දූෂණ විරෝධී පනත සම්මතයි – සංශෝධන 164ක්

269

දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී ඊයේ (19දා) සංශෝධන 164ක් සිදු කිරීමෙන් අනතුරුව සම්මත කෙරිණි.

අදාළ සංශෝධන අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ, විපක්ෂයේ අසුන් ගෙන සිටින ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි, පසුපෙළ මන්ත්‍රී උදයන කිරිදෙන යන මහත්වරුන් විසින් ද ඉදිරිපත් කරනු ලැබීය.

මෙම පනත් කෙටුම්පතට අදාළ විවාදය මීට පෙර දින දෙකක් වශයෙන් පැවැති අතර එම විවාදයේ දෙවැනි දිනය වූ පසුගිය 06 වැනිදා විවාදය අවසන් කිරීමෙන් පසුව කාරක සභා අවස්ථාවේ සංශෝධන කිරීමට ඊයේ දිනය දක්වා කල් තැබිණ.

පනත් කෙටුම්පත සම්මත කිරීමට ඡන්ද විමසීමක් සිදු නොකළ අතර එලෙස ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන බවට පසුගිය 06 දා විපක්ෂය ප්‍රකාශ කළේය.

මෙම පනත සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සංශෝධන 34ක් ඉදිරිපත් කර තිබූ අතර ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ වශයෙන් පනතට එක් කරනු ලැබූ සමස්ත සංශෝධන ප්‍රමාණය 164ක් විය.

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය වීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ද ඊයේ දින සංශෝධන සහිතව සම්මත කෙරිණි.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment