ඔන්ලයින් ගේම් දෙස පොලිස් ඇස

336

රෝගියාගේ ගිණුමෙනුත් ලක්ෂ 38ක් ඇදලා
ගිණුම් විස්තර වෙන අයට දෙන්නේ බලාගෙන

ඔන්ලයින් ක්‍රමයට සිදුකරන මූල්‍ය ගනුදෙනු හරහා අන්සතු බැංකු ගිණුම්වලින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචනික ලෙස ලබාගන්නා සංවිධානාත්මක කණ්ඩායම් කීපයක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මූල්‍ය ගනුදෙනු කිරීමේ දී ඉතාම සැලකිලිමත් වන ලෙස පොලිසිය මහජනතාවට අනතුරුව අඟවයි.

ඔන්ලයින් ක්‍රමය යටතේ මූල්‍ය ගනුදෙනු කිරීමෙන් පසු මෙම සංවිධානාත්මක කණ්ඩායම්වල වංචාවට හසු වූ විශාල පිරිසක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, වංචා විමර්ශන අංශයට සහ රටපුරා පොලිස් ස්ථානවලට පැමිණිලි කර තිබේ.

ඔන්ලයින් ක්‍රමය යටතේ ගනුදෙනු කරන සාමාන්‍ය පාරිභෝගික ජනතාව, ව්‍යාපාරිකයන්, විවිධ රැකියාවල නිරත වූවන් ඇතුළු විශාල පිරිසක් මෙම වංචනික සංවිධානාත්මක කණ්ඩායම්වලට මේ වන විටත් හසුවී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම සංවිධානාත්මක කණ්ඩායම් විවිධ පුද්ගලයන් තම වංචාවන්ට හසුකර ගැනීම සඳහා විවිධ ක්‍රම භාවිතා කරන බව පොලිසිය පවසයි.

පළකරන දැන්වීම් ඔස්සේ විවිධ පුද්ගලයන්ගේ ජංගම දුරකථන අංක ලබාගන්නා මෙම සංවිධානාත්මක කණ්ඩායම් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මූල්‍ය ගනුදෙනු කිරීමට ඔවුන් පොළඹවා ගන්නා බව පොලිසිය පවසයි.

පසුව එම පුද්ගලයන්ගේ බැංකු ගිණුම් අංක ලබාගන්නා මෙම සංවිධානාත්මක කණ්ඩායම් එම බැංකු ගිණුම් හිමියන් සතු පෞද්ගලික දත්ත රැස්කර ඇති ඕ. ටී. පී. අංකය ලබාගැනීමට කටයුතු කරයි.

පසුව අන්තර්ජාලය හරහා එම බැංකු ගිණුම් හිමියාගේ ගිණුම්වලට ඇතුළු වන මෙම සංවිධානාත්මක පිරිස් ඒවායේ ඇති මුදල් වෙනත් ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරයි.

මේ ආකාරයට මීට දින කීපයකට උඩදී කඩවත ප්‍රදේශයේ පුද්ගලයකු මෙම වංචනිකයන්ට හසුවී ඇත. තම ලැප්ටොප් පරිගණකය අලෙවි කිරීම සඳහා සමාජ ජාලා වෙබ් අඩවියක දැන්වීමක් පළ කිරීමෙන් පසු මෙම සංවිධානාත්මක කණ්ඩායමක පුද්ගලයකු ඔහුට ඇමතුමක් ලබාදී තිබේ.

පසුව එම ලැප්ටොප් පරිගණකය මිලදී ගැනීම සඳහා අවශ්‍ය බව පවසා අදාළ මුදල් බැර කිරීමට යැයි කියමින් ඔහුගේ බැංකු ගිණුම් අංකය ඉල්ලාගෙන ඇත.

ඒ ඔස්සේ එම පුද්ගලයාගේ බැංකු ගිණුමේ ඕ. ටී. පී. අංකය ලබාගෙන ඇති වංචනික පිරිස අන්තර්ජාලය ඔස්සේ ඉතාම සූක්ෂමව ඔහුගේ බැංකු ගිණුමට ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ දෙකහමාරකට ආසන්න මුදලක් වෙනත් ගිණුමකට බැරකර ගැනීමට කටයුතු කර ඇත.

මේ ආකාරයට පිළිකා රෝගීන්ගේ මෙන්ම විවිධ ආපදාවන්ට, රෝගී තත්ත්වයන්ට මෙන්ම අසරණ භාවයට පත්වූවන්ගේ බැංකු ගිණුම් වෙත ලැබෙන ආධාර මුදල් එම ගිණුම්වලින් වංචනික ලෙස ලබාගන්නා වැඩපිළිවෙළක් ද ඉතාම දරුණු අන්දමින් රටපුරා ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පොලිසිය පවසයි.

පිළිකා රෝගියකුගේ බැංකු ගිණුමකට බැර කර තිබූ රුපියල් ලක්ෂ 38ක මුදලක් මේ ආකාරයට සංවිධානාත්මක කණ්ඩායමක් විසින් වංචනික ලෙස ලබාගත් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට කරුණු වාර්තා කර තිබිණි.

අදාළ පිළිකා රෝගීන් මුදල් ඉල්ලා අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ලද ඉල්ලීම් කෙරෙහි ප්‍රතිචාර දක්වන මෙම සංවිධානාත්මක පිරිස් මූල්‍ය ප්‍රතිලාභ එකතු කර දෙන බව පවසමින් ඔවුන් රවටා අදාළ බැංකු ගිණුම් විස්තර ඇතුළු සියලු තොරතුරු ලබාගෙන ඔවුන්ගේ බැංකු ගිණුම්වලට අන්තර්ජාලය ඔස්සේ ඇතුළු වී එම ගිණුම්වල මුදල් ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.
ඒ. ජේ. ඒ. අබේනායක, හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment