බෝම්බයෙන් විනාශ වූ ඉඩමක් පිං බිමක් වූ හැටි

139

කවදත් ඉඩක් ලැබුණු විට පන්සලේ ලොකු හාමුදුරුවෝ බැහදකින්නට යෑම කුඩා කල සිටම මගේ පුරුද්දක් වී තිබිණි. නිතරම පොත් ලියන ලොකු හාමුදුරුවෝ අසලට ගොස් ප්‍රශ්න කිරීම මගේ සිරිතක්ව තිබිණි. එමෙන්ම මගෙන් ප්‍රශ්න කිරීම ද උන්වහන්සේගේ සිරිතයි. දිනක් මා පන්සලට යනවිට උන්වහන්සේ පොත් මේසය අසල දකින්නට ලැබුණේ නැත.

“ලොකු හාමුදුරුවනේ”…. මම උස් හඬින් ඇමතුවෙමි.

පොඩ්ඩෝ…. ටිකක් මෙහාට ආවා නම්, ලොකු හාමුදුරුවෝ සැනින් කියනු ඇසිණි.

මම උන්වහන්සේ හුන් දෙසට ගියෙමි. උන්වහන්සේ ඈත බලමින් හිඳිනු දක්නට ලැබිණි.

“අපේ හාමුදුරුවනේ ‘ඉස්සර දූව වත්ත’ නේද ඒ කියන්නේ” මම විමසුවෙමි.

“ඔව්. ඒකට “ඊශ්වර දූව වත්ත කියලත් කියනවා”

මෙච්චර ලස්සන ඉඩමක්, කුඹුරුයායෙන් වටවෙලා, මිනිසුන්ගෙන් වෙන්වෙලා තියෙන හුදෙකලා ඉඩමක් මේ ප්‍රදේශයේ දැකලා තියෙනවාද? උන්වහන්සේ විමසන්නේය.

මම නිරුත්තර වී බලාගෙන සිටියෙමි. ඉක්මන් කේන්ති යන අපේ ලොකු හාමුදුරුවන්ට අපේ ගමේ සියලු දෙනාගෙම ඇත්තේ මහත් වූ ගෞරවාදරයකි.

ටික වේලාවක් ගිය පසු නැවත හඬ අවදි කළ අපේ ලොකු හාමුදුරුවෝ ටිකක් උසස් හඬින් මෙසේ කීය. “ඔය ඉඩම හොඳ පන්සලකට. තේරුණාද? මේක කොහොමහරි ගන්න ඕනෑ. තාත්තාටත් කියන්න ඕන තේරුණාද? තාත්තා අපේ පන්සලේ සහ දායක සභාවේ ප්‍රධාන සභාපති ධුරය හෙබවූ පී. එච්. ඩැනියෙල් මුදලාලි මහතාය. “පොඩ්ඩෝ මේක හැමෝටම කිය කියා යන්න ඕනෑ නැහැ. මේක කොහොම හරි ගන්න ඕන.” තාත්තාට මේ ගැන පැවසූ විට ඔහු කීවේය.

ඔය ඉස්සර දූව වත්තෙ (ඊශ්වර දූව) තමයි රතිඤ්ඤා මෝල තිබුණේ. රතිඤ්ඤා හදන්නේ බෝම්බ කඩලා ඒකෙ ඇතුළෙ තියෙන වෙඩි බෙහෙත් වලින්. ඉතින් මේ බෝම්බ ගේන්නේ කොහෙන්ද දන්නවද? සුද්දන්ගේ කාලෙ තිබුණා කොග්ගල ගුවන් තොටුපළක්. එදා ඒ යුද්ධ කාලෙ ඔය සුද්දන්ගෙ ගුවන්යානා ගොඩ බැස්සුවේ උඩ නැග්ගුවේ ඔය ගුවන්තොටුපළින්.

මේ රතිඤ්ඤා වැඩපළේ මේ අවට ගම්වල 25ක් 30 ක් පමණ ගෑනු පිරිමි දෙගොල්ලොම වැඩ කළා. ඒ අයට හොඳ මාසික ආදායමක් ලැබුණා. ඔය වත්තෙ කඳු ගැටේ උඩ තමයි ඔය රතිඤ්ඤා මෝල තිබුණෙ. ඒක තට්ටු දෙකේ ලොකු ගොඩනැඟිල්ලක්. ඒ දෙපැත්තෙම ලොකු වතුර ටැංකි බැඳලා තිබුණා. ඒ වගේම වටේට ලොකු ළිං කපලා තිබුණා. ඔන්න ඔය අසල තමයි බෝම්බ කැඩීම කළේ. වැඩේ වැරදුනොත් බෝම්බය වතුරට තල්ලු කරලා දානවා. මේ කටයුත්ත ඉතා භයානක ඒ වගේම ප්‍රවේශම් සහිතව කළ යුතු දෙයක්, දිනක් මේ කටයුත්ත කරන බෝම්බ බාස් නිවාඩු ගිය විටෙක එයාගෙ දෙවැනියා මේ බෝම්බයක් කඩන්න ගිය වෙලාවක වැරදීමෙන් බෝම්බය පුපුරලා ගිහින්. මුළු පළාතම දෙදරා යන තරමේ මහා භයානක ශබ්දයක් එක්කම ගොඩනැඟිල්ල පුපුරා ගොස් එකම සුන්බුන් ගොඩක් බවට පත්විණි.

දිනක් ලොකු හාමුදුරුවන්ගේ පණිවුඩයක් ලැබී මම පන්සලට දුව ගියෙමි. ඒ පාසල හමාර වී ගෙදර ඇවිත් ටික වේලාවකට පසුවය.

“එනවා මා එක්ක ගමනක් යන්න” මට ලැබුණේ අණ කිරීමකි.

හොඳමයි හාමුදුරුවනේ කියා මම ගමනට එක් වුණෙමි.

“ගන්නවා මේ පොතයි පැන්සලයි අතට. හා හොඳයි…. දැන් යං” අපේ ගමට ටිකක් ඈතින් ඇති යග්ගහ, වලහන්දූව පන්සල කන්ද ආදී ගම් කීපයක නිවාසවලට වැඩි අපේ ලොකු හාමුදුරුවෝ එම නිවාසවල පිරිස අමතා පවසා සිටියේ අපි ජම්බුකැටිය ගමේ පන්සලෙන් පැමිණියේ. පන්සලට සමීපව ඇති ආරාමයකට ඉතාම යෝග්‍ය වටපිටාවක් සහිත වටිනා ඉඩමක් ගැනීම සඳහා ආධාර මුදල් එකතු කිරීමට බවය. මේ සූදානම් වන්නේ පෙර කී ඉඩම මිලදී ගැනීමට බව මට වැටහිණි.

ඩී. එස්. අයි. පසු දිනෙක ඩී. එස්. අයි. කර්මාන්ත ශාලාධිපති ඩී. සැම්සන් රාජපක්ෂ මහතා, අපේ තාත්තා මුණගැසීමට පැමිණියේය. මසකට වරක් එසේ පැමිණ සැප දුක් විචාරා යෑම එතුමාගේ පුරුද්දක් වී තිබිණ. එහෙත් මෙදා දිනය විශේෂ දිනයක් විය.

“මුදලාලි, අර ඉඩම ඉස්සර “දූව වත්ත” විකුණනවලු” තාත්තා, සම්පත් රාජපක්ෂ මහතාට කීවේය.

“ඉතින්” ඔහු ඇසුවේ ඕනෑවට එපාවට මෙනි.

“මේක සල්ලිවලට ගන්නකො.” තාත්තා නැවත කීවේය.

“මුදලාලි ඉඩම් ගැන නම් මතක් කරන්න එපා. ගමේ මිනිස්සු ඒවි මාත් එක්ක රණ්ඩු අල්ලන්න. ඕව ආරවුල් ඇතිවන වැඩ” ඔහුගේ පිළිතුර වැඩේ නොකෙරෙන මට්ටමේ එකකි. ඊට පසු දිනක පැමිණි දිනක අපේ තාත්තා නැවතත් මුදලාලි මහතාට මේ කාරණාව කීමට පසුබට වූයේ නැත.

“හොඳයි කීයද ගණන? හරි එහෙමනන් අයියා පෑනකුයි පොතකුයි ගන්න ඕන. ගමේ ඉඩම් නැති හැමෝගෙම නම් ලැයිස්තුවක් අරගෙන තියන්න. ඉක්මනට ඉඩම් නැති අයට අපි ඉඩම් කෑල්ල දෙමු.” මෙවර ඔහුගේ පිළිතුර ධනාත්මකය.

නැවත වරක් සැම්සන් රාජපක්ෂ මහතා පැමිණියේ ඉරිදා දිනකය. “මුදලාලි මේක හොඳ අදහසක් තමයි, ඉඩම් නැති අයට සින්නක්කර ඉඩම් කෑල්ලක් අත්කර දීම. ඒ වුණත් නරක ද මේ වගේ ලස්සන කුඹුරුවලින් වටවෙච්ච හුදෙකලා ඉඩම පන්සලක් කරොත්…. පන්සලක් හැදුවොත්” තාත්තා කාරණාවට බැස්සේය.

“හ්ම්, හ්ම්, මේ ගමේ මිනිසුන්ට කියන්න මේ මහ කැලෑව කපල ඉඩම් සුද්ද කරන්න කියලා” ඔහු කීවේය.“ඉතින් මුදලාලි ඉඩම අරන් ඉන්න එපායැ” තාත්තා එක්වරම කීවේය.

“ඒවා හරි…. ගිහිල්ලා රාජ මහත්තයා හම්බ වෙන්න” ඒ කීවේ පරලෝ සැපත් නීතිඥ රාජා කුලතිලක මහතාටය.

ඒ වනවිට රාජා කුලතිලක නීතිඥ මහතා විසින් ඉඩම මිලදී ගන්නා සියලු කරුණු කාරණා ඉටුකර ඇති බව තාත්තා දැන ගත්තේය. අනේ සාදු….. සාදු….. අන්න මුදලාලි ඉඩම අරගෙන පන්සල හදන්න කියා අප සියලු දෙනා හමුවේ පැවසුවේය.

ඊට පසු ගමේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් මහා කැලයක්ව තිබූ රතිඤ්ඤා මෝල වත්ත ඉස්සර දූව වත්ත සම්පූර්ණයෙන් එළි පෙහෙළි කරනු ලැබීය. ඉන් අනතුරුව ඉතාම සුදුසුම ස්ථානයක් තෝරා ගත් අපේ නායක හාමුදුරුවෝ ත්‍රිපිටක වාගිෂ්වර ගරු දංගෙදර සුගතසීල නායක ස්වාමීන් වහන්සේ විසින් හා හා පුරා කියා අඩි 20-40 ගොඩනැඟිල්ලක් සෑදුවේය. මේ සඳහා වැය වූයේ ලොකු හාමුදුරුවෝ සම්මාදමේ ගොසින් එකතු කර ගන්නා ලද මුදල්ය.

නෝබෝ කලකට පසු සම්බුද්ධ ශාසනයේ චිරස්තිථියටත් ජාතියටත් මහ මෙහෙවරක් සිදු කිරීමට මග පාදා දුන් ඩී. සැම්සන් කර්මාන්තායතනයේ නිර්මාතෘ සාමවිනිසුරු ඩී. සැම්සන් රාජපක්ෂ මහතා අපේ තාත්තා හමුවීමට ආවේ ඉතාමත් සතුටිනි.

“හා කොහොමද? දැන් හරි නේද? ඔහේගේ බලාපොරොත්තු ආශාව හරි ගියානේ ඔහු ඇසුවේ සොම්නස් සහගතවය.

“ඔව් ඔව් මුදලාලි මහත්තයො ඕව ජීවිතයේදී හැමෝන්ටම කරන්න බැරි මහා ආනිසංස ගෙන දෙන පිංකම්” තාත්තා පිළිවඳන් දුනි.

එදා භයානක විපතක් ඇති කළ රතිඤ්ඤා මෝල තිබූ භූමිය අද ඇත්තිලිගොඩ ජම්බුකැටිය සිරි සුගතාරාම විහාරස්ථානය ලෙස විරාජමානයය. එසේම රමණීය පරිසරයක ඉතා දැකුම්කළු නිල්වන් කෙත්යායකින් වට වූ ගහකොළ වෘක්ෂලතා ආදී ස්වාභාවික පරිසරයෙන් ආධ්‍ය වූ මෙම පුදබිම් සියලු අංගයන්ගෙන් සමන්විතය. එසේම භික්ෂූන් වහන්සේලාගේ සාකච්ඡා හා සම්මේලන, දහම් පාසල සඳහා දෙමහල් තට්ටු ගොඩනැඟිල්ලක් සඳහා 2019 සැප්තැම්බර් මස 05 වන දින උත්සාවාකාරයෙන් මුල්ගල් තබන්නට ද යෙදිණි.

විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පල්ලාවෙල සුමේධවංශ හාමුදුරුවන් වහන්සේ හා (දංගෙදර ජයවර්ධන මහා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති) විහාරාධිකාරී ශාස්ත්‍රපති කිරම සුභාහු, කළේගාන සුභාරත සහ අනෙකුත් පොඩි සාමනේරයන් වහන්සේලා මෙම පුද බිමේ සහ වර්තමාන දියුණුවේ නියමුවන් වහන්සේලා වන බව ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.

පී. හේවගේ පියතුංග
(සාම විනිසුරු)

advertistmentadvertistment
advertistmentadvertistment