දකුණු ආසියාවේ ලොකුම සමාධි පිළිමය ඉදිකරන්න පාරමිතා පුරන හාමුදුරුවෝ

711

ගමන් පහසුව පිණිස යොදාගත් මෝටර් රථය රක්ෂණ සමාගමකට පවරලා!

එලීනාගේ මඟපෙන්වීමත් සහයෝගය සහ අනුබලය මගේ මුළු ජීවිතයම ආරක්ෂා කළා. මගේ මරණයෙන් පසු සෑම කටයුත්තක්ම මගේ මැතිනියගේ කැමැත්ත අනුව සිදුවිය යුතුයි”.

ඉහත උපුටා දක්වන ලද්දේ මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතා සිය විවාහයෙන් වසර 20කට පසු එතුමන්ගේ ආර්යාව වූ එලීනා ජයවර්ධන මහත්මිය පිළිබඳ තැබූ සටහනකි. එකල සුප්‍රසිද්ධ වැවිලිකරුවකු, ව්‍යාපාරිකයකු, ප්‍රසිද්ධ නොතාරිස්වරයකු වූ ගිල්බට් ලෙනාඩ් රූපසිංහ සහ නැන්සි මාග්‍රට් සූරියබණ්ඩාර යුවළට උපන් එකම දරුවා වූ එලීනා ජයවර්ධන යනු මෑතකාලීනව මෙරට සිංහල බෞද්ධ පරිසරයක උපන් උතුම් කාන්තා රත්නයක් බව තහවුරු කිරීම පිණිස ඉහත උපුටනය වුවද ප්‍රමාණවත්ය.

දකුණු ආසියාවේ ලොකුම සමාධි පිළිමය ඉදිකරන්න පාරමිතා පුරන හාමුදුරුවෝ
අරන්තලා භික්ෂු සංහාරයේදී අපවත්වී වදාළ සිය ගුරු දේවෝත්තම හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමිපාණන්ගේ ශ්‍රී දේහයට සොවින් තැවෙන එවකට තරුණ භික්ෂුවක් වූ බෙලිගල අමරසිරි හිමිපාණන්

හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධනගේ ප්‍රාණ සම බිරිඳ වූ එලීනා ජයවර්ධන යනු මෙරට ජනතාව දුටු නිහතමානිත්වයේ ප්‍රතිමූර්තිය විය. ඇය තුළින් දිස්වූයේ ජනපති ආර්යාවක් පමණක් නොව මවක්, බිරිඳක් සහ විරල මානුෂීය ගුණාංගයන්ගෙන් පිරුණ බෞද්ධ කාන්තාවකගේ ගති ලක්‍ෂණය. උපතින්ම ධනවත් පවුල් පසුබිමක් සහිත කාන්තාවක් වූ එලීනා ජයවර්ධනයන් පසු කලෙක තම ස්වාමිපුරුෂයා වූ ජේ. ආර්. ජයවර්ධන ගේ එකඟතාවය මත තමන් සතු වස්තු සම්භාරයෙන් විශාල ප්‍රමාණයක් මහජන සුබසෙත පිණිස යෙදවීමට තරම් පින්බර කාන්තාවක් ලෙස ද ප්‍රකට විය.

දකුණු ආසියාවේ ලොකුම සමාධි පිළිමය ඉදිකරන්න පාරමිතා පුරන හාමුදුරුවෝ
දිවංගත ජේ. ආර්. ජයවර්ධන ජනපතිතුමන්
සහ ජනාධිපති ආර්යාව වූ එලීනා ජයවර්ධන මැතිනිය

කැලණිය මානෙල්වත්ත ගොඩනැඟිලි කීපයකින් සමන්විත අක්කර 40 ක සරුසාර පොල්වත්ත බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරන ඇය ‘ජෙස්මින් වලව්ව’ කැලණිය ප්‍රදේශයේ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑම වෙනුවෙන් වෙන්කරන්නීය. වත්මන් ධර්මාලෝක විද්‍යාලය පවත්වාගෙන යන්නේ එහිය. සිංහල බෞද්ධ පුනරුදය පිණිස ජේ. ආර්. ජයවර්ධන යුවළ විසින් මෙවැනි පරිත්‍යාග රැසක් සිදුකර තිබෙන අතර එම පරිත්‍යාගයන් අතරින් බොහොමයක් සිදුකරනු ලැබුවේ ඓතිහාසික කැලණිය ප්‍රදේශය මුල්කර ගනිමින්ය. බියගම සියඹලාපේ හන්දිය සහ පේරගහමුල ප්‍රදේශය අතර උස් බිමක පිහිටි අක්කර දහයක පමණ භූමි ප්‍රදේශය ද ශාසනික අභිවෘද්ධිය පිණිස පූජා කරනු ලබන්නේ ද ජේ. ආර්. ජයවර්ධන යුවළ විසිනි. එවකට එහි ආරාමාධිපති ලෙස කටයුතු කළ සුධර්මා සිල් මෑණියන්ගේ අවසන් ඉල්ලීමට අනුව නිවන්දම සුචිත්‍රා සිල් මාතාව හා එවකට විහාරමහා දේවි පාලක මණ්ලෙයේ සාමාජික සාමාජිකාවන් විසින් පසු කලෙක මෙම ආරාමභූමිය ශ්‍රී නන්දාරාම විහාරාමාධිපති බියගම ත්‍රෛනිකායික භික්ෂු සංවිධානයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රවේදී පණ්ඩිත බෙලිගල අමරසිරි හිමිපාණන් ඇතුළු උන්වහන්සේගේ ශිෂ්‍ය හිමිවරුන් උදෙසා පූජා කරන අතර එහි ස්වර්ණමය යුගය ආරම්භ වන්නේ ඉන් අනතුරුවය.

1987 වර්ෂයේ අරන්තලාව භික්ෂු ඝාතනයෙන් දිවි බේරාගත් බෙලිගල අමරසිරි හිමිපාණන් යුද්ධයෙන් අසරණ වූ මායිම් ගම්මාන දරුවන් තම විහාරස්ථානයට ගෙන්වා ඔවුන්ට රැකවරණය හා අධ්‍යාපනය ලබාදෙමින් රටට වැඩදායී පුද්ගලයන් බවට පත්කිරීමට ඉමහත් වෙහෙසක් ගත් හිමිනමක් ලෙස ද බොහෝ දෙනෙකුගේ ගෞරවාදරයට ලක්ව ඇත. උන්වහන්සේගේ මුල් විහාරස්ථානය වන යබරළුව ශ්‍රී නන්දාරාම විහාරස්ථානයට අනුබද්ධ අමර ශ්‍රී පුනරුත්ථාපන ළමා නිවාසය ස්ථාපනය කර එම දරුවන්ට රැකවරණය ලබාදෙන අමරසිරි හිමිපාණන් ඈත දුෂ්කර ගම්මාන කරා වැඩම කරමින් අසරණ පවුල් වෙනුවෙන් නිවාස තනාදීම, වියළි ආහාර ලබාදීම, පෙර පාසල්, දහම් පාසල් දරුවන්ට අවශ්‍ය පොත්පත් ආදිය ලබාදීම, සෑම වර්ෂයකම නොකඩවා සිදුකරන අතර සමාජ සත්කාරයක් බවට පත්ව ඇත. එපමණක් නොව බියගම ප්‍රදේශයේ සිදුකරන පොදු සමාජ කටයුතු ආදියෙහි පෙරමුණ ගෙන ක්‍රියාකරන යතිවරයාණන් වහන්සේ නමකි.

දකුණු ආසියාවේ ලොකුම සමාධි පිළිමය ඉදිකරන්න පාරමිතා පුරන හාමුදුරුවෝ
පූජ්‍ය බෙලිගල අමරසිරි හිමිපාණන්

වත්මන් විහාරාධිපති බෙලිගල අමරසිරි හිමිපාණන්ගේ මෙහෙයවීම සහ මඟපෙන්වීම මත වල්බිහිව යමින් පැවති විහාර මන්දිරය, චෛත්‍ය ඇතුළු අනෙකුත් සියලු අලුත්වැඩියා කටයුතු සිදුවෙන අතර විහාරස්ථානයට පිවිසෙන ප්‍රධාන ප්‍රවේශ මාර්ගය අභියස දක්නට ලැබෙන දර්ශනීය වාහල්කඩ සහිත ප්‍රාකාරය අයත් වන්නේ අලුතින් කරන ලද නිර්මාණ අතරටය. මේ වනවිට සිත නිවන පින් බිමක් වන එම විහාරස්ථානය නම් කරනු ලබන්නේද අතීතයේ එහි වැඩ වාසය කළ උතුම් ශීලයෙන් පොහොසත් සුධර්මා මෙහෙණින් වහන්සේගේ නමින්ය.

ඒ අනුව බියගම ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානය යනු මේ වනවිට ප්‍රදේශයේ ආගමික ශාසනික උන්නතිය වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටු කරන බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස බොහෝ පිරිසකගේ ගරු බුහුමනට ලක්ව ඇත. වත්මන් විහාරාධිපති බෙලිගල අමරසිරි හිමිපාණන්ගේ අදහසකට අනුව මෙම පුණ්‍ය භූමිය මුල්කර ගනිමින් සිරිමත් ඉදිකිරීමක් පිණිස මේ වනවිට මූලික අඩිතාලම සකස්කොට තිබෙන අතර එය සැබෑවක් බවට පත්වන දිනක දකුණු ආසියාවේ විශාලතම සමාධි බුදු පිළිමවහන්සේ දැක ගැනීමේ දුර්ලබ භාග්‍ය ශ්‍රී ලාංකික අපට සතුවනු ඇත.

2600 වැනි බුද්ධ ජයන්තියට සමගාමීව එම රමණීය ඉදිකිරීම පිණිස ආරම්භය ලබාගන්නා අතර මේ වනවිට එම බුද්ධ ප්‍රතිමාවේ පද්මාසනය දක්වා ඉදිකිරීම් සිදුකර ඇත. රට තුළ පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ මෙම සිරිමත් පිළිම වහන්සේ ඉදිකිරීම් කටයුතු වරින් වර ඇනහිට ඇතත් අමරසිරි හිමිපාණන්ගේ ඇරමුණ බවට පත්ව ඇත්තේ ජනතාව මත වැඩි බරක් නොතබමින් එහි ඉදිකිරීම් යළි ආරම්භ කිරීමය. එයට පූර්වාදර්ශයක් සපයන උන්වහන්සේ තම ගමන් පහසුව පිණිස ඇති මෝටර් රථය රක්ෂණ සමාගමක් වෙත පවරමින් එම මුදලින් පිළිම වහන්සේගේ පද්මාසනය දක්වා ඉදිකිරීම් සිදු කිරීමට පියවර ගෙන ඇත. එළඹෙන 2023 වර්ෂයේදී බුද්ධ ප්‍රතිමාව ඉදිකිරීම පිණිස සුභ නැකතින් මුල්ගල තැබීම උන්වහන්සේගේ අදහස බවට පත්ව ඇත. එලෙස ආරම්භ කරන මෙම විසල් ඉදිකිරීම මහපොළොව මත යථාර්ථයක් බවට පත්කර ගැනීම පිණිස උන්වහන්සේ විසින් ඔබ, අපගේද සහයෝගය අපේක්‍ෂා කර සිටින්නේය. ඒ සඳහා නිහඬව පින් පුරන ඔබටද දායකවීම පිණිස ‘බියගම බුදුරුව සංවර්ධන අරමුදල’ නමින් ශ්‍රී සුධර්මාරාම මහා විහාර කාර්ය සාධක සමිතිය විසින් ගිණුමක් ආරම්භ කර ඇත. ලංකාවේ ඕනෑම මහජන බැංකු ශාඛාවක් තුළින් ඒ සඳහා මුදල් තැන්පත් කළ හැකි අතර, මල්වාන මහජන බැංකු ශාඛාවේ අංක 191200150019339 දරන ගිණුමට මුදල් තැන්පත් කිරීම තුළින් මෙම මහඟු පුණ්‍යකර්මය පිණිස ඔබටද දායකත්වය ලබාදිය හැක.

දකුණු ආසියාවේ ලොකුම සමාධි පිළිමය ඉදිකරන්න පාරමිතා පුරන හාමුදුරුවෝ
සුධර්මා භික්ෂුණීන් වහන්සේ

සමස්ත ශ්‍රී ලාංකාවට අභිමානයක් මෙන්ම සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය පිණිසම ඉදිකිරීමට නියමිත එම පිළිම වහන්සේ උදෙසා ගඩොලක් පූජා කිරීමට සිත් පහළවන අයෙක් වේ නම් එපමණකින් වුවද ඒ සඳහා දායකත්වය ලබාදීම තුළ ඉදිරියේදී එම අසිරිමත් ඉදිකිරීම කඩිනම් වන බව සඳහන් කර සිටින විහාරාධිපති පූජ්‍ය බෙලිගල අමරසිරි හිමිපාණන් වහන්සේ අවසන් වශයෙන්ද සඳහන් කර සිටින්නේ විසල් දාගැබ්, වැව්, පොකුණු තැනූ ජාතියක් ලෙස ලොවක් හමුවේ විස්කම් දැක්වූ ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුකම තුළින් තම අරමුණ ඉටුකර ගැනීම තමන් වහන්සේගේ එකම අපේක්ෂාව බවට පත්ව ඇති බවත්ය.

රුවන් ජයවර්ධන
පසුබිම් වාර්තා – බියගම සුදත් පුබුදු කීර්ති
දෙල්ගොඩ – ඩබ්. ඩී. එම්. විතාන

advertistmentadvertistment
advertistmentadvertistment