පෙර පාසල් දැරිය හා මිත්තණිය බිලිගත් රියැදුරු අවුරුදු 12ක් හිරේ

438

ත්‍රිරෝද 3 ක් හැප්පූ ඇඹුල්දෙණියේ ඛේදවාචකය
බස් රථයේ හිමිකරුටත් අත්හිටුවූ සිරදඬුවම්
දඩ හා වන්දි ගෙවන්නත් නියෝග

අපරීක්ෂාකාරීව හා අධික වේගයෙන් රිය පදවා අනතුරක් සිදුකර ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පෙර පාසල් දැරියක හා ඇගේ මිත්තණිය මරණයට පත් කර එම දැරියගේ මව ඇතුළු පිරිසකට බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු චෝදනාවලට වරදකරු කරනු ලැබූ පෞද්ගලික බස් රථ රියැදුරෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ඊයේ (06දා) බරපතළ වැඩ සහිත වසර 12 සිරදඬුවම් නියම කළේය.

එම විත්තිකරු පැදවූ මාර්ග අංක 119 නුගේගොඩ – මහරගම මාර්ගයේ මගී ප්‍රවාහනය සිදු කරන බස් රථය 2007.01.10 වැනිදා ඇඹුල්දෙණිය තිලක බේකරිය අසලදී ත්‍රිරෝද රථ තුනක හප්පා අනතුරක් සිදුකර තිබූ අතර එක් ත්‍රිරෝද රථයක සිටි පෙර පාසල් දැරියක එම ත්‍රිරෝද රථයෙන් එළියට විසිවී මියගොස් තිබිණි. ඇගේ මිත්තණිය ද ත්‍රිරෝද රථය තුළම මියගොස් තිබිණි. එම දැරියගේ මව ඇතුළු තවත් තිදෙනකු බරපතළ තුවාල ලබා තිබිණි.

කුසන්ත ගුණරත්න නමැති එකී විත්තිකරුට රුපියල් 18,000ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා පැමිණල්ලේ 7 සහ 8 සාක්ෂිකරුවන් ලෙස නම් කොට තිබූ මරණයට පත්වූ දෙදෙනාගේ සමීප ඥාතීන්ට රුපියල් එක්ලක්ෂ පනස්දහසක වන්දියක් ගෙවනා ලෙසටත් නියෝග කළේය. එයට අමතරව පැමිණිල්ලේ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට රුපියල් ලක්ෂයක මුදලක් ගෙවනා ලෙසට ද නියම කළ විනිසුරුවරයා දඩ හා වන්දි නොගෙවන්නේ නම් මාස 54 ක අමතර සිරදඬුවම් ලබාදීමට ද නියෝග කළේය. එම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත විපුලනායක මහතා කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා එලෙස අවම සිරදඬුවම් නියම කර විත්තිකාර රියැදුරුට එරෙහිව ගොනුකර තිබූ තවත් චෝදනා හතරකින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට ද නියෝග කළේය.

එම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කොට තිබූ චාමර චමින්ද ලියනගේ නමැති බස්රථ හිමිකරුට මාස 15ක සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා එකී සිරදඬුවම් ක්‍රියාත්මක කිරීම වසර 15 කට අත්හිටුවීමට ද නියෝග කළේය. එයට අමතරව එම බස්රථ හිමිකරුට රුපියල් 21,000 ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා රිය අනතුරින් මියගිය පවුල්වල ඥාතීන්ට රුපියල් 250,000 ක වන්දියක් ගෙවන ලෙසටත්, සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරියට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ගෙවනා ලෙසටත් නියෝග කළේය.

2007 ජනවාරි 10 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී මිරිහාන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය ඉදිරිපත් කළ විමර්ශන වාර්තා සලකා බැලූ නීතිපති ජයන්ත ජයසූරිය මහතා 2017.11.08 වැනිදා එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අධිචෝදනා 20ක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි. එකී විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව පැමිණිල්ල විසින් ගොනු කර ඇති අධිචෝදනා අතරින් කිහිපයක් පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට තම අධිකරණය විසින් තීරණය කොට ඇතැයි නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා පෙන්වා දුන්නේය. ඉන් අනතුරුව අධිකරණය ඇමතූ පැමිණිල්ල මෙහෙය වූ රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා මහතා තරගකාරී අයුරින් මගීන් ප්‍රවාහනය සිදුකරන පෞද්ගලික බස්රථ රියැදුරන් මගීන්ගේ ජීවිත තුට්ටුවකට නොසලකා ඉතා අපරීක්ෂාකාරීව රිය පදවන අයුරු නිරතුරුවම දක්නට ඇසෙන්නට ලැබෙන බවත් එවැනි නොහික්මුණු රියැදුරන්ට පාඩමක් කියාදෙන පරිදි උපරිම දඬුවම් ලබාදෙන ලෙසටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සිය බස්රථය මගී ප්‍රවාහනයට නුසුදුසු හා නිසි පරිදි නඩත්තු නොකරන ලද බස් රථයක් බව දනිමින්ම බස්රථ හිමිකරු විත්තිකාර රියැදුරුට එය මගී ප්‍රවාහනය සඳහා ලබාදී ඇති බැවින් එකී බස් රථ හිමිකරුට ද උපරිම දඬුවම් නියම කරන්නැයි ද රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා මහතා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය. ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී අල්විස් මහතා දෙවන විත්තිකාර බස්රථ හිමිකරු වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment