පුරමු අපි දස පාරමී

319

බුදු, පසේ බුදු, මහරහතන් යන උත්තරීතර පදවි ලැබීමට සම්පූර්ණ කළ යුතු පාරමිතා දහයක් (10) තිබේ. එම පාරමිතා දස පාරමී දස උපපාරමී දස පරමත්ථ පාරමී වශයෙන් තිහකට (30) බෙදේ. එම පාරමිතා නම්

  1. දාන පාරමිතාව, 2. සීල පාරමිතාව, 3. නෙක්ඛම්ම පාරමිතාව, 4. පඤ්ඤා පාරමිතාව, 5. වීර්යය පාරමිතාව, 6. ක්ෂාන්ති පාරමිතාව, 7. සත්‍යය පාරමිතාව, 8. අධිෂ්ඨාන පාරමිතාව, 9. මෛත්‍රී පාරමිතාව, 10. උපෙක්ඛා පාරමිතාව වේ.

භෞතික සාමාන්‍ය වස්තු කැප කරමින් කටයුතු කිරීම පාරමිතා වන අතර ශරීර අවයව පවා කැප කරමින් කටයුතු කිරීම උප පාරමිතා නම් වේ. තම ජීවිතය, දූ දරුවන්ගේ ජීවිත පවා පරදුවට තබා ගුණ දහම් ප්‍රගුණ කිරීම පරමත්ථ පාරමී නම් වේ. මහා බෝධී පාරමී, පච්චේක බෝධි පාරමී, ශ්‍රාවක බෝධි පාරමී වශයෙන් පාරමිතාවෝ තුන් ආකාර වේ. සම්මා සම්බුද්ධත්වය, පසේ බුද්ධත්වය, මහරහතන් ලෙස තුන්තරා බෝධියට පත්වීම විෂයෙහි සිදුකරනු ලබන පාරමී ධර්මවල පරිමාව වෙනස් වේ. හොඳ යැයි සම්මත ක්‍රියාවක් නැවත නැවත සිදුකිරීම පාරමී නම් වේ. ‘පාර’ යනු එගොඩ ඉවුරට නමකි. නිර්වානය සසර පරතෙරයි. ඊට හේතුවන ධර්ම පාරමී නම් වේ. ‘පරම’ යනු උත්තම යන අර්ථ දෙයි. දාන ශීලාදී ගුණයන් නිසා බෝසතුන් අන්‍යයන්ට වඩා උසස් වේ. ‘පරම’ යන්න බෝසත් ක්‍රියාවෝ බැවින්ද එය නිවනට හේතුවන බැවින්ද එම ක්‍රියා පාරමී නම් වේ. චරියා පිටක අටුවාව මෙම පාරමිතා ධර්ම පිළිබඳ ඉතා දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කර කරයි. නිවන අරමුණ කරගෙනම කරන ක්‍රියා පමණක් පාරමිතා ගණයට වැටෙන අතර කීර්ති ලාභපේක්‍ෂාවෙන් කෙරෙන ක්‍රියා මේ ගණයට නොවැටේ. එසේම අන්‍යයන් පැරදවීමට මුළා කිරීමට තම උසස් බව ධනවත් බව, බලවත් බව, ප්‍රදර්ශනය කිරීමට යටත් කර ගැනීමේ අදහසින් කරන පින්කම් පාරමී ගණයට නොවැටේ. පින සහ කුසලය අවබෝධ කොට ගනිමින් යහපත් ක්‍රියාවන්වල යෙදීම තුළින් මෙම මාර්ගය හඳුනාගත හැකිය. ලෞකික අරමුණු සසර සැප විපාක බලාපොරොත්තුවෙන් ලෝභාදී චෛතසික සහිතව කරන ක්‍රියා පිං වන අතර නිවන අරමුණු කර ගනිමින් භෞතික සැප සම්පත් බලාපොරොත්තු නොවී සිදුකරන ක්‍රියා කුසල් වේ. සෑම කුසලයක්ම පිනක් වන අතර සෑම පිනක්ම කුසලයක් නොවේ. පින භවයේ හට ගැනීම සඳහා හේතුවන අතර කුසලය භව නිරෝධයට හේතුවේ. පාරමී ගණයට වැටෙනුයේ මෙම කුසල ක්‍රියාවන්ය. බුදු කෙනෙකු අඩුවක් නැතිව දාන ශීලාදී පාරමිතා තිහ (30) සම්පූර්ණ කළ යුතු අතර අනෙක් බෝධීන් සඳහා එය වෙනස් වේ.

පාරමී ධර්ම පිරීමේදී බුදු බව පතන බෝධි සත්ත්වයන් අෂ්ටාංග සමෝධානයෙන් යුතුව බුදු බව පැතිය යුතුය. එසේ නොමැති මහා පුරුෂයන්ට බුදුවරු නියත විවරණ ලබා නොදෙති. අෂ්ටධර්ම සමෝධානයෙන් බුදු බව පතන තැනැත්තාගේ බුදුවීමේ බලාපොරොත්තු බුදුවන තුරුම නැති නොවේ. එම කුසල් සිතින් යුක්ත වූ විට එම උත්තමයෝ නොනැවතී සම්බෝධිය පිණිසම පියවර තබති. එම අෂ්ට ධර්ම සමෝධානය නම්

  1. මිනිස් භවයක් ලබා තිබීම. බුදුවන්ගේ මිනිසෙකුය. අන්‍ය සත්ව කෙනෙකුට එය කළ නොහැකිය.දෙවියන් බ්‍රශ්මයන් බුදු නොවේ.
  2. පිරිමි භවයක් ලබා තිබීම බුදුවන්නේ පිරිමියෙකි. ස්ත්‍රි හෝ නපුංසක සත්වයෝ එය නොලබති. බුදු බව පතන ස්ත්‍රීන් පවා පිරිමි භවයක් පතා පින්කොට පිරිමියෙකුව සිට බුදුබව ප්‍රාර්ථනා කළ යුතුය.
  3. රහත් විය හැකි තරමට පින දියුණු වී තිබීම. සුමේධ තාපසයන්ට ඒ ජාතියේදීම රහත්ව දීපංකර සාසනයෙහිදීම නිවන් අවබෝධ කර ගැනීමට තරම් පින දියුණුවී තිබුණි.
  4. ලොව්තුරා බුදු කෙනෙකු මුණගැසීම. ලොව්තුරා බුදුවරයෙකු හමුවෙහිම බුදු බව ප්‍රාර්ථනා කළ යුතුය. සුමේධ තාපසතුමා දීපංකර බුදුරදුන් හමුවෙහි බුදුබව පැතූහ.
  5. පැවිදිව සිටීම. බුදුබව පතන්නා පින් පව් කුසල් අකුසල් පිළිගන්නා බුදු සසුනෙහිම හෝ තාපස නිකායක පැවිදිව සිටිය යුතුය.
  6. ධ්‍යානාදී ගුණ ඇති බව. ගුණ සම්පත්තියෙන් තොරව බුදුබව ප්‍රාර්ථනා නොකළ යුතුය.
  7. අධිකව පරිත්‍යාග කළ යුතුය. භෞතික දේ මෙන්ම ජීවිතයද පරිත්‍යාග කිරීමට හැකියාව තිබීම.
  8. බුදුවීම පිළිබඳ මහත් ඕනෑ කමක් තිබීම. චන්දය හෙවත් කැමැත්තක් සසර හැම භවයකදීම තිබිය යුතුය.

මෙම කරුණුවලින් යුතුව දස පාරමිතා, උප පාරමිතා හා පරමත්ථ පාරමිතා පුරන බෝසතුන් බුද්ධත්වයට පැමිණේ. මෙම බුද්ධංකුර ධර්මයෝ ආර්ය ලාභයට මග වේ.

සංස්කරණය – නිශාන්ත අමරසිංහ
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment