නිසි ප්‍රතිකාර නොගන්නා නිසා ක්ෂය රෝගීන්ගෙන් 10% ක් මියයනවා – විශේෂඥ වෛද්‍ය ඔනාලි රාජපක්ෂ

101

බෙහෙත් මගින් සම්පූර්ණයෙන් සුව කරගත හැකි වුවත් නිසි කලට ප්‍රතිකාර සඳහා යොමු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වාර්ෂිකව වැඩි දෙනකු මිය යන බෝවන රෝගය බවට ක්ෂය රෝගය මේ වන විට පත් වී ඇතැයි ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ඔනාලි රාජපක්ෂ මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකාවෙන් සොයා ගනු ලබන සෑම ක්ෂය රෝගීන් 10 දෙනෙකුගෙන්ම එක් අයකු නිසි ප්‍රතිකාර ලබා නොගැනීම හේතුවෙන් මිය යන බවත් මේ අනුව වසරකට එවැනි මරණ 600ක් මෙරටින් වාර්තා වන බවත් කී වෛද්‍ය රාජපක්ෂ මහත්මිය නිසි ප්‍රතිකාර පැවතීම හේතුවෙන් මෙරට කිසිවෙකු ක්ෂය රෝගයෙන් මිය යා යුතු නැතැයි අවධාරණය කළාය.

මෙරට ජනගහනයෙන් සියයට 25කගේ ශරීරය තුළ ක්ෂය රෝග බැක්ටීරියාව පවතින බවත් ඔවුන් සැමටම මෙම රෝගය නොවැළඳෙන බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන්ට රෝගය වැළඳී නැතත් ඔවුන්ට රෝගය පැතිරීම වැළක්වීමට දැන් බෙහෙත් ලබා දෙන බවත් ඇය පැවසුවාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙරට ජනගහනයෙන් ලක්ෂයකට ක්ෂය රෝගීන් 64ක් සිටිය යුතු වුවද හමුවනුයේ එයට වඩා අඩු සංඛ්‍යාවක් බව කී වෛද්‍ය රාජපක්ෂ මහත්මිය සොයා නොගත් ක්ෂය රෝගයට ගොදුරුවූවන් සමාජයේ නිහඬව රෝගය පතුරවමින් සිටින බවත් සඳහන් කළාය. ක්ෂය රෝගය සම්බන්ධයෙන් ඊයේ (21දා ) කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් කථා කළ වෛද්‍ය රාජපක්ෂ මහත්මිය එම අදහස් පළ කළාය.

ඇය මෙසේද කීවාය. “කුඩා ළදරුවාගේ සිට වයස්ගත අය දක්වා ඕනෑම වයසක අයෙකුට ක්ෂය රෝගය වැළඳිය හැකියි. මෙම දිනවල ශ්‍රී ලංකාවේ ළමුන් අතර ක්ෂය රෝගය පැතිරීම ක්‍රමයෙන් වැඩි වීමක් දක්නට ලැබෙනවා. මේ වන විට වැඩිම ළමා ක්ෂය රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර කළුතර, ගම්පහ හා මහනුවර යන දිස්ත්‍රික්කවලින් ද ළමා ක්ෂය රෝගීන් වාර්තා වෙමින් තිබේ. සෙසු වයස් කාණ්ඩවලට අයත් ක්ෂය

රෝගීන් වැඩි වශයෙන් වාර්තා වනුයේ කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් වන අතර මෙරටින් වාර්තා වන ක්ෂය රෝගීන්ගෙන් බහුතරය එනම් සියයට 64ක් පිරිමින්.

මෙරට සෑම ප්‍රධාන රෝහලකම සතියේ දිනපහේම හා සෙනසුරාදා දිනයේ පෙරවරුවේ ක්ෂය රෝගය සඳහා නොමිලයේ ප්‍රතිකාර කරන වෛද්‍ය සායන පැවැත්වෙන බැවින් ඕනෑම අයෙකුට කලින් දිනයක් වෙන් කරවාගෙන හෝ නොගෙන එම සායනයක් වෙත ප්‍රතිකාර සඳහා යොමු විය හැකියි.

එවැනි සායනයකට ළමුන් ගෙන යාමට මැළිකමක් දක්වන අයට බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සඳුදා, බදාදා හා සිකුරාදා පැවැත්වෙන එම රෝගය පිළිබඳ විශේෂ ළමා සායන වෙත දරුවන් රැගෙන යා හැකිය.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment