෑම් සහ උමා ඔය ව්‍යාපෘතිය අතර සම්බන්ධයක් තිබේදැයි සොයා බලා ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් සතියක් ඇතුළත විද්‍යාත්මක වාර්තාවක් ලබාදීමට නියමිතය..

කරදගොල්ල මලිත්තගොල්ල පළමුවරට ඉරිතලා පුපුරායෑමක් සිදු වූයේ 2019 දී බව පැවසූ බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ උදය කුමාර මහතා නායයෑම වේගවත් වුවහොත් කඳු කොටස පාමුල පිහිටි ඇල්ල- වැල්ලවාය පාර වැසී යෑමේ තර්ජනයක් ඇතැයි කියයි.

ජාතික ජනබලවේගය විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමින් නායයෑම පිළිබඳව මෙසේ පැවසීය.

කිසිදු විද්‍යාත්මක පරීක්ෂණයකින් තොරව පරිසරයට කරන බලපෑම් තුළින් සිදුවන විපත් බරපතළ බව අප තේරුම් ගත යුතුයි. උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මේ වන විට ඉරිතලා හානියට ලක් වූ මුළු නිවාස ප්‍රමාණය 13763 ක්. සහමුලින්ම නිවාස හානි වී ඉවත් කළ පවුල් සංඛ්‍යාව 506 ක්. පාරිසරික මිතුරු සංවර්ධනයක් රටකට අවශ්‍යයි. පාරිසරික සතුරු සංවර්ධනය සැබෑ සංවර්ධනය නොවෙයි.

බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment