ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව කඩිනමින් සංශෝධනය කරනවා

121

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති ජස්වර් උමර්

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව කඩිනමින් සංශෝධනය කරන ලෙසට කිහිපවරක්ම දැනුම් දී තිබුණත් වසර 35ක කාලයක් එම ව්‍යවස්ථාව සංශෝධනය කර නැති බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නිර්දේශවලට අනුකූලව සංශෝධනය කිරීමට තමන් කටයුතු කරන බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති ජස්වර් උමර් මහතා පැවසීය.

අවසාන වතාවට ශ්‍රීලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව 2002 වර්ෂයේදී සුළු වශයෙන් වෙනස් කර ඇතත් නැවත ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මගින් 2014 දී මෙම ව්‍යවස්ථාව වෙනස් කරන ලෙස ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට දැනුම් දුන්නත් එය සිදුවී නැති බවත් ජස්වර් මහතා සඳහන් කළේය.

එවකට පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස කටයුතු කළේ රංජිත් රොඩි්‍රගෝ මහතා බවත් අනුර ද සිල්වා මහතා සභාපති ලෙස කටයුතු කරන කාලයේදී ද මෙම ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස ජාත්‍යාන්තර පාපන්දු සම්මේලනය දැනුම් දුන්නත් එසේ සංශෝධනය කර නොමැති බවද ජස්වර් මහතා කීය.

2021 වසරේදී ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මීළඟ නිලවරණයට කලින් මෙම ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙසට අවධාරණය කර ඇති අතර එයට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථාව කෙටුම්පත් කර එහි පිටපත් ක්‍රීඩා අමාත්‍යාංශයට සහ සියලුම පාපන්දු සම්මේලනයේ සාමාජික සාමාජිකාවන්ට 2022 මැයි මාසය වනවිට යවා අවසන් කර ඇති බවත් ඒ මහතා පැවසීය.

මෙම නව ව්‍යවස්ථාව මගින් ස්වාධීන මූල්‍ය පරිපාලනය, ස්වාධීන නිලවරණය ක්‍රමය, ස්වාධීන විනය කමිටු ඇතුළු පැහැදිලි ලෙසම බලය බෙදා හැරීමේ ක්‍රමයක් ඇති කර තිබෙන බවත් මෙම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට අවශ්‍ය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මහා සභාවේ තුනෙන් දෙකක බලය දැනටමත් තිබෙන බවද ජස්වර් මහතා සඳහන් කළේය.

මේවන විටත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය උපදේශන හා නිරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නියෝජිතයන් දෙදෙනෙකු හා ආසියානු පාපන්දු සම්මේලනයේ නියෝජිතයකු දිවයිනට පැමිණ තිබෙන බවද පාපන්දු සම්මේලනයේ සාමාජිකයන් සමග පැවැති සාකච්ඡාවක දී ජස්වර් උමර් මහතා සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment