නැවුම් වෙනසක් කරා නීති ප්‍රතිසංස්කරණය කරමු

72

සමගි ජනබලවේගයේ නීතිඥ සාමුහිකය විසින් සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පවත්වන්නට යෙදුණු නීති සැසියේදී එකඟවූ යෝජනා ඇසුරෙන් මෙම ලිපිය සැකසේ.

මෙම ලිපියේ මුල් කොටස ඊයේ (16 දා) පළ විය.

දේශපාලකයන්ගේ පවුල්වල සාමාජිකයන් කිසිවෙකුට ආණ්ඩුව සමග කිසිදු ගිවිසුමකට ඇතුළත් වීමට ඉඩ ලබා නොදිය යුතුය. මේ සම්බන්ධව පෙට්‍රල් ෂෙඩ් සම්බන්ධ ගිවිසුම්, බාර් සම්බන්ධ ගිවිසුම්, කොන්ත්‍රාත් ද ඇතුළත් විය යුතු ය. පවුලට සම්බන්ධ දේශපාලකයාගේ ධුර කාලය තුළ එවන් ගිවිසුමකට එළඹ ඇත්නම් ඒවා අවලංගු කළ යුතුය. ජනාධිපතිවරයාගේ අග්‍රාමාත්‍යවරයාගේ මැති ඇමැතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයන් අමාත්‍යාංශවල පෞද්ගලික කාර්ය මණ්ඩලයේ හෝ ඔවුන් යටතේ ඇති කිසිදු ආයතනයක සේවය නොකළ යුතුය.

අදාළ මහ මැතිවරණයකදී ඡන්දයෙන් තේරී පත්වීමට අසමත් වූ කිසිදු පුද්ගලයෙකුට එම පාර්ලිමේන්තුවේ නිල කාල සීමාව සඳහා ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු ලෙස තේරී පත් විය නොහැකි විය යුතු ය.

මහාධිකරණයක් විසින් විශේෂිත අපරාධ වරදකට වරදකරුවකු කළ කිසිදු පාර්ලිමේන්තු සාමාජිකයෙකු පාර්ලිමේන්තු සැසිවලට සහභාගි වීම වැළැක්විය යුතුය. ඇමැතිවරයෙකු හෝ රාජ්‍ය සේවකයකු සම්බන්ධ කාරණයකදී අදාළ නඩු විභාගයේ තීන්දුව ලැබෙන තෙක් ඔහු අමාත්‍යවරයෙකු ලෙස සේවය කිරීම අත්හිටුවිය යුතු ය. පාර්ලිමේන්තුවේ කිසිදු සාමාජිකයෙකු සදාචාරාත්මක නොවන ක්‍රියාවක් එනම් සාවද්‍ය පරිහරණය, සාපරාධී විශ්වාසය කඩ කිරීම, අනර්ථය, සොරකම හෝ ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ කිසියම් ගිවිසුමකට එළඹ තිබීම වැන්නක් සිදු කර තිබීම ඔහු හෝ ඇය පාර්ලිමේන්තු සාමාජිකයෙකු ලෙස තවදුරටත් සිටීමට නුසුදුසු තත්ත්වයට පත් කළ යුතු අතර එවැන්නක් ඔහු හෝ ඇය පාර්ලිමේන්තුවෙන් නෙරපීමට හේතු විය යුතු ය. අභියාචනය පවතින කාලසීමාව තුළ ඔහුට හෝ ඇයට පාර්ලිමේන්තුවට සහභාගි විය නොහැකි විය යුතු ය.

පාර්ලිමේන්තුවේ සියලු අමාත්‍යවරුන්ට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එක් ආරක්ෂක භටයෙක් පමණක් සිටිය යුතු ය. එකී ආරක්ෂක නිලධාරියා සඳහා වාහනයක් ලබා නොදිය යුතුය. වැඩිදුර ආරක්ෂාවක් අවශ්‍ය වන්නේ නම්, ඒ සඳහා වන වියදම් අමාත්‍යවරයාගෙන් හෝ සාමාජිකයාගෙන් පෞද්ගලිකව අය කර ගත යුතු ය.

නිල රථයක් වෙන් කළ යුත්තේ අමාත්‍යවරයෙකු හෝ රාජ්‍ය අමාත්‍යවරයෙකු වෙනුවෙන් පමණි. වත්මන් තක්සේරු කිරීමේ ක්‍රමයක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරුන් වෙත ලබාදෙන සියලු පහසුකම්වලට අදාළව බදු අය කළ යුතු ය. එවන් තැනැත්තන්ට ලබාදී ඇති නිල රථ හෝ වෙනත් කිසිදු පහසුකමක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආණ්ඩුවේ ප්‍රධාන තක්සේරුකරු විසින් පූර්වයෙන් තීරණය කරන ලද මුදලක් ගෙවීමෙන් තොරව භාවිත කළ නොහැකි විය යුතු ය. මෙයට නිල නිවාස ද ඇතුළත් විය යුතු ය.

ආණ්ඩුවේ සියලු වාහනවල රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කළ යුතු ය.

ජනාධිපති, අගමැති, අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ රාජ්‍ය සේවකයින්ට එක් නිල රථයකට වඩා භාවිත කිරීමට ඉඩ නොදිය යුතු ය. ඔවුන්ට වසර 5ක් භාවිත කිරීමෙන් පසුව මිස රථය වෙනස් කිරීමට ඉඩ ලබා නොදිය යුතු ය. රථවාහන දෝෂ පවතින විට භාවිත කිරීමට අතිරික්ත රථවාහන පැවතිය යුතු ය. එසේ වුවද ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයා සහ විනිශ්චයකාරවරුන් වෙත සපයනු ලබන ආරක්ෂක වාහනවලට මෙය බලපාන්නේ නැත.

ජනාධිපති, අගමැති හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශ්‍රාම ගැනීමෙන් පසුව විශ්‍රාම වැටුපකට, වරප්‍රසාද හෝ නිල නිවාස හිමිකමක් නොතිබිය යුතු ය.

නියත වශයෙන්ම අත්‍යවශ්‍ය වන්නේ නම් මිස විදේශ සංචාරයන්හි නිරත විය නොහැකි විය යුතු ය.

බදුවලින් නිදහස් කෙරෙන බලපත්‍ර මෝටර් රථ හෝ ජීප් රථ පාර්ලිමේන්තු සාමාජිකයන්ට ලබා නොදිය යුතු ය. කෙසේ නමුත් අත්‍යවශ්‍ය අවස්ථාවකදී එවන් බලපත්‍ර ලබාදිය හැකි අතර ඒවා අදාළ පුද්ගලයන්ට පුද්ගලිකව ලබාදිය යුතු ය. එමෙන්ම එම බලපත්‍ර වසර 5 ක් යන තෙක් විකිණීමට නොහැකි විය යුතු ය.

පාර්ලිමේන්තු සාමාජිකයන්ට දී ඇති සියලු ආයුද නැවත කැඳවිය යුතු ය. ඒ සඳහා 1987/88 කාලවකවානුවේ සිවිල් ගැටුම් හේතුවෙන් අවශ්‍යතාවක් පැවතියද වර්තමානයේ එවන් අවශ්‍යතාවක් නොපවතී. එමෙන්ම බොහෝ පිරිස් ඒවා භාවිත කරන ආකාරය ද නිසියාකාරව නොදනී. කිසිදු නිලධාරියකුට අදාළ නිල ඇඳුමෙන් නොසිටින්නේ නම් ආයුද සන්නද්ධවීම නොකළ යුතු ය. සාමාන්‍ය පුද්ගලයන්ට බලපාන අයුරින් යම් තර්ජනයක් තිබේ නම් ඒ පිළිබඳව අවදානම් විශ්ලේෂණය කිරීමෙන් පසුව පමණක් අවසර ලබාදිය යුතු ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය පක්ෂය මාරු කළහොත් පාර්ලිමේන්තු අසුන එසැණින්ම අහිමි වන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු ය.

කැබිනට් අමාත්‍යවරුන් 15 ක් සිටිය යුතු අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් ද 15 ක් සිටිය යුතු ය. තවදුරටත් රාජ්‍ය හෝ විෂය භාර මන්ත්‍රීවරුන් සිටිය යුතු නොවේ.

අමාත්‍යංශවල වැඩ බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කළ යුතු නොවේ.

සියලුම අමාත්‍යංශවලට අවශ්‍ය නීති සම්පාදනය සහ/හෝ සංශෝධන ඉදිරිපත් කිරීම සහ/හෝ නව නීති යෝජනා කිරීමට හා ඒවා පරීක්ෂා කිරීමට විශේෂඥ මණ්ඩලයක් පත් කළ යුතු ය.

යුක්තිය තහවුරු කිරීම වෙනුවෙන් රජයට වගවීම සහ ප්‍රතිස්ථාපනය සහතික කිරීම සඳහා මූලික අයිතිවාසිකම් කඩකිරීම් සඳහා වගකීම් සහ වන්දි යාන්ත්‍රණයක් ඇති කිරීම

ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නිවාඩ් කබ්රාල්, පී. බී. ජයසුන්දර, එස්. ආර්. ආටිගල හා ඩබ්. ඩී. ලක්ෂ්මන් යන අය ඔවුන්ගේ ක්‍රියාවන් සහ/හෝ නොකර හැරීම් මගින් ශ්‍රී ලංකා ආණ්ඩුවට රුපියල් මිලියන 493394 ක හානියක් (SC FR 195/2022 නඩු තීන්දුවේ 73 වන පිටුව) සිදු කර ඇත. තවදුරටත් එම නඩු තීන්දුවේ 74 හා 75 පිටුවල දැක්වෙන ආකාරයට ඇමරිකානු ඩොලර් මිලියන 7780.08 ක විදේශ විනිමය සංචිත ක්‍රමිකව අඩු වී ඇති අතර, එම සංචිත නිසියාකාරව පවත්වාගෙන යෑමට සාධාරණ පියවර ගෙන නොමැත. එම නොකර හැරීම් රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉතා දැඩිව බලපා ඇත (පෙර කී නඩු තීන්දුවේ 76 පිටුව). එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 195/2022 දරණ තීන්දුව ප්‍රකාරව ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නිවාඩ් කබ්රාල්, පී. බී. ජයසුන්දර, එස්. ආර්. ආටිගල, ඩබ්. ඩී. ලක්ෂ්මන් හා සමන්ත කුමාරසිංහ යන අය වෙත ශ්‍රී ලංකාවේ ආර්ථිකය විනාශ කිරීම සම්බන්ධයෙන් වගකීම පවරමින් දී ඇති නඩු තීන්දුව ප්‍රකාරව ඔවුන්ට එරෙහිව තදබල නෛතික ක්‍රියාමාර්ග ගත යුතු ය. කිසියම් මන්ත්‍රීවරයකු හෝ අමාත්‍යවරයතු අල්ලස් හෝ දූෂණ ක්‍රියා සහ/හෝ හෝ වෙනත් අපරාධමය වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වුවහොත් එතැන් සිට ඔහු පාර්ලිමේන්තුවේ අසුන් නොගත යුතු අතර යම් තනතුරක් දරන්නේනම් එම තනතුර වහාම අහිමිකළ යුතු ය.

අවමය වසරක කාලයක්ද උපරිමය වසර 20 ක කාලයක්ද වශයෙන් අනිවාර්ය සිර දඬුවම් සහ හානියේ අගය මෙන් තුන් ගුණයක වන්දි (පෙර සිටි මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා විසින් 2022 මැයි මස 3 වන දින තහවුරු කර ඇති ආකාරයට ශ්‍රී ලංකා ආණ්ඩුවට බිලියන 493 ක බදු සංචිත ද, ඇමරිකානු ඩොලර් මිලියන 7680.08 ක විදේශ සංචිත ද ඔවුන් විසින් අහිමි කර ඇත) නියම කරනු ලබන 1982 අංක 12 දරන පොදු දේපළ පනත යටතේ පෙර කී තැනැත්තන්ට එරෙහිව නඩු පැවරිය යුතු ය. මේ සඳහා අතීතයට බලපාන අයුරින් අවශ්‍ය ලෙස නීති සංශෝධන ඉදිරිපත්කළ යුතුය.

එම නිසා ඉහත දක්වා ඇති ආකාරයට හානි පූරණය කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතු ය. මෙම ක්‍රියාදාමය වෙත පූර්වතාවය දිය යුතු අතර පෙර කී තැනැත්තන්ට ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත පෙර කී ආකාරයට මැතිවරණය පවත්වා මාස 6 ක් ඇතුළත මුදල් ගෙවීමට නියම කළ යුතු ය.

මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් සම්බන්ධයෙන් යම් ඇමැතිවරයෙකු හෝ රාජ්‍ය සේවකයකු වරදකරුවකු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත්නම්, එවැන්නකුගේ සේවය වහාම බලපාන අයුරින් අහෝසිවනු ඇත. එවන් තැනැත්තෙකු ජනාධිපති, අගමැති, අමාත්‍යවරයෙකු හෝ පාර්ලිමේන්තු සාමාජිකයෙකු වන්නේ නම් ඔවුන්ගේ සිවිල්/ප්‍රජා අයිතීන් අහිමි කළ යුතු ය. එවැන්නෙකුගේ ක්‍රියා හේතුවෙන් ආණ්ඩුවට හෝ යම් පුද්ගලයෙකුට හානියක් සිදුව ඇත්නම් එම හානිය, විගණකාධිපති විසින් ගොනු කරන සහතිකයක් මගින් අදාළ තැනැත්තාගෙන් පුද්ගලිකව අය කර ගත යුතු ය. මෙකී අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා උචිත නීති මෙම රජය පත්වී මාස 6 ක කාලයක් තුළ පැනවිය යුතු ය.

මූලික අයිතිවාසිකම් කඩ කිරීම්ි සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් කරන සියලු දෙනාගෙන් සිදු කරන ලද හානිය මෙන් තුන් ගුණයක මුදලක් විගණකාධිපති විසින් නිකුත් කරන ලද සහතිකයක් මගින් අය කර ගත යුතු ය. එමෙන්ම එකී අය කර ගැනීම මහෙස්ත්‍රාත් අධිකරණය හරහා දඩයක් අය කර ගැනීමේ ක්‍රියාවලියට යටත්ව සිදු කළ යුතු ය.

ශ්‍රී ලංකාවේ උත්තරීතර අධිකරණය වූ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීරණය අනුව ආණ්ඩුවට සිදු කරන හානිවලට වගකිව යුතු පුද්ගලයන්ට පොදු දේපළ පනත යටතේ සහ/හෝ වධහිංසා කිරීමේ පනත සහ/හෝ ICCPR Act පනත යටතේමාස 3ක් ඇතුළත නඩු පැවරිය යුතුය.

එවන් අවස්ථාවකදී වරදකරුවන් වන අයට රාජ්‍ය අංශයේ රැකියාවක් කිරීමට සුදුසුකම් ලබා නොදිය යුතු ය. පුද්ගලික අංශය විසින් ද එවැන්නන්ට රැකියාවන් ලබා නොදීම දිරිමත් කළ යුතු ය.

රාජ්‍ය මූල්‍ය ප්‍රශස්ත කිරීම උදෙසා උපාය මාර්ගික මූල්‍ය කළමනාකරණය සහ ශක්තිමත් විගණන පිළිවෙත් තුළින් රාජ්‍ය වියදම් වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම

ජනාධිපති අරමුදල, මහපොළ භාර අරමුදල හා පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ අරමුදල වෙතින් විවිධ පුද්ගලයන් හා/හෝ ව්‍යාපෘති සඳහා වෙන් කෙරෙන මුදල් එසේ වියදම් කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවසර ලබා ගත යුතු ය. එමෙන්ම අදාළ අපේක්ෂිත මුදල් සීමාව ඉක්මවා යන අවස්ථාවලදී පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු ය.

එකී අරමුදල්වල විගණනය කළ ගිණුම් අවම වශයෙන් මාස තුනකට වරක්වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය.

සියලු ව්‍යවස්ථාපිත මණ්ඩලවල, සංස්ථාවල, කොටස්වලින් 95% කට වඩා ආණ්ඩුවට අයත් හෝ ආණ්ඩුව විසින් පාලනය කරන රාජ්‍ය සමාගම්වල විගණනය කළ ගිණුම් අපේක්ෂිත ආකාරයට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය. එලෙස ගිණුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අසමත් වීම, අදාළ ආයතනයේ හා මූල්‍ය අංශයේ ප්‍රධානීන් අදාළ තනතුරුවලින් ඉවත් කිරීමට හේතු විය යුතු ය.

අමාත්‍යාංශවල ගිණුම් විශේෂයෙන්ම ඇමැතිවරුන් සහ ඔවුන්ගේ පිරිසගේ (ගමන් වියදම්, රථවාහන වියදම්, ඉන්දන වියදම්, අතිකාල වියදම්, ආහාර සඳහා වන වියදම් හා වෙනත් එවැනි වියදම් ද ඇතුළත්ව) සම්බන්ධ ගිණුම් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය. ඇමතිවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට අදාළ ඇමැති යටතේ පවතින අමාත්‍යාංශයේ හෝ දෙපාර්තමේන්තුවේ හෝ ව්‍යවස්ථාපිත ආයතනයේ කිසිදු රැකියාවන් කිරීම තහනම් විය යුතු ය.

ඡන්දයෙන් පත්වූ සියලු දෙනාගේ හා/හෝ සියලු රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් හා බැරකම් පිළිබඳ ප්‍රකාශනයක් වාර්ෂිකව ඉදිරිපත් කළ යුතු ය. ඕනෑම සිවිල් පුරවැසියෙකුට එම ප්‍රකාශනයේ පිටපතක් ලබා ගැනීමට අයිතියක් තිබිය යුතු ය. අදාළ කාලසීමාවන්ට අනුගතව ක්‍රියා කිරීමට අසමත් වීම එවන් තැනැත්තන් තනතුරු දැරීම වැළැක්වීමට හේතුවක් විය යුතු ය. මැතිවරණයෙන් පසු මාස 6ක කාලයක් තුළ මේ සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් කළ යුතුය.

ඡන්දයෙන් පත්වූ නියෝජිතයන්ට හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට හෝ ඍජුව හෝ වක්‍රව ඔවුන් යටතේ හරයාත්මක පාලනයක් පවතින සමාගම්වලට ආණ්ඩුව සමග කිසියම් ගිවිසුමකට එළඹිය නොහැකි විය යුතු ය. එවන් අයිතිවාසිකම් හෝ සම්බන්ධකම් පිළිබඳ අනාවරණය වූ විට එවන් සාමාජිකයන් සම්බන්ධයෙන් දූෂණයට එරෙහිව නඩු පැවරිය යුතු ය.

සමාජ ශාලා, හෝටල් හා අවන්හල්වලට නිකුත් කරන ලද බලපත්‍ර හැර අනෙකුත් සියලු මත්පැන් බලපත්‍ර වාර්ෂිකව පාරදෘශ්‍ය ටෙන්ඩර් ක්‍රමවේදයක් හරහා ලබාදිය යුතු ය. එවන් ටෙන්ඩර් ක්‍රමවේදයක් පිළිබඳ වගකීම දිසාපති වෙත පැවරිය යුතු ය.

විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ඉතා ඉක්මනින් නැවත සලකා බැලිය යුතු ය. සියලු පුද්ගලයන්ට ඔවුන්ගේ විශ්‍රාම වැටුප් විශ්‍රාම ලැබීමෙන් පසුව එළඹෙන පළමු මාසයේ සිට ලැබීමට සැලැස්විය යුතු ය. විශ්‍රාම ලබන දිනයට මාස 6 කට පෙර ඒ සඳහා අවශ්‍ය සියලු ලියවිලි සකස් කර අවසන් කළ යුතු ය.

විශ්‍රාමලත් ජනාධිපතිවරුන්ට, ඔවුන්ගේ කලත්‍රයන්ට, ඇමැතිවරුන්ට, පාර්ලිමේන්තු සාමාජිකයන්ට, ව්‍යවස්ථාපිත මණ්ඩලවල හා මහ බැංකුවේ සභාපතිවරුන්ට විශ්‍රාම වැටුපකට හිමිකම් නොදිය යුතු ය.

වාණිජ ගනුදෙනු වල හිමිකම් කඩිනම් සහ කාර්යක්ෂමතාව සඳහා පරාටේ ක්‍රියාවලිය සඳහා වූ නීතිමය රාමුව ශක්තිමත් කිරීම

මෙම පහසුකම රුපියල් මිලියන දහයකට වැඩි ණය පහසුකම් ලබා ගත් තැනැත්තන්ට එරෙහිව අදාළ මූල්‍ය ආයතනවලට ක්‍රියාත්මක කළ හැකි ය.

වෙන්දේසියට පෙර බැංකුව විසින් තක්සේරුවක් කළ යුතු අතර ඒ අනුව ඉහළම මිල තීරණය කළ යුතුය.

බැංකුව විසින් සිදු කරන තක්සේරුව සමග ණය පහසුකම ලබා ගත් තැනැත්තා එකග නොවේ නම් ඔහුට දෙවන වර තක්සේරුවක් සඳහා අයිතිය ඇත.

දෙවන වර තක්සේරුව ලබා ගත් පසුව වෙනස් අගයක් ලැබුණේ නම් තක්සේරු දෙකෙහි සාමාන්‍ය අගය අදාළ අගය ලෙස සැලකිය යුතු ය.

වෙන්දේසියේදී ගැනුම්කරුවන් නොසිටියේ නම් හා බැංකුව දේපළ මිලදී ගැනීමට කැමති අදාළ තක්සේරු අගයට නොඅඩු මිලකට බැංකුවට අදාළ දේපළ මිලදී ගැනීමට හැකි ය.

වරක් බැංකුව දේපළ මිලදී ගෙන ඇති විට අතිරික්තයක් ඇත්නම් වෙන්දේසියෙන් පසුව දින 3 ක් ඇතුළත හිමිකරුට ගෙවිය යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අධීක්ෂණය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කාර්යක්ෂමතාව සහ ස්වාධීනත්වය ඉහළ නැංවීම සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පහත අයවළුන්ගෙන් සමන්විත විය යුතුය.

අ අගමැතිවරයා,

ආ කථානායකවරයා,

ඇ විපක්ෂ නායකවරයා නියෝජිත මන්ත්‍රී සභාවේ,

ඈ සෙනට් සභාවේ මුලසුන,

ඉ අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා විසින් නම්කරනු ලබන පුද්ගලයන්ගෙන් ජනාධිපතිවරයා පත්කරනු ලබන පුද්ගලයන් 5 දෙනෙකු,

ඊ ජනාධිපතිවරයා පත්කරනු ලබන පුද්ගලයෙකු වියයුතු අතර ඔහු අගමැති වරයා හෝ විපක්ෂ නායකවරයා නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම නොවන පාර්ලිමේන්තුව නියෝජනය කරන වෙනත් ස්වාධීන කණ්ඩායමක හෝ පක්ෂයක සාමාජිකයෙකු විය යුතුය.

ඉහත ඉ ජේදයේ පරිදි පුද්ගලයන් පස්දෙනකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත පත්කිරීම සඳහා නිර්දේශ ලබා දීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව තුළ ශ්‍රී ලංකා ජනසමාජය තුළ පවතින බහුත්වවාදි ලක්ෂණ වෘත්තීමය සහ සමාජ විවිධත්වය සුරක්ෂිත වන ලෙස අදාළ පුද්ගලයන් නියෝජනය වන පරිදි පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලු දේශපාලන පක්ෂවල නායකයන්ගේ සහ ස්වාධීන කණ්ඩායම්වල නායකයන්ගේ උපදෙස් ලබාගත යුතුය.

ඉහත ඊ ජේදය යටතේ පත්කරනු ලබන පුද්ගලයා පාර්ලිමේන්තුවේ සෙනට් සභාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයෙකු නොවිය යුතුය.

කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සභාපති ධුරය දැරිය යුතුය.

අගවිනිසුරුවරයා සහ අනෙකුත් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපති ඇතුළු අනෙකුත් අභියාචනාධිකරණ විනිසුරුවන්, අධිකරණ කොමිෂන් සභාවේ සභාපති හැර අනෙකුත් සාමාජිකයන්, නීතිපතිවරයා, මහබැංකු අධිපතිවරයා, විගණකාධිපතිවරයා, පොලිස්පතිවරයා, ඔම්බුඩ්ස්මන්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ස්වාධීන කොමිෂන් සභාවන්හි සාමාජිකයන් පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය යටතේ ජනාධිපතිවරයා විසින් සිදු කළ යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණ සභාපති ඇතුළු අනෙකුත් විනිසුරන් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරන් සහ අභියාචනාධිකරණය සභාපති ඇතුළු අනෙකුත් අභියාචනාධිකරණය විනිසුරුවරුන් හට සිය කාර්යභාරයෙන් බැහැර කටයුතු පැවරීමේදී ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අගවිනිසුරු සහ ශ්‍රේෂ්ඨාධිකරණය ජ්‍යෙෂ්ඨතම විනිසුරන් දෙදෙනකුගේ අදහස් ලබාගත යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව අදාළ නිර්දේශයන් සිදු කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් මහජනයාට සිය අදහස් ඉදිරිපත් කිරීමට සහ මහජනයාට සිය නියෝජනය ලබා දීමට අවස්ථාව ලබා දිය යුතුය.

උසස් පාලනයක් සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අධිකරණයක් ස්ථාපිත කිරීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විනිසුරුවරුන් 7 දෙනකුගෙන් සමන්විත වියයුතු අතර එම විනිසුරුවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා පත්කළ යුතුය. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ සියලු විනිසුරුවරුන් අධිකරණ ක්ෂේත්‍රයේ නීති වෘත්තීයේ කීර්තිමත් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳව විශේෂඥ දැනුමක් සහිත අයවලුන් විය යුතු අතර ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තුළ වසර 5ක් ධුරය දැරිය යුතු අතර ධුර කාලය අවසන් වීමෙන් පසුව නැවැත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වෙත පත්වීමට නුසුදුස්සන් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ලෙස විනිසුරුවරුන් 7 දෙනාම සිටිය යුතුය. ශ්‍රී ලංකාවේ ඕනෑම අධිකරණයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයට යටතට ගැනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ අධිකරණ බලයට ගැනෙන ඕනෑම කරුණක් යම් නඩුවකදී මතු වුවහොත් එකී කාරණාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයට යොමු කළ යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ අධිකරණ බලය යටතට පහත කරුණු ඇතුළත් විය යුතුය

a. යම් කරුණක් හෝ ගැටලුවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්ථනිරූපණයට අදාළ විෂය ක්ෂේත්‍රයට අදාළ වන්නේ නම් එවැනි කාරණා සහ ගැටලු පිළිබඳව තීරණය කිරීමේ බලය ඇතුළුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමේ බලය,

b. පනත් සහ ප්‍රඥාප්ති අධිකරණය විමර්ශනයට භාජන කිරීමේ බලය,

c. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XXX වන පරිජේදය යටතේ නිකුත් කරනු ලබන ප්‍රකාශයන්ගේ වලංගුභාවය විමර්ශනය කිරීමේ බලය :මධ්‍යම ආණ්ඩුව විසින් පළාත් සභා සඳහා මැදිහත් වීම.

d. මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභා අතර සහ පළාත් සභා අතර ඇතිවන ආරවුල් සහ ගැටලු

e. පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීම පිළිබඳව වන ගැටලු,

f. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් නිකුත් කරනු ලබන නියෝගයන් නැවත විමර්ශනය කිරීමේ බලය,

g. නීතිපති, රජයේ අභිචෝදක සහ මහජන විත්තිවාචක කාර්යාලය විසින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව වූ චෝදනා විමර්ශනය කිරීමේ අනන්‍ය අධිකරණ බලය,

පසුව පනවන ලද නීතීන් සහ ප්‍රඥාප්ති අධිකරණ විමර්ශනයට භාජන කිරීමේ අනන්‍ය බලය සහ අණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය සතු විය යුතු අතර ඒ අනුව පහත බලතල අණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය සතු වේ.

a. එනම් පාර්ලිමේන්තුව විසින් පනවන ලද නීති සහ එම නීතීන්ගේ යම් යම් ප්‍රතිපාදන සහ පළාත් සභා පනවන ලද ප්‍රඥාප්ති සහ එහි අඩංගු ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව ප්‍රකාශ කිරීමේ බලය,

b. පහත සඳහන් නියෝග ඇතුළුව යුක්ති සහගත සහ සාධාරණ තීරණ ලබාදීමේ බලය,

i. වලංගු නොවන ප්‍රකාශයන්ගේ අතීතයට සිදුවන බලපෑම සිමා කෙරෙන නියෝග,

ii. යම් කිසි පනතක හෝ ප්‍රඥාප්තියක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වන විට ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සහ පළාත් සභාව නිසිලෙස පියවර ගන්නා තෙක් අවලංගු කිරීමේ නියෝගය යම්කිසි කාලසීමාවකට තහනම් කළ හැකිය,

iii. සුදුසු අවස්ථාවන්හිදී දැනට සිවිල් නඩු විධාන සංග්‍රහයේ 664 වගන්තියේ ඇති බාධකය ඉවත් කරමින් රජයේ ආයතනවලට එරෙහිවද තහනම් නියෝගයක් හෝ වාරණ නියෝගයක් ලබා ගැනීමට හැකිවන අයුරින් සංශෝධනය කළ යුතු වේ.

යුක්තිය සවිබල ගැන්වීම සඳහා පුද්ගල නිදහස සුරැකීමට සහ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීමට මූලික අයිතිවාසිකම් අධිකරණ බලය ශක්තිමත් කිරීම වෙනුවෙන් වූ යෝජනා

විශ්වීය වශයෙන් පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම්, මූලික අයිතිවාසිකම් පරිජේදයට ඇතුළත් කරමින් මූලික අයිතිවාසිකම් පරිජේදය යාවත්කාලීන කිරීම ජීවත්වීමේ අයිතිවාසිකම මූලික අයිතිවාසිකමක් ලෙස හඳුනා ගැනීම සහ මරණීය දණ්ඩනය අවලංගු කිරීම සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් හි විෂය ක්ෂේත්‍රය පුළුල් කළ යුතුය. යුක්තිය සඳහා ජනතාවට ප්‍රවේශවීමට ඇති අයිතිය සහ සාධාරණ නඩු විභාගයක් උදෙසා ජනතාවට ඇති අයිතිය හඳුනා ගත යුතුය. එසේම සමාජීය, ආර්ථික, සංස්කෘතික අයිතිවාසිකම්, කාන්තාවන්ගේ සහ ළමයින්ගේ අයිතිවාසිකම් සහ පාරිසරික මෙන්ම සංවර්ධනයට ඇති අයිතිවාසිකම් අධිකරණයමය වශයෙන් බලාත්මක කළ හැකි ලෙස හඳුනාගනිමින් එකී අයිතිවාසිකම් අධිකරණය හරහා බලගැන්විය යුතුය.

සමාජීය සහ ආර්ථික අයිතිවාසිකම් ලෙස අධ්‍යාපනයට ඇති අයිතිය, සෞඛ්‍යට ඇති අයිතිය ප්‍රමාණවත් ආහාරවේලක් ලබා ගැනීමට ඇති අයිතිය, පිරිසිදු ජලය, සනීපාරක්ෂාව ප්‍රමාණවත් ලෙස නිවසක් හෝ සෙවනක් සඳහා ඇති අයිතිය, ප්‍රමාණවත් සමාජීය ආරක්ෂාවක් සඳහා ඇති අයිතිය, ශ්‍රමය සූරාකෑමෙන් තොර වූ නිදහස් සහ ගෞරවාන්විත රැකියාවක් සඳහා වන අයිතිය, සාධාරණ සහ හිතකර පරිසරයක් තුළ සිය රාජකාරිය පවත්වාගෙන යෑමට ඇති අයිතිය සහ පාරිභෝගික අයිතීන් අඩංගු විය යුතුය.

මහජන සුබසාධක නඩුකර ප්‍රකාශිතවම හඳුනාගත යුතු අතර එකී නඩුකර සිවිල් සහ අපරාධ නඩුකර සඳහා අදාළ කර ගත යුතුය. මෙවැනි නඩුකර පැවැරීමේදී සාධාරණ කාලසීමාවක් තුළ පැවැරීමට ඉඩ ලබාදියි යුතු අතර නඩු පැවැරීම සඳහා කාලසීමාවක් අන්තර්ගත නොකළ යුතුය.

මහජන ආරක්ෂක නිලධාරි මූලික අයිතිවාසිකම් සහ භාෂා අයිතිවාසිකම් පිළිබඳව මහජන සුබසාධක නඩු පැවැරීමේ අයිතියක් තිබිය යුතුය.

රටේ පවතින සියලු නීතීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යටත්ව සහ එහි ඇති මූලික අයිතිවාසිකම් පරිජේදයට යටත්ව කියවිය යුතුය.

දැනට මහජන හිතසුව සඳහා වූ නඩුකරයක් පැවරීම සඳහා සිවිල් නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන නොමැති බැවින් ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධනයක් ඉදිරිපත් කරමින් මහජන අර්ථසාධන නඩුකර සිවිල් අධිකරණ තුළ පැවරීමේ අයිතියත් එම නඩු වලින් ලැබෙන වන්දි මුදල් රජයේ මහා භාණ්ඩාගාරය හරහා අගතියට පත් තැනැත්තන්ට ලබා දීමට නීති ප්‍රතිපාදන මාස 3ක් ඇතුළත සම්මත කළ යුතුය. ඊට උදාහරණයකට ඞ-ඡරුි ඡැ්රක නැව විනාශවීමෙන් සෘජුව සහ/හෝ වක්‍රාකාරයෙන් අගතියට පත් ජනතාවට වන්දි අයකර ගැනීමට හැකියාව ලැබෙන අයුරින් මෙම නීති සංශෝධන ඉදිරිපත්කළ යුතුය.

සමගි ජනබලවේගයේ නීතිඥ සාමූහිකය ගෙනෙන යෝජනාවලියෙන් උපුටා ගැනිණි. මේ සඳහා වූ සැසියට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජෙෆ් අලගරත්නම්, ආචාර්ය සුනිල් කුරේ, ආසියාතික නීතිඥ සංගමයේ සභාපති ශ්‍යාම් ඩිවාන්, ඉන්දීය නීතිඥ සංගමයේ සභාපති ප්‍රසන්ත් කුමාර් සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය නීතිඥ සංගමයේ හිටපු සභාපති ශාන්තාන් ක්‍රිෂ්ණන් අදහස් දැක්වූ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment