කෝටිපතියන්ගේ කෝටි ගණන් පිල්ලි ඇරපු ‘මැඩම්’

2027

කෝටි ප්‍රකෝටි වලින් මුදල් වංචා කළ සක්විති ගණයේ කාන්තාවක්…
දේශපාලනඥයන්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්, වෛද්‍යවරු, මහාචාර්යවරුනුත්
ඇයගේ ඇමට හසුවෙලා…
ප්‍රකෝටිපතියන් බියවැද්දුවේ ප්‍රසිද්ධ නිළියක් යොදාගෙන
සැකකාරිය ගමන් බිමන් යන්නේ අවිගත් ආරක්ෂකයන් සමග…

තිළිණි පියමාලි මෙරට එක් රැයකින් ජනප්‍රිය වූ කාන්තාවකි. ඒ ස්ටාර් තරග වැනි ජනප්‍රිය වැඩසටහනක් ජයග්‍රහණය කර නොව සක්විති පන්නයේ මුදල් වංචාවක් සිදු කරමිනි. එලෙස මෙම සැකකාරිය රුපියල් කෝටි ගණනක මුදල් මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, වෛද්‍යවරුන් ආදී පුද්ගලයන්ගෙන් ලබාගෙන තිබුණි. එම කතාව සැකවින් මෙසේය.

තිළිණි රූමත් මෙන්ම කට්ට කෛරාටික තරුණියකි. වත්තල ප්‍රදේශයේ හැදී වැඩුණු ඇයට අවශ්‍ය වූයේ සුපිරි පන්නයේ ජීවිතයක් ගත කිරීමටයි. එහෙත් ඒ සඳහා අවශ්‍ය මුදල් හදල් ඇය ළඟ නොතිබුණි. එම නිසා කලක සිට ඇය මෙලෙස කල්පනා කළාය. “ජීවත් වෙලා ඉන්න කාලේ හොඳට කාලා බීලා ඇඳලා ඉන්න ඕනා. ඒකට සල්ලි ටිකක් හොයාගන්න ඕනා ඉතා ඉක්මනින්. බිස්නස් කරලා එකපාරටම සල්ලි හොයන්න බැහැ. එක නිසා මොකක් හරි ආයෝජන වැඩක් පටන් ගන්න ඕනා. එහෙම එකක් පටන් ගත්තොත් සල්ලි දාන අය මට හොයාගන්න පුළුවන්. හොඳ පොලියක් දෙනවා කිව්වහම අඳුරන් නැති අයත් සල්ලි දේවි. මේක තමයි මට ඉක්මනින්ම කෝටිපතිනියක් වෙන්න තියෙන අවස්ථාව.”

ඒ අනුව තිළිණි තිකෝ නමින් මූල්‍ය ආයතනයක් පටන් ගැනීමට තීරණය කළාය. ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහල කුලියට ගත් ඇය තම ව්‍යාපාර ස්ථානය එහි පවත්වාගෙන ගියාය. ව්‍යාපාරය ආරම්භ කර මාස කීහිපයක් ගිය තැන ඇයට මෙරට ප්‍රසිද්ධ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් දැන හඳුනා ගැනීමට හැකිවූවාය. ඇය ඔවුන් සමඟ සාකච්ඡා කර තම මූල්‍ය ආයතනයේ වැඩි පොලියක් ලබාදීමේ පොරොන්දුව මත කෝටි ගණනක මුදල් තැන්පත් කර ගත්තාය. ඇයගේ රූපයට සහ වචනයට රැවටුණ එම ව්‍යාපාරිකයන්ද කිසිදු බියක් සැකක් නොමැතිව ඇගේ මූල්‍ය ආයතනයේ කෝටි ගණනින් මුදල් තැන්පත් කළේය.

මාස කිහිපයක් ගත විය. ඇයගේ මූල්‍ය ආයතනයට විවිධ පුද්ගලයන් මුදල් ආයෝජනය කිරීමට පටන් ගත්තේය. ඒ සමගම ඇය තම ව්‍යාපාරය තවත් පුළුල් කිරීමට තීරණය කළාය. ඒ අනුව ඇය තිකෝ සමූහ ව්‍යාපාරය යටතේ මැණික්, ගොඩනැගිලි ඉදිකිරීම්, ස්වර්ණාභරණ, චිත්‍රපට නිෂ්පාදන, ඉඩම් මිලදී ගැනීම් හා වෙන්දේසි කිරීම්වලට අදාළ සමාගම් හයක් ද ලියාපදිංචි කර තිබුණි. මෙලෙස ව්‍යාපාර ලියාපදිංචි කර ප්‍රසිද්ධ කිරීම තුළින් ඇයට තව තවත් ආයෝජකයන් සොයාගැනීමට හැකි වූවාය.

කෝටි ගණන් සල්ලි ලැබීමත් සමග ඇය අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට පටන් ගත්තාය. නවීන පන්නයේ යාන වාහන, නිවාස ආදිය ඇය එම මුදල් වලින් මිලදී ගත්තාය. එයට අමතරව ඇය පෞද්ගලික ආරක්ෂක සමාගමකින් ගිනි අවි සහිත හැඩි දැඩි ආරක්ෂකයන් කිහිපදෙනකුද ලබාගත්තාය. ඉන්පසු ඇය තම සියලු ගමන් බිමන් ගියේ එම ගිනි අවි සහිත ආරක්ෂකයන් සමගින් ය. කොටින්ම කියතහොත් ඇයට වුවමනා වූයේ තමා ප්‍රභූ කාන්තාවක් බව රටට පෙන්වීමටයි. ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා ඩුබායි රාජ්‍යයේද ව්‍යාපාරික ස්ථානයක් ඇය පටන් ගත්තාය.

කලක් යද්දී මෙම කාන්තාවට මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්, ක්‍රීඩකයන්, දේශපාලනඥයන්, වෛද්‍යවරුන්, හිමිවරුන්, නළු නිළියන් ආදී ප්‍රභූ පිරිස් තව තවත් හඳුනා ගැනීමට හැකි වූවාය. ඒ අතර ඇය එම පිරිසට තරු පහේ හෝටල්වල විවිධ ප්‍රියසම්භාෂණ ආදියටද ආරාධනා කළේ ලක්ෂ ගණන් මුදල් වියදම් කරමින්ය. ඇය එලෙස සිදු කළේ ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීම සඳහාය.

ඇයට රැවටුණු ප්‍රවීණ රංගන ශිල්පියකු හා හිටපු කැබිනට් ඇමැතිවරයෙකු රුපියල් මිලියන 100 ක මුදලක් ඇය ළඟ ආයෝජනය කළේය. එයට අමතරව හිටපු ආණ්ඩුකාරවරයෙකු රුපියල් කෝටි 80 ක මුදලක්ද කිසිදු බියක් සැකක් නොමැතිව ඇයගේ මූල්‍ය ආයතනයේ ආයෝජනය කළේය. එයින් නොනැවතුණු මෙරට ප්‍රසිද්ධ අංක එකේ ව්‍යාපාරිකයෙකුද රුපියල් කෝටි ගණනක මුදලක් ඇය ළඟ තැම්පත් කළේ වැඩි පොලී අනුපාතයක් ලබා ගැනීමේ අරමුණින්ය. එම පුද්ගලයන්ට අමතරව ක්‍රිකට් ක්‍රීඩකයෙකු, මෙරට ජනප්‍රිය ආචාර්ය උපාධිධාරියකු, ප්‍රසිද්ධ හිමිවරුන් ඇතුළු තවත් ව්‍යාපාරිකයන් සහ ප්‍රභූ පිරිස් කෝටි ගණන් වලින් මුදල් ඇයගෙ මූල්‍ය ආයතනයේ තැන්පත් කළහ. පිටකොටුවේ ප්‍රසිද්ධ ජංගම දුරකථන අලෙවි සලක හිමිකරුවෙකුද මිලියන හතළිහක් තැන්පත් කළේ වැඩි පොලී අනුපාතයක් ලබා ගැනීමේ අරමුණින්ය.

තම තිකෝ මූල්‍ය ආයතනයේ මුදල් ආයෝජනය කරන පුද්ගලයන්ට කලක් යද්දී පොලී අනුපාත ගෙවීමට නොහැකි වන බව ඇය කල්තියාම දැන ගත්තාය. ඒ සඳහා පෙර සිටම ඇය සූදානම් වූවාය. ඒ මෙරට ජනප්‍රිය නිළියක් යොදා ගනිමින්ය.

ඇය එම නිළිය යොදාගෙන මෙම ප්‍රකෝටිපතියන් සමඟ කතා කරන ලිංගික කරුණු ඇතුළත් සංවාද පටිගත කරගත්තාය. ඒ සඳහා රුපියල් ලක්ෂ 10 ක පමණ මුදලක් එම නිළියට ලබා දී ඇත. නිළියට අමතරව මෙම කාන්තාව ද සමහර ප්‍රකෝටිපතියන් සමග ලිංගිකව හැසිරී ඒවා හොර රහසේ වීඩියෝ කර ඇති බවට අනාවරණය වෙමින් තිබේ.

ඇයගේ අත්තනෝමතික මුදල් වියදම් කිරීම නිසා ටික කලක් ගත වෙද්දී එම ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්ගේ මුදල්වලට අදාළ පොලී ගෙවීමට ඇයට නොහැකි වූවාය. ඒ පිළිබඳව එම ව්‍යාපාරිකයන් විමසූ විට ඇය ඔවුන් බියට පත්කළේ තමන් ළඟ ඇති වීඩියෝ පට සහ ප්‍රසිද්ධ නිළිය සමග ලිංගිකව හැසිරීමට අදාළ හඬ පට ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින්ය.

ආයෝජකයන් අඩුවීම නිසා ඇය තවත් විවිධ කූට උපක්‍රම වලින් මුදල් සෙවීමට කටයුතු කළාය. කොළඹ නගරයේ අතිසුඛෝපභෝගී සුපිරි මහල් නිවාස ලබා දෙන බව පවසමින්ද ඇය විවිධ පුද්ගලයන්ගෙන් කෝටි ගණන් මුදල් ලබා ගෙන තිබුණාය. තවද රත්තරන් පොලු ලබාදෙන බව පවසමින් හිමිවරුන් කිහිප දෙනකුගෙන්ද අති විශාල මුදලක් ඇය ලබාගත්තාය. තවත් ව්‍යාපාරිකයෙකු කඩවත ප්‍රදේශයේ විහාරස්ථානයකට රැගෙන ගොස් රත්තරන් දෙනවා යැයි පවසා කෝටි ගණනක මුදලක් ලබා ගෙන තිබුණාය. තවද ඇය සමාජයේ බලවත් කාන්තාවක් ලෙස පෙනී සිටීම නිසා රැවටුණු පිරිස්ද ඇගේ සමාගමේ මුදල් ආයෝජනය කළේය.

එයට අමතරව තවත් චිත්‍රපට නිෂ්පාදකයන් සහ නළු නිළියන් ඇතුළු විවිධ පිරිස් නන් අයුරින් රවටා කෝටි ගණන් වලින් මුදල් ලබාගත්තාය. පසුගිය වසරේ අප්‍රේල් මස පුබුදු චතුරංග අධ්‍යක්ෂණය කළ “මායා 2” සිංහල චිත්‍රපටයේ මුහුරත් උළෙල අති උත්කර්ෂවත් අන්දමින් ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වූයේ ඇයගේ චිත්‍රපට නිෂ්පාදන සමාගම හරාය. එම උත්සවයේ නර්තන අංග දෙකක් සඳහා මෙරට ජනප්‍රිය වූ “ප්‍රේම දඩයම” නමැති නාට්‍යයේ ශිවන්‍යාගේ චරිතය රඟපෑ නිළිය වූ “මෞනි රොයිව” ගෙන්වා තිබුණේ කෝටි දෙකකට ආසන්න මුදලක් වියදම් කරමින්ය.

දැනට මාස කිහිපයකට ඉහතදී හිටපු ආණ්ඩුකාර අසාද් සාලිගේ නිවස තුළදී අබ්දුල් සත්කාර් නැමැති ව්‍යාපාරිකයකු ඇයට දැන හඳුනා ගැනීමට හැකි වූවා ය. එම ව්‍යාපාරිකයා සමඟ ඉතා කුළුපග වූ ඇය රුපියල් මිලියන 226 කට අධික මුදලක් ආයෝජනවලට යැයි පවසමින් ලබාගත්තාය. එයින් නොනැවතුණු ඇය කමල් හසන් නමැති ව්‍යාපාරිකයෙකුගෙන්ද මෙරටට ඉන්ධන ගෙන්වීමට ඩොලර් අවශ්‍යයි පවසමින් ඇමරිකානු ඩොලර් හැට දහසක් සහ ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක් ලබාගෙන තිබුණාය. එයට අමතරව එම මෙම ව්‍යාපාරිකයාගෙන් භාණ්ඩද වංචා සහගත ලෙස ලබාගෙන තිබුණි.

මාසයකට පමණ පසු එම ව්‍යාපාරිකයන් දෙදෙනා තමන්ගේ ලාභ සහ පොලී අනුපාත පිළිබඳව දිගින් දිගටම ඇයගෙන් විමසූහ. එහිදී ඇය නොයෙක් හේතු පවසමින් පොලී අනුපාත සහ ලාභ ලබා දීම ඇය මග හැරියාය. අවසානයේ බැරිම තැන එම ව්‍යාපාරිකයන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඇය පිළිබඳව පැමිණිල්ලක් දැමූහ. ඒ පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඇය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළහ. එහිදී අනාවරණය වූයේ ඇය මෙරට ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් වංචා සහගත ලෙස මුදල් ලබාගෙන මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යන බවයි. ඒ අනුව එම නිලධාරීහු සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකාර කාන්තාව වත්තල ඇවරිවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්හ.

අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඇය මෙරට කෝටිපති ව්‍යාපාරිකයන්, කලාකරුවන්, දේශපාලනඥයන්, වෛද්‍යවරුන් ඇතුළු නොයෙකුත් පුද්ගලයන් වංචනික ලෙස රවටා කෝටි ගණන් මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී. ඇය අත්අඩංගුවට ගත් පුවත ආරංචි වූ සැණින් තවත් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් ඇයට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ. තවද මෙම සැකකාර කාන්තාව මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන් රැසක් ලිංගික හඬ පට සහ වීඩියෝ පට ළඟ තබාගෙන බිය වද්දා ඇති බවට ද අනාවරණය වී තිබේ. ඒ පිළිබඳවද විමර්ශනයක් අරඹා තිබේ.

තිළිණි පියමාලි නමැති මෙම සැකකාරියගේ තිකෝ සමූහ ව්‍යාපාරය යටතේ සේවය කරන ලද කාර්ය මණ්ඩලයේ පිරිසක් ද සෘජුවම මෙම වංචාවන්වලට සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. එම පිරිස් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක් රවටා මහා පරිමාණයෙන් මුදල් වංචා කළ තිකෝ සමූහ ව්‍යාපාරයේ අධිපතිණිය වන තිළිණි පියමාලි නමැති මෙම සැකකාර කාන්තාව කොළඹ කොටුව අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේ ලබන මස 19 වැනිදා දක්වා ඇයව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මේ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරති.

පුදුමයට කරුණ වන්නේ ප්‍රකෝටි ගණන් වලින් මුදල් වංචා කළ මෙම සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇයගේ ගිණුම් වල තිබී ඇත්තේ රුපියල් 30000 සහ 65000 ක මුදලක් පමණි.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment