බ්ලඩ් සප් එකක් ගන්න ටවුමට ගිය මදුරුවා

64

එක්තරා වනාන්තරයෙක වූ විශාල ගස් බෙනයක වැහි වතුර එකතු වී මදුරුවෝ ලක්ෂ ගණනක් බෝවුනා. මේ මදුරුවෝ වනය පුරා සැරි සරමින් එක එක සතුන්ගේ ලේ උරා බොමින් හෝ නැති නම් කුරුල්ලන් කාදැමූ පලතුරු හපයෙක ඉස්ම උරා බොමින් යාන්තං දිවි රුක ගත්තා. වැඩි දොහක් යන්නට මත්තෙන් පල අවාරය පැමිණීම නිසා කුරුල්ලෝද වෙනත් ඉසව්වලට ෂේප් එකේ මාරු වුණා. මේ නිසාම පල යුෂ බීම මදුරු ගැන්සියට තව දුරටත් කර ගෙන යන්නට පුළුවන් වුණේ නෑ. ඒ වගේම වනාන්තරයේ බොහොමයක් සත්තු ලොම්පිරි එවුන් නිසා උන්ගෙන් ලේ බිඳක් උරා බොන්නට හැකියාව ලැබුණේ නෑ. මේ හේතු කාරණා නිසා බඩට හරි හැටි සප් එකක් නොවැදුන තරුණ මදුරුවෙක් දවසක් බඩගින්නෙන් නන්නත්තාරව ඉගිල යන්නට නොහැකිව හරියට පැන්ෂන් යන්නට කිට්ටු ආණ්ඩුවේ නිලධාරි පොරක් වගේ වැනි වැනි යනු දුටු තවත් මදුරු පොරක් මූට සිදුව ඇති අකරතැබ්බය මොකක් දැයි විමසා සිටියා.

“හේයි ලොක්කා මොකද නිකං දුනු බැහැලා වගේ…

බ්ලඩ් සප් එකක් ගන්න ටවුමට ගිය මදුරුවා

“උඹ බයිලා ගහනවා! මට සුමාන දෙක තුනකින් බොඩිය ෆිට් වෙන්න සප් එකක් ලැබුණේ නෑ බං දැන් මේ කැලෑවේ එවුන්ටත් ඉන්ජෙක්ෂන් පාරක් දෙන්න විදිහක් නෑ උන් එක එක ඔයිල් ජාති ක්‍රීම් ජාති ගාලා නියම මයිල්වාගනම්ලා වෙලා. එහෙම වෙච්චාම කොහොමද බං මදුරුසිංහලා වෙච්ච අපි ඉන්ජෙක්ෂන් පාරක් දීලා ලේ පොඩ්ඩක් සප් එකට ගන්නේ. බලාපන් මේ ඇඟ ගැහෙන හැටි..”

“ඇත්තමයි හරියට ඇමැති පට්ටම ගැලවෙයිද බයෙන් ඉන්න එකෙක් වගේ! හරි! දැන් උඹ මේ ඉන්න ක්‍රිටිකල් සිටුවේෂන් එකේ හැටියට මං දෙන්නං පොඩි ගයිඩ් ලයින් එකක් ගමේක උඹ ෆලෝ කෙරුවොත් පුතා ආයෙත් දෙකක් නෑ…. උඹට නියම සප් එකක් දාගන්න පුළුවන්. ඒ නෙගටිව් ඕන නං එහෙමයි ඕ පොසිටිව් ඕනනං එහෙමයි. කැමති ජාතියක් තෝරගෙන ෂේප් එකේ සප් එක ගන්න පුළුවන්.

“උඹ නං දෙවියෙක් අයියා! අනේ කියාපං අයියා කොහොමද ඇන්ටර් වෙන්නේ කියලා”

“මේමයි! මට පේන හැටියට උඹේ ඇඟේ නං කිසිම ජොහොර් එකක් නෑ! අනිත් එක මේ වනාන්තරයේ උඹට බ්ල්ඩ් සප් ගන්න ක්‍රමයකුත් නෑ ඒක හින්දා පලයං ගම්මානෙට! පේන හැටියට නම් උඹට එහාට යන්නවත් ඇගේ ෆිට් එකක් නෑ වගේ. ඒක හින්දා ඔය ගම්මානෙට නිතරම යන එන ක්‍රාකයෙකුට සම්තිං එකක් දීලා ෂේප් එකේ ගම්මානෙට තල්ලු වෙයං! මං දෙන්නං ලියුම් කෑල්ලක්. උඹ ඒක ගිහිං දීපං ඒ ඒරියල්ස් එකේ ප්‍රාදේශීය සභාවේ සභාපතිට මෑන්ස් මගේ ගජයා! ඌ උඹට දෙයි ඔක්කොම ඩීටේල්ස් ඒ ටූ ඉසෙඩ්! විදින්න ඕන එකා මොකාද කොහාට විදලද සප් එක ගන්න ඕනෑ කියලා … උඹට තියෙන්නේ ඌ දෙන ඩිරෙක්ෂන්ස් එකේ හැටියට ෂේප් එකේ සප් එක දාන එකයි!

තමන්ගේ මදුරු ගජයා දුන්න ගයිඩ් ලයින්ස්වලට අනුව මදුරුසිංහ ක්‍රාකයෙකුට ෂේප් එකේ ටෝක්ස් එකක් දීලා ගම්මානයට යන්න ට්‍රාන්ස්පෝර්ට් එකක් ඇරේන්ජ් කර ගත්තා කොහොමහරි ක්‍රාකයාත් එක්ක ගම්මානයට ආපු මදුරුසිංහ තමන්ගේ ගජයා දුන්න ලියුම් කඩදාසිය අරගෙන ප්‍රාදේශීය සභාවේ සභාපති මුණගැහුණා.

“මෙහෙමයි මල්ලි අපිට ජාතිය දාන එවුන් රොත්තක් ඉන්නවා! අනිනවානං අනින්න ඕනේ උන්ට….! ප්‍රශ්නය ළඟදීම ඉලෙක්ෂන් එකක් එන්න තියෙන හින්දා මේ දවස්වල උන්ගේ ඇඟේ නං ලේ කඳුලක් නෑ… ඒ වුණත් උඹ හුඟක් දුර ඉඳලා ආපු හින්දා… ඔය ගස් ලබු පුහුල් ගෙඩි වගේ ගමේ ඉන්න නාඹර එවුන් හතර පස් දෙනකුට ට්‍රයි කරලා බලපං. ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ උදව්වෙන් මදුරුසිංහ කොමඩු ගෙඩි වගේ ගම්මානයේ වැජඹෙන තුන් හතර දෙනකුට ඉන්ජෙක්ෂන් පාර දෙන්න ට්‍රයි කෙරුවා!

“හ්ම්…… යකෝ මුන්ගේ හම මාර හයියයි නේ ෂෙක්! කටුව නැමෙනවා කොහෙ විදින්නද වත්තේ පිටියේ කුඹුරේ වැඩ කරලා හම ගේජ් දහ අටේ තහඩුවක් වගේනේ!

“බ්ලඩ් සප් එකක් දාගන්න ට්‍රයි කරලා ට්‍රයි කරලා බැරි වුණ තැන මදුරුසිංහ ආයෙත් හාමතේම බඩගාගෙන වනාන්තරයට ඇවිදින් තමන්ගේ අතිප්‍රේත මිත්‍රයා මුණ ගැහුණා.

“වැඩේ අප්සට් මචං! මෙහෙ උන්ට වැඩිය ආමාරුයි එහෙ උන්ට විදින එක උන්ගේ ඇඟේ තියෙන්නේ හමක් නෙමේ තහඩුවක්! මගේ කටුවෙන් තියා ඩි්‍රල් කටුවකින් වත් උන්ට විදින්න නං ලේසි නෑ!”

“රායිට්! උඹ අහලා තියෙනවනේ නතිං ලයික් ට්‍රයිං කියලා…… පලයං ටවුමට ආන්න එහෙ ඉන්නවා හම ලූනූ සීවියක් තරමට තුනී කරගත්ත එවුන් එක එක ක්‍රීම් ජාති ඔයිල් ජාති ගාලා.. හරිනේ මං දෙන්නං ලියුම් කෑල්ලක් නගරාධිපතිට! මෑන්ස්ට කියාපං විස්තරේ ඌ උඹට සපෝට් එකක් දෙයි! මදුරුසිංහ හාමතේම ආයෙත් තම අතිප්‍රේත මිත්‍රයාගේ ලියුමත් අරගෙන නගරාවපුරවරයට පැමිණියා!

අම්මට සිරි ගජ! යකෝ මේක දිව්‍ය ලෝකයක් නේන්නං! විදින්න නෙමේ සේප්පුවේ දාලා රැකගන්න ඕනේ බඩු නේ මෙහෙ ඉන්නේ!

නගරාධිපතිට ලියුම දීම පැත්තකට දාපු මදුරුසිංහ ඉදුන ජම්බුගෙඩියක් වගේ එකෙකුට හොරෙන්ම ගිහිං ඉන්ජෙක්ෂන් පාර දුන්නා!

ඒත් තමන් බලාපොරොත්තු වුණ කොලිටියේ බ්ල්ඩ් සප් එකක් නොලැබුණ මදුරුසිංහ තවත් හත් අට දෙනකුට ට්‍රයි කරලා බැලුවා. එකම රිසාල්ට් එක! රසය වෙනස්! ගුණය වෙනස්! තවත් මෙහෙ ඉඳීම ඵලයක් නැතැයි කල්පනා කළ මදුරුසිංහ ආයෙත් අමාරුවෙන් බස්සෙක්ව හයර් කරගෙන වනාන්තරයට ආපහු ඇවිත් තමන්ගේ ගජයා මුණ ගැහුණා. ක්ෂුධාවෙන් පීඩිතව හන්දි පන නැතුව සිටි මදුරුසිංහ තම ගජයා ඉදිරියේ ඇද වැටුනා!

“මොකද මස්සිනා! ටවුමෙත් වැඩේ අප්සට් ද”

“වැඩක් නෑ මචං පොත්ත රතුවට තිබුණ හින්දා මං විදලා බැලුවා පුහුල් ගෙඩි වගේ හිටියට ඇඟ ඇතුලේ තියෙන්නේ ඇල්කොහොලුයි තෙලුයි”

තවත් වචනයක් හෝ දොඩාගත නොහැකිව මදුරුසිංහ තම ගජයා ඉදිරිපිට හාමතේම පැත්ත වැටුනා.

ආදර්ශය : ටවුමේ උන්ගේ ඇඟ ඇතුලේ තියෙන්නේ ඇල්කොහොල් සහ තෙල්ය!!!

සරත්චන්ද්‍ර පත්තඩුවන

advertistmentadvertistment
advertistmentadvertistment