රාවණගේ දඬුමොනරෙන් ඇරඹුණ මෙරට ගුවන් ගමන් ඉතිහාසය

310

අත්තටු සලමින් අහස්තලයේ පියාසර කරනා පක්ෂින් දෙස බලා සිටි මිනිසුන් දහස් ගණනක් අහස්තලය ජය ගැනීමේ සුන්දර සිහිනය මවන්නට ඇත. සරුංගලයක් ඈත අහසේ වලාකුළු අතර සැඟව යද්දී ඔබට ද එසේ සිතෙන්නට ඇත. වර්තමානය වන විට අතිදියුණු අධිවේගී ගුවන් යානා පවා බිහිවීමට පාදක වූයේ මිනිසා දුටු ඒ සුන්දර සිහිනයයි. මිනිසා බිහිවූ දා සිටම විස්මිත නිර්මාණ කර ඇති අතර එවැනි නිර්මාණ අතරින් මුලින්ම ගුවන් යානය නිර්මාණය කළේ කවරෙක් ද යන්න අදටත් නිශ්චිතව කිව නොහැක.

ඉපැරණි ග්‍රීක පුරාවෘත්තවලට අනුව ද ගුවනේ පියෑඹීම මිනිසා දුටු සුන්දර සිහිනයක් වූ අතර ග්‍රීසියේ විසූ ඉකේරස් සිය පුත්‍රයා සමග දෑත්වල අත්තටු බැඳ ගනිමින් පියෑඹීමට ගත් උත්සාහය මෙයට කදිම නිදසුනකි. මෙලෙස වර්ෂ 1903ට පෙර හෙළි වෙමින් පැවති අතීත ගුවන් ගමන් පිළිබඳ තොරතුරු රයිට් සහෝදරයන්ගේ ප්‍රථම ගුවන් ගමනත් සමග ඉතිහාස පිටු තුළ සැඟව ගිය අතර එසේ සැඟවී ගිය සුන්දර මෙන්ම සත්‍ය වූ තොරතුරු මෙතැන් පටන් ඔබත් සමග බෙදා ගැනීම අපේ අරමුණයි. එම නිසා අද පටන් ඉදිරියට මෙම සංවාදාත්මක පිටුව වෙන් වන්නේ ගුවන් ගමන් ඉතිහාසය හා සබැඳි අතීත සිද්ධි දාමයන් ඉදිරිපත් කිරීමටයි.

ඔබ රාම – රාවණ කතා පුවත අසා ඇති නිසා එය මෙහි සම්පූර්ණයෙන් සඳහන් කිරීම අනවශ්‍ය යැයි සිතමි. රාමායණයේ සඳහන් වන පරිදි ශ්‍රී ලංකාවේ රාවණ රජු තම ගුවන් රථයෙන් දඹදිව දණ්ඩක වනයට ගොස් එහි සිටි රාම කුමරුගේ බිසව වූ සීතාව පැහැර ගෙන පැමිණ ඇත. මෙහිදී රාමායණය නම් මහා කාව්‍ය ලියන ලද්දේ, අප බුදුන් වහන්සේගේ කාලයට ප්‍රථම නම් ලෝකයේ සිටි පළමු ගුවන් නැවියා රාවණ රජු විය යුතුය. මන්ද බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද “කාෂ්ඨවාහන” ජාතක කතාවෙන් දැක්වෙන්නේ ද එක්තරා බුද්ධිමත් පුද්ගලයෙක් ලීයෙන් කළ ගුවන් යානයක් භාවිත කර අහසින් ගිය අයුරුයි.

පහත දැක්වෙන්නේ ධර්මසේන හිමියන් විසින් රචිත පූජාවලියේ සඳහන් “කාෂ්ඨවාහන” කතා පුවතේ මේ හා අදාළ සාරාංශයයි.

එක් දවසක් වඩු ආචාරීහු මේ වඩුකම් නම් ශක්ති අවස්ථාවට මුත් මාලූ ව ගිය කලට පිළිවන් නොවෙයි. මාලූ වූවත් ආයු පමණින් රැකෙන ලෙසට වුවමනා වේ දැයි අතවැස්සන් බණවාලා දරුවෙනි… දිඹුල් දඬු ආදී වූ හරනැති දඬු ගෙනෙව‘යි විධාන කළහ. උයිත් ගොසින් සුලබව ලැබෙන හෙයින් ගෙනාවුය. වඩු ආචාරීහු ඉන් ගුරුළුයන්ත්‍රයක් ඉදිකොටලා ඒ ඇතුළට වැද යන්ත්‍රය මිරිකාලූය. මිරිකන්නාලාම ගුරුළකු පරිද්දෙන් අහසට නැඟිලා සිසෑරි ඇවිදලා අතැවැස්සන් ඉදිරියට බට වඩු ආචාරීහු මෙසේ වූ යන්ත්‍රය ඉදිකොට ගත්තෝ අපත් නැතක් දෙනා හෙයින් දඹදිව මුළුල්ල වුවත් හැරගන්නට පිළිවන. තොපිත් තෙල ලෙස යන්ත්රා ඉදිකරව. හැම දවසක්ම මී වඩුකමින් රැකෙන්නට බැරිය. රටවල් හැරගෙන තුබු කැබැල්ලේ රාජ්ජය ය තරම්හ‘යි කිවුය. උයිත් යන්ත්‍ර ඉදිකොටලා ආචාරීන්ට කීහ. ආචාරීනි, අහසින් ගොසින් කවර නුවරක් හැරගනුමො දැ‘යි විචාලෝය. ආදියෙහි පටන් පුරුදුව ගිය හෙයින් අතහැර යා නොහී මේ බරණැස් නුවරම හැර ගනුම්හ‘යි කිවුය. ඒ නොකැමැත්තෝ අප කවර තරමකට පැමිණියත් වඩු රජ්ජුරුවෝය. වඩු යුවරජ්ජුරුවෝය. වඩු සෙනෙවිරද්දුය යනාදීන් මෙතැන රඳා හුන්නොත් වඩුකුලය හැරී නොයෙයි. දඹදිව මහත. අනික් තැනකට යම්හ‘යි කිවුය. එසේ කියාලා අඹු දරුවනුත් හැරගෙන ගුරුළුයන්ත්‍රවලට නැඟිලා ආයුධ සන්නද්ධව අහසට නැඟිලා හිමවුපියස බලා ගොසින් හිමාලය ගාවා එක් නුවරකට බස්නාහු එනුවර රජ්ජුරුවන්ගේ මාලිගාවට බැසලා එනුවරත් රටත් හැරගෙන ආචාරීන් ඔටුනු පලඳවාලා රජ කළහ. ඌ තුමු කාෂ්ඨවාහන රජ්ජුරුවෝ යැයි මෙනමින් ප්‍රසිද්ධ වූහ. නුවරත් රටත් යන දෙකම කාෂ්ඨ වාහන නුවර යැයි මෙනමින්ම ප්‍රසිද්ධ විය.”

රාවණගේ දඬුමොනරෙන් ඇරඹුණ මෙරට ගුවන් ගමන් ඉතිහාසය

එහෙයින් ගුවන් රථයකින් ගිය අහස් ගමනක් ගැන මුලින්ම සඳහන් වන්නේ රාවණ රජුගේ කාලයේදී බව පැහැදිලි වන අතර රාමායණයේදී මෙම යානය පුෂ්පක රථය ලෙසින් හඳුන්වා ඇත. රාවණ යුගයේදී මෙරට ගුවන් රථ පමණක් නොව යුද්ධ සඳහා භාවිත කරන ජලකර බෝම්බ වැනි දෑ ද නිපදවා ඇති බව විද්වත් මතයයි. මීට අමතරව මුහුදේ උදම් රළ මැවිය හැකි තරමේ බෝම්බ වර්ග ද එකල භාවිත කර ඇති බවට මහා භාරත කාව්‍ය හා රාමායණය සාක්ෂි දරයි.

රාවණ රජු සිය ගුවන් යානයෙන් සීතාව පැහැරගෙන දකුණු දිගට යද්දී දුටු දර්ශනය කවියා මෙසේ විස්තර කරයි. (රාමායණය)

පහතින් බිම්තලා උඩින් වේගයෙන් හසුලේය
නිපුණ නියමුවා සිය ගමන් මඟ
වන විල් ගල් කුළු ගිරි ශිඛර ගෙවා
බියකරු රුපුන් ගහන
හඬ දෙන මහ සයුර ද
ඔහු ඉක්ම වී
සදාතනික මහ සමුදුරට අධිපති වූ
වරුණ රජුගේ ඉපැරණි රජ දහන
මෙසේ හේ පියමං වී
රාවණ දේවිය ගෙන යන අතරේ
කුපිත වූ දිය රැලි වස වී බිඳුණි…
නොකැමති වූ සීතා ඉන් බැස්සේ
මනහර ලංකා පුරවරටයි

මෙම රාවණ පුවත මෙරට ජන සමාජය වසර දහස් ගණනක් පාරම්පරිකව පවත්වා ගෙන ආවද අද සමාජයේ ජීවත් වන බහුතරයකගේ මතය වී ඇත්තේ මෙම කතා පුවත හුදෙක් සාහිත්‍යමය හේතු සඳහා ගෙතුණ එක්ක බවයි.

මෙසේ වීමට ඉවහල් වූ ප්‍රධානම කරුණ ලෙස සැලකිය හැක්කේ 1912දී පමණ “ලංකා ඉතිහාසය” නම් ග්‍රන්ථය සකස් කළ ඉංග්‍රීසි සිවිල් සේවක එච්.ඩබ්ලිව්. කොඩ්රිංටන් විසින් ද මෙම පුවත මිථ්‍යාවක් ලෙසට හඳුන්වා දී තිබීමයි. නමුත් ශිෂ්ටාචාර ලෝකයා ගුවනින් යෑම පිළිබඳ සිතන්නටත් ප්‍රථම ශ්‍රී ලාංකිකයෙක් (රාවණ) පළමුවෙන්ම ගිය ගුවන් ගමනක් සම්බන්ධව වාල්මිකී විසින් රාමායණයේ තබන ලද සටහනට යම් කිසි විශේෂ හේතුවක් තිබිය යුතුය. “රාමායණම් ආදී කාව්‍යම්” ලෙස හඳුන්වා දීම තුළින් රාමායණය මෑතක ලියූවක් නොවන බවද පැහැදිලි වේ. එවන් වූ ආදිතම කාව්‍යක ශ්‍රී ලංකාව සම්බන්ධව මෙවැන්නක් සඳහන් වීමද ඉතා සුවිශේෂී කරුණකි.

රාමායණය ඉංග්‍රීසියට නැඟෙනතෙක් යුරෝපීයයන්ගේ මතය වූයේ ග්‍රීසියේ විසූ ඉකේරස් හා ඩීඩුල්ස් පිය – පුතු දෙදෙනා සිය ශරීරයේ පිහාටු අලවාගෙන සූර්යා දෙසට පියැඹීමට උත්සාහ ගැනීම ලෝකයේ පළමු වන අහස් ගමන බවයි. කාශ්‍යප බුදු සමයේ “කාෂ්ඨවාහන” පුවත, ග්‍රීසියේ ඉකේරස් හා ඩීඩුල්ස් පිළිබඳ පුවත සහ 1903 රයිට් සහෝදරයන් ගුවන් ගමනක යෙදෙනතෙක් ලොව පැවතියේ ලංකා ව්‍යවහාරයෙන් ආ රවාණගේ දඬු මොනරය පිළිබඳ පුවත පමණි. මෙම සිදුවීම කවරකු විසින් මිථ්‍යා මත වශයෙන් සලකා බැහැර කලද සාමාන්‍ය දැනීමට අනුව නම් ගුවන් යානයට සුදුසු නමක් පවා ජන ව්‍යවහාරයට පැමිණියේ ශ්‍රී ලංකාවෙන් බව සියලු දෙනා පිළිගත යුතු කරුණකි. එයට දඬු මොනර යන්ත්‍රය යැයි කීමෙන් ලීයෙන් තැනූ මොනරකු වැනි පියාඹන යන්ත්‍රයක් සිහි ගන්වයි. ශ්‍රී ලංකාව පිළිබඳ ඉහත සඳහන් පුවත රාමායණයෙහි පමණක් නොව මහා භාරතය නම් වීර කාව්‍යයෙහි හිඳ සටහන්ව ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ඈත අතීතයේ සාමාන්‍ය වශයෙන් හෝ ගුවන් ගමන් පිළිබඳ තොරතුරක් දක්නට ලැබෙන්නේ ගුරුළු ගෝමීන්ගේ අමාවතුර නම් කෘතියෙහි සහ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ සැළලිහිණි සන්දේශයෙහිය. සැළලිහිණි සන්දේශයෙහි සන්දේශය ගෙන යන සැළලිහිණියාට “බල මහ මුහුද එම සඳ උතුරින් පෙනෙන” හා “සති සඳ පෙනේ සමනොළ ගල නැඟෙනහිර” යැයි පවසමින් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් නැවත විද්‍යාමාන කර ඇත්තේද වාල්මිකී විසින් හෙළි කළ රාවණගේ දඬු මොනරය පිළිබඳ විය යුතුය.

රාවණගේ දඬුමොනරෙන් ඇරඹුණ මෙරට ගුවන් ගමන් ඉතිහාසය

මේ අනුව ලෝකයේ අන් සියල්ලටම ප්‍රථමයෙන් ගුවන් යානයක් හා සම්බන්ධ පුවතකට හිමිකම් දරා ඇත්තේ ශ්‍රී ලාංකිකයන් නොවේද යන්න ඔබ විසින්ම නැවත නැවතත් සිතා බැලිය යුතු කරුණකි. ඉතිහාසය දෙස බැලීමේදී ද අන් කිසිදු රටකට නොදෙවැනි තාක්ෂණ මහිමයක් අප සතුව තිබූ බව නොරහසකි. වාරි තාක්ෂණය, ලෝහ තාක්ෂණය හා ගෘහ නිර්මාණ ශිල්පය මේ සඳහා කදිම නිදසුන් වේ. අතීතයේ මෙවැනි විස්කම් කළ ලාංකිකයන් සතුව ගුවන් තාක්ෂණය ද තිබුණා යැයි කිව හැක්කේ මෙම කරුණු නිසාය.

මෙහිදී ග්‍රීක පිය – පුතු දෙපළගේ කතා පුවතට අමතරව ගුවන් ගමනක් ගැන සඳහන් වන ජන කතාවක් යුරෝපයේ, ඇමරිකාවේ හෝ වෙනත් බටහිර රටකින්වත් අසන්නට නොලැබීද පුදුමයට කරුණකි. ඔවුන්ගේ පැරණි දේවස්ථානවල දේව දූතයන් සිත්තම් කර අඹා ඇත්තේ පියාපත් ද සහිතවය. පෙරකී ග්‍රීක පිය – පුතු පුවතේදී මෙන්ම මෙමගින් ද අදහස් කෙරෙන්නේ පියාපත් ඇතිව මිස වෙනත් අයුරකින්, එනම් යන්ත්‍රයකින් හෝ වෙනත් බලයකින් අහසින් යා හැකි බවක් ඔවුන් නොදැන සිටි බව නොවේද? වාල්මිකී විසින් රචිත රාමායණයේ හැරුණු විට එකල වෙනත් කිසිදු ඉන්දියානුවකු අහසින් යන්නකු පිළිබඳව සඳහන් කර නැත. එසේ ලියා හෝ කියා ඇත්නම් ඒ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ “කාෂ්ඨවාහන’‘ ජාතකයේ පමණි.

මින් ප්‍රධාන වශයෙන් පැහැදිලි වන කරුණ වන්නේ අප උපන් රටේ ආදි මුතුන් මිත්තන් කොපමණ මානසික දියුණුවක් සහ ශිෂ්ටාචාරයක් ඇතිව ජීවත් වන්නට ඇත්ද යන්නයි. ඔවුන් ගුවන් යානයේ නිෂ්පාදකයන් නොවූවද ලොව අන් සියල්ලටම පෙර ගුවන් යානය පිළිබඳ අදහසක් හෝ ඉදිරිපත් කළ පිරිසක් ලෙස හැඳින්විය යුතුය. එවැනි ශිෂ්ටාචාරයකට නෑකම් කීමට හැකිවීම පෞද්ගලිකව ලාංකිකයකු වශයෙන් මා තුළ මෙන්ම ඔබ තුළද සියුම් ආඩම්බරයක් ඇති කරනු නිසැකය.

සිවිල් ගුවන් සේවා අධිකාරිය 2009 ප්‍රකාශිත “ගුවන්සර” අනුග්‍රහයෙනි.

දේව් කව්සල

advertistmentadvertistment
advertistmentadvertistment