රනිල් ගෙදර යන්න කිව්වට මට යන්න ගෙයක් නැහැ – පුච්චපු ගේ හදාදීලා එහෙම කියන්න – ජනපති පවසයි

157

“මට යන්න ගෙයක් නැහැ. රනිල්ට ගෙදර යන්න කිව්වට මම කොහේ යන්නද? පෙළපාලි ගිහින් මට එහෙම කියන්න එපා. විශාල සෙනඟක් ගෙනල්ලා මගේ පුච්චපු ගේ හදලා දෙන්න. ඊට පස්සේ මගේ ගෙදර ළඟින් යන ගමන් රනිල් ගෙදර යන්න කියන්න.”

රනිල් ගෙදර යන්න කිව්වට මට යන්න ගෙයක් නැහැ - පුච්චපු ගේ හදාදීලා එහෙම කියන්න - ජනපති පවසයි

තරුණයන් අරගල භූමියට ආවේ ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියලා. ඒ ගැන මට විවාදයක් නැහැ. ඒත් වෙනත් අය ප්‍රචණ්ඩත්වයට සමහරු යොමු කෙරෙව්වා. මැයි 9 සිදුවීමේදීත් සමහරු වින්ද දුක මම දන්නවා. සමහරුන්ට ගෙවල් නැති වුණා. මරණ තර්ජන ආවා. ඒ කාලය දැන් ඉවරයි. අපි බලමු සියලු පක්‍ෂ එකතු වී සර්ව පාක්‍ෂික ආණ්ඩුවකින් කටයුතු කරන්න. සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ හා මුස්ලිම් කොංග්‍රසයටත් ඇරයුම් කරනවා, මීට එකතු කරගන්න.

පැරණි සටන් පාඨවලින් දැන් ඵලක් නැහැ ජනතා ප්‍රශ්න විසඳිය හැක්කේ  සියලු දෙනා එකට එක්වීමෙන් පමණයි – – රනිල් නුවර ජනපති මැඳුරේදී කියයි

තෙල් නැතිවුණා…පොහොර නැතිවුණා…..
ප්‍රශ්න ආවා….පීඩනය පිපිරුවා


රටේ ඇති වී තිබෙන ආර්ථික පීඩනය මත දේශපාලන විපර්යාසයක් ඇතිවී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අතීතිය පිළිබඳ වාද කරමින් එකිනෙකාට චෝදනා එල්ල කර ගැනීමෙන් වැළකී සියලු දේශපාලන පක්ෂ මේ මොහොතේ අනාගතය වෙනුවෙන් එක්ව වැඩ කිරීමට සූදානම් විය යුතු බව ද ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ය.

අරගල හා උද්ඝෝෂණ තුළට වෙනත් කණ්ඩායම් හා සංවිධාන ඇතුළු වී නිවාස ගිනි තබමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට ෆැසිස්ට් ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කළ බවද ඒ මහතා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීවරු ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් පිරිසකගේ සහභාගිත්වයෙන් මහනුවර ජනපති මැඳුරේදී පෙරේදා (30දා) පැවැති රැස්වීමකදී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් කතා කළ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

අපේ රටේ සම්ප්‍රදාය වුණේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් වාද කරන එකයි. සමහර වෙලාවට දෙගොල්ලෝ හැප්පෙන ගතියකුත් දකින්න ලැබුණා. අද එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් දේශපාලනඥයන් මෙතන එකට ඉන්නවා. මේක අලුත් දෙයක්. මේ රටේ විශාල ආර්ථික පීඩනයක් ඇති වුණා. ඒ පීඩනය නිසා දේශපාලන විපර්යාසයක් ඇති වුණා. ඒ විපර්යාසයෙන් මම ජනපති වුණා. දිනේෂ් ගුණවර්ධන මහතා අගමැති වුණා. ගෝඨාභය රාජපක්ෂ මහතා තනතුරෙන් ඉවත් වුණා. මේ සියලු විපර්යාසය ඇතිවුණේ ආර්ථික හේතු නිසයි. පොහොර හා තෙල් නැති වුණා. මේ ප්‍රශ්න නිසා ජනතා පීඩනය පිට වුණා. ඒ එක්කම මේ ඇති වුණ උද්ඝෝෂණවලට අරගලවලට අපි බලාපොරොත්තු නොවුණු විදිහට වෙනත් සංවිධාන ඇවිල්ලා අරගලය මුවාවෙන් වාසි ගත්තා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට අපි ෆැසිස්ට් ත්‍රස්තවාදයට මුහුණ දුන්නා. ගෙවල්, පොත් පුච්චන එක හිට්ලර් ගෙන් ඉගෙන ගත්ත එකක්. එල්.ටී.ටී.ඊ. සංවිධානය කළේ බෝම්බ ගහන එක වෙඩි තියන එක වගේ දේවල්. පළමු වතාවට අපිට ෆැසිස්ට් කණ්ඩායමක් එක්ක කටයුතු කරන්න සිදු වුණා. සිවිල් සමාජයේ සමහරු එතන්ට අවා. විශාල සමාජ කැළඹීමක් ඇති වුණා. එතනින් පස්සේ තමයි මම ජනපතිකම භාර ගත්තේ. මේ රටේ ආර්ථික පීඩනය නැති වෙලා නැහැ. ජනතාවට තිබෙන ප්‍රශ්න ඒ විදිහටම තියෙනවා.

ගෑස්, පොහොර, ඉන්ධන නැති එක බඩු මිල වැඩිවන එක රැකියා නැති වන එක වගේම සංවර්ධනයට මුදල් නැති ප්‍රශ්නයත් තිබෙනවා.

මේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න වැඩි කරනවාද අඩුකරනවාද කියලා අපි තීරණය කරන්න ඕන. අද අපේ රටේ තිබෙන ආර්ථික තත්ත්වය තවත් වැටුණොත් රටත් නැති වෙනවා. මේ වසරේ අපේ ආර්ථිකය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7 % කින් අඩු වෙනවා. ඒක විශාල ප්‍රමාණයක්. එන වසරේ අපි ගන්න පියවර නිසා ඒක 3 % කින් අඩු වෙනවා. ඊළඟ වසරේදී අපිට අපේ අයවැයෙන් පුළුවන් 1 % ක අතිරික්තයක් ලබා ගන්න. අපේ උද්ධමනය තවත් වැඩි වෙනවා. මේවා කියන්නේ කාවවත් බය කරන්න නෙවෙයි. මේවාට විසඳුම් සොයන්න තියෙනවා. ඒ විසඳුම් මගින් තමයි අපිට අලුත් දේශපාලනයට එන්න පුළුවන්. විසඳුම් නොසොයා පරණ සටන් පාඨ කියලා හරියන්නේ නැහැ. දැන් සමහරු කියනවා මේ ආර්ථික අර්බුදය ඇතිවුණේ ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා පොහොර ගෙනාවේ නැති නිසා කියලා. අපේ පක්ෂය කියනවා මේක ඇතිවුණේ ජත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට වෙලාවට නොගිය නිසා කියලා. පොදුජන පෙරමුණ කියනවා මීට කලින් හිටපු ආණ්ඩුව විශාල ණයක් ගත්ත නිසා අර්බුදය ඇතිවුණා කියලා. මම අහන්නේ මේවා ගැන වාද කරමින් ඉඳලා වැඩක් තිබෙනවාද නැත්නම් අපි වැඩ කරනවාද කියලයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පොහොර ගෙනාවේ නැහැ කියලා, ජත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියේ නැහැ කියලා වාද කරලා එක පොහොර නැවක් හරි ගෙන්වා ගන්න පුළුවන් නම් අපි වාද කරමු. යහපාලන ආණ්ඩුව ගත්ත ණය නිසා මේ අර්බුදය ඇතිවුණේ කියලා ඩොලර් මිලියන 50 ක් ගන්න පුළුවන් නම් වාද කරමු. මේ එක වාදයකින්වත් රට දියුණු වෙන්නේ නැහැ. අපි කාලය යොදවන්න ඕන වාද විවාද කරන්න නොව විසඳුම් සොයන්නයි.

සමහරු කියනවා රනිල් ගෙදර යවන්න පෙළපාලි යනවා කියලා. කරුණාකරලා ඒක කරන්න එපා කියලා මම කියනවා. මොකද මට යන්න ගෙයක් නැහැ. විශාල සෙනඟක් ගෙනල්ලා මාස යහකින් ගේ හදලා ඊට පස්සේ මගේ ගෙදර පහු කරලා යන ගමන් රනිල් ගෙදර යන්න කියලා කියන්න. අපි තාමත් ඉන්නේ සම්ප්‍රදායික පරණ දේශපාලනයේ. එකිනෙකාට ඇඟිල්ල දික් කරනවා. ඒකෙන් උද්ධමනය අඩුවී දළ දේශීය නිෂ්පාදනය වැඩි වෙනවාද ?. අපි දැන් තෙල්, ගෑස්, පොහොර ලබාදෙන්න මුදල් සොයන්න. මේවා තමයි දේශපාලනය කියන්නේ. මම අගමැති වෙලා මුදල් ඇමැතිකම ගත්තට පස්සේ අයි.එම්.එෆ්. එකත් එක්ක සාකච්ඡා කරලා විසඳුම් ගණනාවක් අරන් ආවා. මගේ පරමාර්ථය වුණේ ජූලි මාසේ එකඟතාවකට ඇවිල්ලා අගෝස්තු පළමු සතියේ ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ මණ්ඩලයෙන් අනුමත කර ගන්න. ඒත් ජනවාරි 09 වැනිදා ඉඳන් අදවනතුරු මුකුත් වුණේ නැහැ. දැන් ඒක කල් යනවා අගෝස්තු මාසේ අන්තිම දක්වා. පළමු සතියෙන් පස්සේ නිවාඩු කාලය එළඹෙනවා. අපිට අනුමත කරගන්න සැප්තැම්බර් මාසේ විතර වෙයි. මේ එකඟතාව නැතුව කවුරුවත් මුදල් දෙන්නේ නැහැ. අපි තවත් මේ එකිනෙකාට චෝදනා කරන දේශපාලනයේ ඉන්න හොඳ නැහැ. අලුතින් හිතන්න ඕන. තරුණයෝ මුලින්ම අරගල භූමියට ආවේ රටට ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියලා. ඒ ගැන මට කිසිම විවාදයක් නැහැ. ඒක වෙනත් අය තමන්ගේ ග්‍රහණයට අරන් ප්‍රචණ්ඩත්වයට යොමු කළා.

අපි කොහොමද අපේ ගම්මාන දියුණු කරන්නේ. දැන් ජත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් අපි ගිවිසුමක් ගහලා එහෙන් මෙහෙන් සල්ලි ගත්තා කියලා අපේ ප්‍රශ්න අවසන් කියලා හිතන්න එපා. අපේ ණය බර තවත් වැඩි වෙනවා. අපි කොහොමද මේ ණය ගෙවන්නේ. ඒ සඳහා අපිට වැඩි වැඩියෙන් විදේශ විනිමය අවශ්‍යයයි. ඒ සඳහා අලුත් මාර්ග ඕන. රටේ කෘෂිකර්මාන්තය නවීකරණය විය යුතුයි. මේ දිහා බලලා වැඩ කරනවාද නැත්නම් සටන් පාඨ කියනවාද කියලා අපි තීරණය කරන්න ඕන. මෙතන ඉන්න පොදුජන පෙරමුණේ හා එජාප මන්ත්‍රීවරු ඒ ගැන හිතලා තීරණ ගන්න ඕන. මේ අර්බුදකාරී අවස්ථාවේ අපි රට භාර ගත්තේ නැත්නම් රට නැති වෙනවා. ඊළඟ පරම්පරාව අපිට සාප කරනවා. අපි

නැඟිටිනවාද නැත්නම් වැටෙනවාද කියන එක තමයි ජනාධිපතිට, පාර්ලිමේන්තුවට, කැබිනට් මණ්ඩලයට වගේම අපි හැමෝටම තිබෙන අභියෝගය. අලුත් ශක්තිමත් මධ්‍යම පන්තියක් ඇති කරනවාද, කෘෂිකර්මාන්තයේ නවීකරණයක් සිදු කරනවාද, අපනයන වැඩි කරන ආර්ථිකයක් ඇති කරනවාද කියන කාරණා අප ඉදිරියේ තිබෙනවා. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා දැන් තිබෙන ආර්ථිකය ඇති කළේ 1977 දීයි. මම ඒකේ කොටස්කාරයෙක්. ඒ ආර්ථිකයේ කාලය දැන් අවසන්.

දැන් මේ ආර්ථිකය කඩා වැටිලා. කලින් සිටි තැනට යන්න බැහැ. ඊට කලින් තිබූ බි්‍රතාන්‍යය යුගයට යන්නත් බැහැ. ඊට කලින් තිබූ මහනුවර යුගයට යන්න බැහැ. අලුතින් හිතලා ඉදිරියට යන්න ඕන. ඒ සඳහා අපේ ගම්මාන නවීකරණය කරන්න ඕන. අපිට තාමත් ඩිජිටල් ආර්ථිකයක් නැහැ. හැමෝම වගකීම් භාර ගන්න ඕන. එකතු වෙලා වැඩ කරනවාද නැත්නම් බෙදී වෙන්වී විනාශ වෙනවද කියලා අපි තීරණය කරන්න ඕන. වෙන අයට ඇවිල්ලා අපිව බෙදන්න ඉඩ දෙන්න බැහැ. අපේ පළමුවැනි යුතුකම කොයි පක්ෂයේ වුණත් නීතිය හා සාමය ආරක්ෂා කිරීමයි. මම කොයි අවස්ථාවේදීවත් ගෙවල් පුච්චන වැඩසටහන්වලට එකඟ වෙන්නේ නැහැ. දේශපාලන වශයෙන් විවිධ මත තිබුණත් අපේ මිත්‍රකම් නැති කරන්න අවශ්‍යය නැහැ. අලුතින් හිතලා ඉදිරියට යන්න ඕන. ඒ පණිවිඩය අපි ගමට ගෙනියන්න ඕන. මේ සියලු දෙනාම පොදුජන පෙරමුණේ එජාපයේ වුණත් නිශ්ශබ්ද වෙලා ඉන්නේ ඇයි. ආණ්ඩු බලය අපේ අතේ තියෙත්දී නිශ්ශබ්දව ඉන්න එපා. අපි එකතු වෙලා මේ පණිවිඩය දෙමු. මම ඒකයි පක්ෂ නායකයන්ට ආරාධනය කළේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න. මේ රටේ ප්‍රශ්න විසඳන්න හොඳම දේ සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනැඟීමයි. ඒක සියලු දෙනා පිළිගන්නවා. කවුරුවත් ඒ ගැන වාද කරන්නේ නැහැ. කොළඹ සමහර දේශපාලන නායකයන් වාද කළත් ගමේ එහෙම නැහැ. අපි දැන් එකතු වෙන්න ඕන කියන පණිවිඩය ජනතාව අතරට ගෙනියන්න. මැයි 09 වැනි දින සිදුවීමේදී ඔබලා වින්ද දුක මම දන්නවා. ගෙවල් නැති වුණා. සමහරුන්ට ගමෙන් යන්න වුණා. මරණ තර්ජන පවා එල්ල වුණා. ඒ කාලය දැන් ඉවරයි. අපි බලමු එකතු වෙලා රට වෙනුවෙන් වැඩ කරන්න. මම කැමතියි සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, කොංග්‍රසසය නියෝජනය කරන අයත් අපි සමඟ එකතු වෙලා වැඩ කරනවා නම්. අද ගමේ ඉන්නවා රැකියා නැති අය විශාල පිරිසක්. ආහාර වේල සොයා ගන්න බැරි අයත් ඉන්නවා. ඒ අය ගැන හොයන්න. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ටත් මේ ගැන වගකීමක් තිබෙනවා. මේ ප්‍රශ්න වලින් ගොඩ එන්න අලුත් ක්‍රමවේදයක් ඊළඟ සති දෙක තුන දැනුම් දෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවක් ඕන කියලා විශාල බලවේගයක් හදන්න.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් නායක, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මෙසේ කීවේය. රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ධුරයට පත්වුණේ අනෙකුත් ජනපතිවරු පත්වූ ක්‍රමයට වඩා වෙනස් විදිහකටයි. බලයේ සිටි අනෙකුත් ජනපතිවරන්ට වඩා වැඩි වගකීමක් ඔබතුමාට පැවරෙනවා. පසුගිය මාස කිහිපයේදී මේ රටේ සමාජ, ආර්ථික හා දේශපාලනික කඩා වැටීමක් අපි දැක්කා. ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම තුළ රට කොහොටද ගමන් කරමින් තිබුණේ කියලා අපි හැමෝම දන්නවා. පාර්ලිමේන්තුවේ 225 දෙනා අතරින් 127 ක බහුතරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තිබෙනවා. මේ අභියෝගය භාර ගන්න මේ අවස්ථාවේ සිටින සුදුසුම කෙනා රනිල් වික්‍රමසිංහ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළා. රට සහ ජනතාව වෙනුවෙන් අපි සියලු දෙනා ජනපති ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන්න සහය දුන්නා.

එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙසේ පැවසුවේය… පවතින අර්බුදයෙන් මුදාගෙන මේ රට ඉදිරියට ගෙන යන්න නම් අපි සියලු දෙනා පක්ෂ, පාට බේද නැතුව එකතු වෙන්න ඕන. පසුගිය කාලයේ අපි පක්ෂ, පාටවලට විතරක් නෙවෙයි ජාති, ආගම් ලෙසත් බෙදී හිටියා. අපි සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස එකතු වෙන්න ඕන. අරගලය තුළ ඉතා වටිනා හොඳ අදහස් ඉදිරිපත් කළ අය හිටියා. අපි ඔවුන්ගේ අදහස්වලට ඇහුම්කන් දෙනවා.

එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේ ප්‍රකාශ කළේය…. නීතියේ ආධිපත්‍යය බිඳ වැටී පොලිසියේ හමුදාවේ සාමාජිකයන්ට ඇතැම් අය බලු බල්ලන්ට වගේ කතා කරන්න පටන් ගත්තා. හමුදා නිලධාරියාගේ නිල ඇඳුම අල්ලලා හෙල්ලුවා. ටී.56 අතේ තියාගෙන හමුදා සාමාජිකයාට පහරදී ඝාතනය කරන්න උත්සහ කළා. විනයගරුක හමුදාවක් හා පොලිසියක් අපිට ඉන්නේ. ඒ අය ගුටි කකා බැනුම් අහමින් තමන්ගේ රාජකාරිය කළා. අද නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කර තිබෙනවා. පොහොර ප්‍රශ්නයට විසඳුම් දෙන්න පියවර ගෙන තිබෙනවා. ගෑස් හිඟයට පිළියම් යොදලා ඉවරයි. අද අපිට තිබෙන්නේ ඉන්ධන ගැටලුව විතරයි. ඒකට ඉක්මනින්ම විසඳුම් දෙනවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ විශ්වාසවන්තයන් අතර විශ්වාසවන්තයෙක්. රනින් වික්‍රමසිංහ කියන්නේ බලය රැක ගැනීමට හෝ බලය ලබා ගැනීමට හෝ කිසිදු අවස්ථාවක බොරු කරන වංචා කරන කෙනෙක් නෙවෙයි. ඒ විශ්වාසය සමඟ අපි ඉදිරියට යමු. නයි මුගටි වෛරය නැති කරනා අපි සියලු දෙනා ලංකාව ගොඩනඟන්න එකතු වෙමු.

ලක්වනිතා පෙරමුණේ සභාපති ශාන්තිනි කෝන්ගහගේ, මහනුවර පුරපති කේසර සේනානයක යන මහත්වරු ද මෙහිදී කතා කළහ. අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාග වූහ.

සමන්තී වීරසේකර


 

advertistmentadvertistment
advertistmentadvertistment