කුප්පියාට වෙඩි වැදෙයි.. ළය පැලී අම්මා මිය ගිහින්

942

ලලිත් චාමින්ද
 
මව්පියන්ට තමන්ගේ දරුවන් හැර වෙනත් කිසිදු සම්පතක් නොමැති තරම්ය. මෙලොව ඇති සියලූදේ මවකගේ ආදරයට යටත්ය. මවකගේ ආදරයට උණුසුමට කරුණාවට සැසඳීමට වෙන අන් කිසිම දෙයක් මෙලොවෙහි නොමැත. ඒ විතරක් නොව මව් සෙනෙහස යනු දරුවකුට මේ ලෝකයේ ලැබිය හැකි උතුම්ම ආදරණීය දායාදයකි. මව් සෙනෙහස ආදරය, පිළිබඳ ලියවූ ගීත කවි නිසඳැස් ඕනෑ තරම් දක්නට ඇත්තේය. ඒ කොයිහැටි වුවද දරුවකු කුමන වරදක් කළද මවකගේ ආදරයේ සෙනෙහසේ බිඳකදු හෝ අඩුවීමක් සිදුවන්නේ නැත. අපි මේ කියන්නට යන්නේ අකීකරු පුතෙකු වෙනුවෙන් මව් සෙනෙහස දොරේ ගලාගිය අවස්ථාවකි. මේ අකීකරු පුතුට ඇති ආදරය නිසාම මෙකී මව ළය පැළී මිය ගියාය. මෙකී සිද්ධිය වාර්තා වන්නේ රත්ගම පන්විල නවජනපදය ප‍්‍රදේශයෙනි. තම පුතුට වෙඩි වැදී ඇති බව දැනගත් මව ඉන් කම්පනයට පත්ව මෙසේ අවාසනාවන්ත අයුරින් මිය ගියාය.
 
 මෙකී මව ගොඩහේන කන්කානම්ගේ රත්නාවති ය. ඇය 72 හැවිරිදි වියේ පසුවන සිව්දරු මවකි. ඇයගේ සැමියා මීට වසර 10කට පෙර මියගොස් තිබුණි. මෙකී මව තම බාල පුතුගේ නිවසේ පදිංචිව සිටියාය. පුතු එතරම් හොඳ අයෙකු නොවේ. හේ සමාජ විරෝධී කටයුතුවල නිරතව සිටි අකීකරු පුතෙකි. මෙකී පුතු නොමග ගොස් සිටි අතර එහෙත් මෙකී මව තම පුතුට දැඩිව ආදරය කළාය. පුතුද මවට දැක්වූයේ දැඩි ආදරයකි සෙනෙහසකි. මව මීට වසර දෙකකට පමණ ඉහතදී වූ ඇද වැටීම නිසා පාදයක් බිඳී ගොස් තිබූ අතර මව එක්තැන්ව සිටියාය. ඇයගේ දෑස් පෙනීම ද දුර්වලව පැවතුණි. ඕ මීට සති තුනක පමණ සිට ආහාර ගනු ලැබුවේ ඉතා අඩුවෙනි. එහෙත් මෙම අකීකරු පුතු මවගේ සියලූ කටයුතු සොයා බැලීය. එක්තැන්ව සිටි මව කවා පොවා පිරිසිදුකොට රැක බලාගත්තේ මෙකී පුතු විසිනි. මෙම පුතු මවට කෙතරම් ආදරය සෙනෙහස දැක්වුවද හේ සමාජයට කළු චරිතයකි. කුමන සමාජ විරෝධී කටයුත්තක නිරතව සිටිය ද මෙකී අකීකරු පුතු තම මව ගැන නිරන්තරයෙන් සොයා බැලීය. එක්තැන්ව සිටින මව දිනපතා සෝදා පිරිසිදු කරනු ලැබුවේ ද මෙකී පුතු විසිනි. දරුවකුගෙන් මවකට ඉටු විය යුතු සියලූ යුතුකම් හා වගකීම් හේ නොපිරිහෙළා ඉටු කළේය. මොහු කුපියා නමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වීය. දරුවන් තිදෙනකුගේ පියෙකු වූ මොහු මෙකී ප‍්‍රදේශයේ චණ්ඩියෙකි. මොහුට විරුද්ධව කිසිවෙක් කථා කිරීමට පවා ගියේ නැත. මොහුට විරුද්ධව කිසිවෙක් කටක් හෙල්ලූවේ නැත. සමාජ විරෝධී කටයුතුවල නිරතව සිටි මෙකී පුද්ගලයාට ගෝලබාලයින් පිරිසක් ද සිටියහ. මොහු තම ගෝලබාලයින් සමග එක්වී බූරුවා ගැසීමේ කටයුතුවල ද නිරතව සිටියහ. ඒ විතරක් නොව මොහු මෙම ප‍්‍රදේශය පුරා තම බලපරාක‍්‍රමය පතුරුවාගෙන සිටියේය. එහෙත් කුපියා නමැති පුද්ගලයා සමග තවත් පිරිසක් බද්ධ වෛරයෙන් පසු වූහ. එම කල්ලිය අවස්ථාවක් එනතෙක් ඇඟිලි ගනිමින් සිටියහ.
 
 දිනය ඉකුත් 05 වැනිදාය.වෙලාව රාත‍්‍රි 8.15ට පමණ වන්නට ඇත. ඒ වනවිට මෙම ප‍්‍රදේශයට ධාරාණිපාත වර්ෂාවක් පතිත වෙමින් පැවතුනි. වර්ෂාව පායන තෙක් සිටි කුපියා මිතුරෙකුගේ යතුරුපැදියේ නැගි තම නිවෙස වෙත ගමන් කරමින් සිටියේය. කුපියා නමැත්තා එනතෙක් ඔහුගේ විරුද්ධවාදින් දෙදෙනකු මාර්ගය අසල සැඟවී සිටියහ. ප‍්‍රදේශය පුරා පැවතියේ ඝන අන්ධකාරයෙකි. මගරැක සිටි පුද්ගලයින් දෙදෙනා ගිනි අවියකින් කුපියා නමැත්තාට වෙඩි තැබීය. එහෙත් ඔවුන්ගේ ඉලක්කය වැරදුණි. කුපියා නමැත්තාගේ වම උරහිසට වෙඩි වැදී තිබූ අතර මොහු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබීය.
 
 කුප්පියා නමැත්තාට වෙඩි වැදි ඇති ආරංචිය පවුලේ අයට ද ඒ වනවිට ආරංචි වී තිබුණි. මෙකී ආරංචිය මවගේ කනට වැටීමට වැඩිවෙලාවක් ගියේ නැත. මෙකී සිද්ධිය කනවැටුණු විගස මව කලබලයට පත්වූවාය. තම පුතුට දැඩිලෙස ආදරය කළ මෙකී මවට පුතුට වූ වෙඩිතැබීම දරාගත නොහැකි වූවාය. දරුසෙනෙහස දොරේ ගලා යන්නට විය. අනේ මගේ පුතාට මොකද වුණේ ඇයගේ මුවින් පිටවිය. තම පුතුට වෙඩිවැදීම නිසා දැඩි කම්පනයට පත්ව සිටි මව ඉන් සුළු වෙලාවකින් මියගියාය. දරු සෙනෙහස නිසා ළයපැලී මියගිය මෙම මවගේ හදිසි මරණ පරික්ෂණය රත්ගම හදිසි මරණ පරික්ෂක වයි. එම්. සාගරිකා නිල්මිණි මහත්මිය විසින් සිදුකරනු ලැබීය. එහිදී මියගිය තැනැත්තියගේ දියණියක් වන සමරක්කොඩි ශ‍්‍රියාණි මංගලිකා පොඩිමැණිකේ (42) නමැත්තිය සාක්ෂි දෙමින් මෙසේ කීවාය.
 
 මිය ගොස් ඇත්තේ මගේ මව… තාත්තා මීට වසර 10ක පෙර මියගියා. අපේ පවුලේ සහෝදර සහෝදරියන් 04 දෙනෙකු ඉන්නවා. අක්කයි අයියයි මල්ලි හා මම. අපි හතරදෙනාම විවාහකයි. අම්මා මහගෙදර මල්ලි සමග ඉන්නවා. අම්මාට සායනවලට සම්බන්ධ වී ප‍්‍රතිකාර ගැනීමට තරම් ලෙඩක් තිබුණේ නැහැ. මීට වසර දෙකකට පෙර අම්මා වැටිලා කකුල කැඩිලා එකතැන්වෙලා හිටියා. අම්මා දැනට සති තුනක පමණ සිට කෑම ගත්තේ අඩුවෙන් දියර වර්ග පමණයි පාවිච්චි කළේ. රාත‍්‍රි 8.00ට විතර මල්ලිට වෙඩි තියලා කියලා ආරංචියක් ආවා. ඒ ආරංචියත් සමග මව ටිකක් කලබල වුණා. මම හා නෑනා මල්ලි බලන්න ගාල්ල කරාපිටිය රෝහලට ගියා. රෝහලේ සිටියදී මව නැතිවූ බව මගේ දුව දුරකථන ඇමතුමක් ලබාදෙමින් දැනුම් දුන්නා’ ඇය කීවාය. මියගිය තැනැත්තියගේ පශ්චාත් මරණ පරීක්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මහතා විසින් කළ අතර ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂකවරිය හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් ඇය මියගොස් ඇති බවට තීන්දු කළාය.
 
 වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කුපියා නමැත්තාගේ වම් උරහිසේ තිබූ පතොරම් කැබලි 06ක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සැත්කමක් මගින් ඉවත් කරනු ලැබිය. වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයා 36 හැවිරිදි වියේ පසුවන තිදරු පියෙකි. මනුෂ්‍ය ඝාතන 03ක් සම්බන්ධයෙන් මොහුට එරෙහිව මහාධිකරණයේ නඩු පවතින බව රත්ගම පොලිසිය පවසයි. මෙම වෙඩි වැදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනකු සැකපිට රත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනා බුස්ස පිටිවැල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. ඔවුන් 55 හා 25 හැවිරිදි වියේ පසුවන අය වෙති. මෙකී දෙපිරිස අතර කාලයක සිට පවතින පරණ කෝන්තරයක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකොට ඇති බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට එරෙහිව 2019 වර්ෂයේ දි වූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩුවක් විභාගවෙමින් පවතින බවද රත්ගම පොලිසිය පවසයි. එමෙන්ම මෙකී වෙඩි වැදීම සම්බන්ධයෙන් ගිනි අවි ලැබී ඇති ආකාරය හා ඔත්තු ලබා දුන් පුද්ගලයින් පිළිබඳ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගෙන විමර්ශන සිදු කරන බව පොලිසිය පවසයි. රත්ගම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රභාත් විතාන මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක පී.එල්.ඞී. ගයාන් පුෂ්පකුමාර පො. සැ. 13413 ප‍්‍රියන්ත, පො. සැ. 3011 රංග, පො. කො. 66651 දළුගොඩ, පො. කො. 36132 තිලිණ, පො. කො. 90377 විතාරණ යන නිලධාරින් විසින් පරීක්ෂණ පවත්වති.
  

advertistmentadvertistment
advertistmentadvertistment