දරුවන්ගේ රණ්ඩුවට මැදිහත්වූ වැඩිහිටියෝ මුළු පවුලක්ම තළාපෙලා දමති

391

ගේත් කුඩු කරලා – වටිනා බඩුත් අරන් ගිහින්
මම වකුගඩු රෝගියෙක් බව දැනදැනත් බිම දාලා පාග පාග ගැහුවා
කැත්තක් අරන් පුතා මරන්න හදනවිට සඟවාගත් බිරිඳට මුත‍්‍රා පහවන තුරුම පහරදුන්නා

ළමා ලොවේ රණ්ඩු සරුවල් කෙටිකාලීනය. ඔවුහු මෙහොතකින් පෙරටත් වඩා හිත මිතුරන් වෙති. වැඩිහිටියන් පොඩි උන්ගේ අඬදබර වලට මැදිහත් වීමෙන් ඒවා බොහෝ දුරදිග යන අවස්ථා ඕනෑතරම් දැක ගතහැකිය. දෙහිඅත්තකණ්ඩිය වෑබඩගම මහවැලි ගම්මානයේ පාසල් ළමුන් දෙනෙකු අතර ඇතිවු ආරවුලකට බීමත් වැඩිහිටියන් පිරිසක් මැදිහත්වීම නිසා අද මව්පිය යුවළක් අන්ත අසරණ භාවයට පත්ව සිටිති.

පාසල් වයසේ ළමුන් දෙදෙනෙකුගේ රණ්ඩුවක් දුරදිග යෑමෙන් එක දරුවෙකුගේ හිසට සුළු තුවාලක් සිදුවී ඇත. අසල්වාසීන් තුවාල ලැබු දරුවා කඩිනමින් රෝහල්ගතකර ඇත. රෝහල්ගතකළ දරුවා මියගිය බවට ලැබුණු සාවද්‍ය තොරතුරක් මත කුපිත වු දරුවාගේ ඥාතීන් අනෙක් දරුවාගේ නිවසට පැන බඩු මුට්ටු කුඩුකර නිවැසියන් සියළුම දෙනාට අමානුෂික ලෙස පහරදී මහ රෑ ගමෙන් පන්නා දමා ඇත. පහර කෑමට ලක්වූ පියා වකුගඩු රෝගියෙකි.මව ඇදුම රෝගී කාන්තාවකි. මැර පහර දීම නිසා මෙම දෙමව්පියන්ගේ රෝගී තත්වයන් උත්සන්න වී අද අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිති.

දෙහිඅත්තකණ්ඩිය, වෑබඩගම පදිංචි එස්. එම්. ජී. විජේ බංඩා මහතා මෙම අනපේක්ෂිත කරදරයට මුහුණදුන් ආකාරය මෙසේ පැහැදිලි කළේය.

”මම වකුගඩු රෝගියෙක්. මගේ පුතා මේ වතාවේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙනවා. එයාට අවුරුදු පහළොවයි. මට මහන්සිවෙලා වැඩක් කරන්න බැහැ. පුතා තමයි ඉගෙන ගන්න ගමන් කුඹුරේ වගා කටයුතු සේරම කරන්නෙ. මම ගමේ ස්වෙච්ඡා සංවිධාන කීපයක නායකත්වය දරනවා. මේ සිදුවීම වුනේ ගිය සැප්තැම්බර් මාසේ 21 හවස. එදා පුතා එයාගේ යාළුවෙක් වු අවුරුදු 17ක දරුවෙක් එක්ක නාන්න උල්හිටිය ඔයට ගියා. ඔයේදී විහිළුවක් දුරදිග ගිහින් මගේ පුතා ගහපු පාරකට ඒ දරුවාගේ ඔළුව තුවාල වෙලා. ළමයි ගෙදර ආවට පස්සේ තුවාල වුණු දරුවා ත‍්‍රිවීල් එකකින් දෙහිඅත්තකණ්ඩිය රෝහලට යැව්වා. තුවාලය හිසේ තිබුණ නිසා වැඩිදුර පරීක්ෂණවලට ළමයා පොළොන්නරුව මහ රෝහලට යැව්වා. පොලොන්නරුවට ගියපු කෙනෙක් දරුවා මිය ගියා කියලා නෑදෑයින්ට බොරුවක් කියලා. අවුරුදු 17 කොල්ලො දෙන්නෙක් එක්ක අවුරුදු පනහක විතර පිරිමි දෙන්නෙක් කසිප්පු බී ගෙන ඇවිත් රෑ හතට විතර අපිට හොඳටම ගැහුවා. මම වකුගඩු රෝගියෙක් බව ඒ අය දන්නවා. නමුත් බිම දාලා පාගලා අපට ගැහුවා. මට කීප වතාවක් සිහිය නැති වුණා. කැත්තක් අරගෙන පුතා මරන්න හොයනකොට මගේ බිරිඳ ඇඳගෙන හිටිය චීත්තයෙන් පුතා වහ ගත්තා. උන් ඒක දැකලා අසනීපෙන් ඉන්න මගේ බිරිඳටත් හොඳටම ගැහුවා. ඒ පහරවල් දරාගන්න බැරිව බිරිඳට පුතාගේ ඇගේම මුත‍්‍රා ගියා. පුතාගේ යාළුවා මිය ගියා කියලා කිව්ව නිසා අපිත් මරලා ගියත් කමක් නැහැ කියලා ගහන පාරවල් ඉවසගෙන හිටියා.

පහර දෙන ගමන් උන් අපේ ගෙදර ගිනිතියන්න කතා වුනා. අපි ඊට පස්සේ ජීවිතය බේරා ගන්න වෙල් යායට පැනලා කළුවරේම දෙහිඅත්තකණ්ඩිය පොලිසියට ආවා. ඒ එන ගමනේදී වල් අලිත් හමු වුණා. උන් කිසිම කරදරයක් කළේ නැහැ. පොලිසියෙන් අපිව රෝහලට ඇතුළත් කරලා ඉක්මනින් ගෙදර බලන්න ගියා. පොලිසිය ගෙදරට යනකොට චණ්ඩි සේරම පැනලා ගිහිං හැංගිලා. පහුවෙනිදා පොළොන්නරුවේ රෝහලට යවපු ළමයත් ටිකට් කපාගෙන ගෙදර ගියා. අපි තුන්දෙනා සතියක් විතර ප‍්‍රතිකාර ලබාගෙන ගෙදර ගිහින් බලකොට ගෙදර බඩුමුට්ටු සේරම කුඩු කරලා. පොලිසිය ඉක්මනින් එතෙන්ට නොගියානම් ඒ අය ගේ ගිනි තියනවා. කවුරුහරිගේ තිබුණ වටිනා බඩු කීපයක් හොරකම් කරලා.

දැන් ඒ සිදුවීම ගැන පොලිසියෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා. දැන් මේ සිදුවීම ගැන මුළු ගමම කම්පා වෙනවා.මට වැදුන පහරවල් නිසා තවම ඇවිදින්න බැහැ. පුතාගේ හිසේ කැක්කුමක් තියෙනවා. මගේ පුතා එක්ක රණ්ඩු වෙලා රෝහල්ගත කළ ළමයාගේ අම්මා තාත්තා හෝ පවුලේ කිසිම කෙනෙක් කරදර කළේ නැහැ. ඒ ළමයාගේ නෑදෑයෝ තමයි වියරු වැටිලා ඇවිත් ගැහුවේ. එදා අපි පැනලා නොගියානම් මේ මිනිස්සු අපි මරලා ලොකු අමාරුවක වැටෙනවා. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන්වලට මම පොලිසිය එක්ක එකතුවෙලා පසුලිය කාලේ කටයුතු කළා. ඒකත් මේ පහරදීමට හේතුවක් විදිහට මම දකිනවා. මේ සිදුවීම වෙලා මාසයකට කිට්ටු උනත් අපි තවම වෛද්‍ය ප‍්‍රතිකාර ගන්නවා. දරුවන්ගේ ප‍්‍රශ්න වලට හොයන්නේ බලන්නේ නැතුව වැඩිහිටියෝ කලබල වෙන්න එපා කියලා මුළු මහත් සමාජයෙන්ම ඉල්ලා සිටිනවා.

දිඹුලාගල – ප‍්‍රසන්න සිල්වා සහ දෙහිඅත්තකණ්ඩිය – රණතුංග

advertistmentadvertistment
advertistmentadvertistment