මේ ආර්ථික ගමන් මඟ වෙනස් කළොත් රට යළි වළට වැටෙනවා – මහ බැංකුවේ අධිපති අනතුරු අඟවයි

223

තවමත් රට මුළුමනින්ම ආර්ථික අර්බුදයෙන් මිදී නොමැති බැවින් රට දැනට සැලසුම් කර ගමන් කරමින් තිබෙන මාවතෙන් ඉවත්වීම සඳහා කිසිදු අවකාශයක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

මේ නිසා ක්‍රියාවට නැංවූ සහ සැලසුම් කරන ලද තීරණාත්මක ප්‍රතිසංස්කරණ ආපසු හැරවීම (වෙනස් කිරීම) ආර්ථිකය නැවතත් අස්ථායි තත්ත්වයට ඇද වැටීමට හේතුවනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

කොළඹ මහ බැංකු මූලස්ථානයේදී ඊයේ (07දා) පැවැති මාධ්‍ය හමුවකදී ‘දිවයින’ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කීවේය.

මේ කියන දෙයින් අදහස් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ ඒ තියෙන දිශාවටම ඒ මාර්ගයේම ගියොත් තමයි මේ ඇතිකරගෙන තිබෙන ආර්ථික ස්ථායිතාව ස්ථීරසාර ස්ථායිතාවක් බවට පත්කර ගත හැක්කේ කියන එකයි.

ඒ සඳහා මහ බැංකුවේ ප්‍රතිපත්ති, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති අයි.එම්.එෆ්. වැඩසටහන යටතේ රජය බැඳී සිටින ආර්ථික ප්‍රතිසංස්කරණ යනාදිය ඇතුළත් වන බවද ඒ වැඩපිළිවෙළ තියෙන දිශාවටම ගමන් කිරීම ස්ථීරසාර ආර්ථික ස්ථායිතාවක් ඇතිකර ගැනීම සඳහා ඉතාම වැදගත් වන බව මහ බැංකුව සිය වාර්ෂික ආර්ථික විවරනයෙන්ද දැනුම්දී ඇති බවද මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.

මේ අනුව ප්‍රතිපත්ති ආපසු හැරවීම (ප්‍රතිපත්ති වෙනස් කිරීම) ආර්ථිකය නැවත අස්ථායි තත්ත්වයට පත්වීමට හේතුවනු ඇති බැවින් ඒ නිසා ඇතිවන ආර්ථික පසුබෑම් වළක්වා ගැනීම සඳහා පුළුල් දේශපාලන හා සමාජ එකඟතාවයක් මත ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අතිශයින් තීරණාත්මක කරුණක් බවද මහ බැංකු අධිපතිවරයා තවදුරටත් සඳහන් කළේය.

මේ මාධ්‍ය හමුවට මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ඉවට් ප්‍රනාන්දු මහත්මිය ඇතුළු මහ බැංකු උසස් නිලධාරීහු රැසක් සහභාගි වී සිටියහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment