71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය දෙසැම්බර් 4 දා සිට

71

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය මෙහෙයවනු ලබන 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය ලබන මස 4 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වේ.

දහසකට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි වන මෙවර තරගාවලියේ සියලු තරග බැඩ්මින්ටන් ආයතන ක්‍රීඩාගාරයේ, වෙළෙඳ සේවා බැඩ්මින්ටන් ගෘහස්ථ ක්‍රීඩාගාරයේ සහ ඩී.එස්. සේනානායක විදුහල් බැඩ්මින්ටන් ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

තරගාවලියේ සමාරම්භක උත්සවය දෙසැම්බර් මස 4 වැනිදා පැවැත්වෙන අතර, මූලික තරග වටය ද එදින ආරම්භ කෙරේ. අනතුරුව 5 වැනිදා සිට 7 වැනිදා දක්වා මූලික තරග වටය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටය සහ අර්ධ අවසන් පූර්ව වටයේ තරග දෙසැම්බර් මස 8 වැනිදා පැවැත්වෙන අතර, දෙසැම්බර් මස 9 වැනිදා අර්ධ අවසන් පූර්ව වටය සහ අවසන් පූර්ව වටයේ තරග පැවැත්වෙනු ඇත. දෙසැම්බර් මස 10 වැනිදා අවසන් තරග පැවැත්වීමට සහ ත්‍යාග ප්‍රදානෝත්සවය සිදු කිරීමට නියමිතව ඇත.

වයස අවුරුදු 11න් පහළ සිට අවුරුදු 19න් පහළ වයස් කාණ්ඩය දක්වා කනිෂ්ඨ අංශයේ තරග පැවැත්වෙන අතර, අවුරුදු 30ට වැඩි වයස් කාණ්ඩයේ සිට අවුරුදු 70ට වැඩි වයස් කාණ්ඩය දක්වා ජ්‍යෙෂ්ඨ අංශයට ඇතුළත් ය. කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග විවෘත අංශයට ඇතුළත්ය.

Mobil, McFoil, 3M, Rovin Ads Creative Services (pvt) Limited සහ Li Ning අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් මිලියන දෙකක මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment