හයවන පරාක්‍රමබාහු රජු මගින් සවි ශක්තිමත් වූ කෝට්ටේ රාජධානිය තවත් රජවරුන් කිහිපදෙනකු ඔස්සේ ඉදිරියට ඇදි ගියේය. ක්‍රි:වර්ෂ 1509 දී විජයබාහු කුමරා හයවන විජයබාහු නමින් රජ විය. මෙම කුමරාත් ශ්‍රී රාජසිංහ කුමරාත් එක ගෙයි විවාහයේ විසූහ. ඔහුනට දාව බුවනෙක බාහු, මායාදුන්නේ සහ මහරයිගම් බණ්ඩාර නමින් කුමාරවරු තිදෙනෙක් වූහ.

රාජාවලියට අනුව මේ කුමාරයින්ගේ මව්බිසෝ අදහසිනුත් ශ්‍රී රාජසිංහ රජ්ජුරුවනුත් යන මාතා පිතා දෙදෙනා උකුත් වුවායින් (මියගිය පසු) පසුව විජයබාහු රජ්ජුරුවන්ට කීරවැල්ලේන් බිසෝ කෙනෙකු කැඳවා ගෙන ආවේය. මෙම බිසව පැමිණියේ තනි පන්ගලමේ නොව, සත්හැවිරිදි ටිකිරි කුමරුවකු කැටිවය. මේ කුමරා අන්කිසිවකු නොව දේවරාජ කුමරා ය.

රාජ වාසල බලපැවැත්මක් සහිතව විසූ කදුරේ බණ්ඩාරත්, ඒකනායක මුදලිත් දේව රාජ කුමරා රජ කරවීමේ කූට ප්‍රයත්නයත් දියත් කළහ. මෙය කන වැකුණු සැණින් බුවනෙක බාහු කුමරාත් මහ රයිගම් බණ්ඩාර කුමරාත් සැඟවී ගත් අතර බාල මායාදුන්නේ කුමරා උඩරටට පලා ගියේය. එසේ පලාගොස් උඩරට රජ කළ ජයවීර රජුගෙන් ආධාර පෑතිය. ඒ රජු ගෙන් සේනාවක් ලැබීය. ඒ සේනාවත් සමග මායාදුන්නේ කුමරා මාලිගය වට කළේය. කෝට්ටේ හමුදාව කුමරුන් තිදෙනාට එරෙහි වීමට කැමැති නොවීය. සේනාවෝ රජ මැඳුර කොල්ල කෑහ. “විජයබා කොල්ලය” නමින් ඉතිහාසයේ සඳහන් වන්නේ මේ සිද්ධියයි. මෙය සිදුවූයේ ක්‍රි:ව: 1521දීය. සලබයා (සලමන්) නමැති විජාතිකයා ලවා විජයබාහු රජ මරා දැමීය.

කුමරවරුන් තිදෙනා ගේ දැඩි ඉල්ලීම වූයේ කුමන්ත්‍රණයේ මහ මොළකරුවන් වූ කදුරේ බණ්ඩාරත් ඒකනායක මුදලිත් ඔවුන් වෙත භාර දෙන ලෙසය. ඉල්ලීම අනුව ඔවුන් දෙදෙනා කුමරුන් ඉදිරියට පත් කළේය. කදුරේ බණ්ඩාර පහර කා මළ අතර උපායෙන් අතිදක්‍ෂයෙක් වූ ඒකනායක මුදලි පලා යෑමට සමත් විය. ඉතිහාස පොත්වලත් ඉතිහාසඥයනුත් ඔහු පලා ගිය බව සඳහන් කරන අතර ඔහුට අත් වූ ඉරණම හෝ ඔහුගේ ක්‍රියාමාර්ග කිසිත් සඳහන් නොකරයි.

මේ පිළිබඳ මාහට මහත් වූ කුතුහලයක් ඇති විය. ඒ අනුව ඒකනායක මුදලිට වූදේ කුමක්ද යන්න සෙවීමට කෝට්ටේ රාජධානිය හා සීතාවක රාජධානිය සම්බන්ධ බොහෝ පොත් කියවිමි. නමුත් මාගේ ප්‍රයත්නය සඵල නොවීය. මේ අතරවාරයේ දී ඉරිදා ලංකාදීප පුවත්පතට බොහෝ ලිපි සැපයූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.කේ. ජයසේන මහතා හැඳින ගතිමි. ඔහු සමග කුළුපඟ මිතුදමක් ඇතිවිය. දුරකථනය මගින් බොහෝ මාතෘකා පිළිබඳ සාකච්ඡා කළෙමු. මේ නොලිහුණු ප්‍රශ්නය ඔහු වෙත ද ඉදිරිපත් කළෙමි. මඩුවන්වෙල දිසාව පිළිබඳ බොහෝ ගවේෂණ හා පර්යේෂණ කළ ඔහු මාහට කියා සිටියේ ඒකාන්තයෙන් ම මඩුවන්වෙල පරපුර පැවැත එන්නේ කෝට්ටෙන් පලා ආ ඒකනායක මුදලිගෙන් බවය. 2021 වර්ෂයේ දී කථිකාචාර්යවරයා හදිසියේ මියයෑම තවත් බොහෝ ලිපිපෙළක් රටට දයාද වීම ඇණහිටීමට හේතු විය.

මේ කරුණු පිළිබඳ තව තවත් පොත්පත් පරිශීලනයේ දී රත්නපුරයේ උප දිසාපතිවරයෙකු වූ බන්දුල ලියනගේ මහතා සංස්කරණය කළ “ සබරගමු, උදාන අංක 2” “ඓතිහාසික රත්නපුර” ග්‍රන්ථයේ “මඩුවන්වෙල වලව්ව” යන ලිපිය කියවිමි. එම ලිපියේ මා මෙතෙක් සොයමින් සිටි ලිඛිත සාක්ෂිය හමුවිය.

විජයබා කොල්ලයේ දී කෝට්ටෙන් පැන්න ඒකනායක මුදලි මඩුවන්වෙලින් මතුවෙයි
මඩුවන්වෙල රටේ මහතා සහ බිරිඳ

සංස්කරණයකින් තොරව එම ඡේදය මෙසේය.

මුලදි වර්තමාන වලව්ව පිහිටි ස්ථානය වෙනත් කණ්ඩායමක් සතුව පැවැතිණ. ඔවුහු කෝට්ටේ විජයබා කොල්ලයෙන් පසු මායාදුන්නෙට බියෙන් පැරද පලා ආ විජයබා රජුගේ ඇමැතිවරුන් පිරිසකගෙන් පැවැතෙන්නෝ වූහ. වෙස්වලා පැමිණ සිටි ඔවුහු රහසිගතව මේ ආරක්ෂක භූමියෙහි සාමාන්‍ය ගොවීයෝ සේ ජීවත් වූහ. වලව්ව පිහිටි භූමිය ද ඇතු`ළු අක්කර 20ක පමණ භූමි භාගය එකල ඔවුහු විසින් “බල්ලන් දැව” නමින් හඳුන්වන ලදී. ගොවිතැන් සඳහා කැලය කපා පිළිස්සීමේ දී එම ගින්නට හසුව පිළිස්සුණ බලු පැටවුන් කිහිපදෙනකු මියගිය නිසා එම නම භාවිත කෙරිණි.

දිනක් විනෝදය පිණිස දඩයමේ පැමිණි මඩුවන්වෙල පරපුරේ අයකු අපූරූ සිද්ධියක් බල්ලන් දැවේදී දුටුවේය. තමා පසුපස හඹා එන නරියාගෙන් බේරීමට දිව ගිය සාවකු එක් තැනක දී වහාම ආපස්සට හැරී නරියා පසු පස හඹා ගියේය. මේ ස්ථානය ජය භූමියක් ලෙස සිතාගත් හේ එම භූමිය මුල් අයිතිකාරයන් ගෙන් ඉල්ලා ගත්තේය. තමා දුටු දෙය රහසක් වශයෙන් ඔවුහුන් ගෙන් වසං කරගත් හේ එතැන නිවෙසක් ඉදිකර පදිංචි විය.

දැන් අපට ඓතිහාසික සිද්ධියේ චිත්‍රය මවාගත හැකිය. මහ වාසල විශාල බලපැවැත්මක් සහිතව සිටි ඒකනායක මුදලි තවත් විශාල නිල මණ්ඩලයක් සහ සේවක පිරිසක් සමග පලා යන්නට ඇත. සීතාවක රාජධානියට සබරගමුව ද අයත් නිසා මොවුන් කොලොන්න කෝරළයේ ඈත එපිට මහා වනාන්තරය තුළ හේන් ගොවිතැන් කරමින් රහසිගතව ජීවත් වන්නට ඇත. ඒ වනවිට මඩුවන්වෙල කුඩාගම තිබෙන්නට ඇත. නැත්නම් ඔවුන් විසින් මේ ගම ගොඩනඟන්නට ඇත.

මේ ගමේ ඒකනායක මුදලිගේ නිවස ඉදි වන්නට ඇත. 1592 දී රාජසිංහයන්ගේ මරණයත් සමග පසු සාමාජිකයන් ගේ බිය තුරන් වෙන්නට ඇත. ඒත් සමග ම උඩරට කොනප්පු බණ්ඩාරගෙන් ආරම්භ වූ රාජධානිය සමග සම්බන්ධතා ඇති කර ගන්නට ඇත.

මඩුවන්වෙල පරපුරේ ප්‍රථම ඓතිහාසික තොරතුරු සඳහන් වන්නේ ක්‍රි:ව: 1700දී ය. ඒ ගම්මුන් විසින් සුරතලයට ඇති කළ ඇළී (සුදු) ගෝනකු උඩරට රාජධානියේ දෙවන විමලධර්මසූරිය රජතුමා වෙත බැහැ දැක්වීමේ සිද්ධියයි.

මඩුවන්වෙල සන්නස – 1700

දිග අගල් 1 3/4 පළල අගල් 1 1/2 දෙපිටේ පේලි 6 කර කොළයකි. රිදියෙන් රාමු කර තිබේ.

ශත වර්ෂ 1622 (ක්‍රි:ව: 1700) ඉල් මස පුර සතවක ලත් ගුරු දින දෙවැනි විමලධර්මසූරිය රජතුමා විසින් මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් මුදියන්සේට (සුදු ගෝනෙකු පණ පිටින් දැක්කෙවු දස්කම නිසා) දෙන ලද සන්නසකි. (නින්දගම අක්කර 16500) ලෙස සඳහන් කර ඇත.

උපුටාගැනීම සපරගමු දර්ශන රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥානවිමල හිමි පිටුව 322

මඩුවන්වෙල මොහොට්ටාලගේ පනාමුරේ සන්නස 1725

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රාජ්‍යොදයෙන් අටළොස් වැන්නෙන් (ශත වර්ෂ 1647 – ක්‍රි.ව. 1725) එතුමා විසින් මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් මොහොට්ටාල අතලවලයාගේ හිස කැපූ දස්කමට දෙන ලද සන්නස.

(සබරගමු දර්ශන පිටුව 324)

අතලවලයා යනුවෙන් ගැමියන් විසින් හඳුන්වා ඇත්තේ එතල් වැල්ජින් නම් ලන්දේසි ජාතික මැර සොල්ලාදුවෙකි. මොහු ගැමියන්ගේ මංගල උත්සවවලට පැන මනමාලියන් පැහැර ගැනීමේ යෙදුණු මැරයකි. මොහුට තවත් සහචරයන් පිරිසක් ද සිට ඇත.

මඩුවන්වෙල මොහොට්ටාල ගේ (මුදියන්සේ ගේ) වලකඩ ගම සන්නස 1761

කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍යොදයෙන් තුදුස් වැන්නෙහි (ශත වර්ෂ 1683 ක්‍රි.ව.1761) මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් මුදියන්සේ කටුවන මාතර කොටු අරවන ප්‍රස්ථාවේ දී හොඳින් දස්කම් කළ නිසා වලකඩ ගම නින්දගම වශයෙන් පරිත්‍යාග කිරීම් වස් දෙන ලද සන්නසකි.

සපරගමු දර්ශන පිටුව 329

කටුවන ලන්දේසි බලකොටු සටනේ ්දී මීගහජදුර නල්ලපේරුව දිසානායක මුදලිගේ බලගතු හෙල්ල පහරින් ඉදිරි පස ප්‍රධාන දොරටුවේ සියඹලා අරටු මහ දොර බිඳී ගියේය. අප හමුදා සටන ජයග්‍රහණයෙන් කෙළවර කරගත් අතර සියඹලා අරටු දොර සහ තවත් බොහෝ භාණ්ඩ මඩුවන්වෙල මුදලි රැගෙන ආවේය.

හම්බන්තොට උපදිසාපති ලෙස සේවය කළ ලේනාඩ් සිඩ්නි වුල්ෆ් (ක්‍රී.ව.1908-1911) තම සේවා කාලය තුළ මඩුවන්වෙල වලව්වට ගොස් ඇත. එවිට මඩුවන්වෙල දිසාව එම සියඹලා අරටු දොරක් හෙල්ල ප්‍රහාරයෙන් කැඩීගිය දොරේ කොටසක් ඔහුට පෙන්වා ඇත. (ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක් විජේසිංහ බෙමිගල්ල)

රාජාධි රාජසිංහ රජ සමයේදී මඩුවන්වෙල විජයසුන්දර මුදලිවරයකු සිටි බව “ඓතිහාසික රත්නපුර ග්‍රන්ථයේ සඳහන් කර ඇත. වැන් ග්‍රාෆ් ලන්දේසි ආණ්ඩුකාර සමයේදී මඩුවන්වෙල මොහොට්ටාල (නිලමේ)වරයකු පිළිබඳ එම ග්‍රන්ථයේ සඳහන් කර ඇත. මොහු මඩුවන්වෙල දිසාවේගේ සීයා වේ. එසේ නම් දිසාව ගේ පියා ජීවත්ව ඇත්තේ බ්‍රිතාන්‍ය සමයේ දී බව අපට සිතා ගතහැකිය.

කොඩිතුවක්කු මොහොට්ටාල (නිලමේ) විවාහ වී ඇත්තේ ගාල්ලේ විජේසිංහ පරපුරේ කාන්තාවකි. කොඩිතුවක්කු නිලමේ ට දාව විජේසිංහ ආර්යාව දියණියන් දෙදෙනකු සහ එක් පුතකු ප්‍රසූත කළා ය. මොහු කෝරාල තනතුර දරා තිබේ. මඩුවන්වෙල කෝරාල විවාහ වී ඇත්තේ එක්නැලිගොඩ පරපුරේ කාන්තාවකි. ඇගෙන් ඔහුට දාව දරුවකු ලැබී නැත. එබැවින් මඩුවන්වෙල පරපුර එතැනින් අවසන් විය.

මඩුවන්වෙල කෝරාලගේ අභාවයෙන් පසු ඔහුගේ භාර්යා වූ එක්නැලිගොඩ කුමාරිහාමි මොළමුරේ කෝරාල නමැති තැනැත්තකු සමග විවාහ වූවාය. මඩුවන්වෙල නම අතිශයින් ප්‍රසිද්ධියට පත්වීමට හේතු කාරක වූ ජේම්ස් විලියම් මඩුවන්වෙල යනු එක්නැලිගොඩ කුමාරිහාමිගේත් මොළමුරේ කෝරාලගේත් පුත්‍රයාය. (කොලොන්න කෝරලේ ඉතිහාසය. මඩුවන්වෙල වලව්ව සහ ලංකාවේ කළු කුමාරයා පූජ්‍ය කෑලිගම විජිත නන්ද හිමි)

මඩුවන්වෙල වලව්වට ගිය වෛද්‍ය ජෝන් ස්පිටල් වලව්වේ ඇති භාණ්ඩ පිළිබඳ විස්තරයක් කර ඇත. ඒ මෙසේය.

විජයබා කොල්ලයේ දී කෝට්ටෙන් පැන්න ඒකනායක මුදලි මඩුවන්වෙලින් මතුවෙයි

එක් මේසයක් කොස් ලී රාමුවකින් සෑදූ වටේට කරුවල ලීයෙන් කැටයම් කළ එකක් වූ අතර එය මඩුවන්වෙල දිසාවගේ සීයා වූ කොඩිතුවක්කු නිලමේ විසින් ලන්දේසි ආණ්ඩුකාරයා වූ වෑන්ඩ් ග්‍රාෆ්ට සංග්‍රහ කිරීමට භාවිත කළ එකකි.

වලව්ව සන්තක ගෘහ භාණ්ඩ අතර ස්පිටල් දුටු තවත් විශේෂ භාණ්ඩයක් වූයේ ලන්දේසීන්ගෙන් පැහැර ගන්නා ලද කාලතුවක්කු දෙකය.

ස්පිටල් මෙසේ සඳහන් කරයි.

ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ මාලිගාවෙන් කොල්ලකා ගන්නා ලද භාණ්ඩ සමූහයක් ද එහි තිබිණි. රජුගේ රිදී පඟන්, පීරිසි, කෝප්ප, රන් බුලත් හෙප්පුව, රැජිනගේ තැල්ල, ඇහැළේපොළ අධිකාරම්ගේ සැරයටිය ඒ අතර විය.

(ඓතිහාසික රත්නපුර)

රජුගේ මහ වාසල කොල්ලකෑමට ගොස් ඇත්තේ මඩුවන්වෙල කෝරාල බව අපට පෙනී යයි. එක්නැලිගොඩ මොහෙට්ටාලගේ පරපුරත් මහවල තැන්නේ මොහොට්ටාලගේ පරපුරත් මඩුවන්වෙල පරපුරත් ගජමිතුරු ඥාතීන් වීම විශේෂ කරුණකි.

මඩුවන්වෙල දිසාව ඉපදී ඇත්තේ 1844 සැප්තැම්බර් 11 වැනි දිනය. මව නොබෝ දිනකින් මියගිය නිසා මොලමුරේ කෝරාල කිරි කැටි දරුවා රැගෙන මහවලතැන්නට ගොස් ඇති බව පූජ්‍ය කෑලිගම විජිතනන්ද හිමියෝ පවසති. බි්‍රතාන්‍ය පාලනයට සුවච කීකරුව සිටි මහවලතැන්නේ මොහොට්ටාලගේ පරපුරේ එවකට වලව්වේ සිටි තැනැත්තා දරුවා ජේම්ස් විලියම් ලෙස කුලවද්දා ඇත. නිසි වයසට පැමිණිවිට දරුවා ගල්කිස්සේ ශාන්ත තෝමස් විiාලයට ඇතුළත් කර ඇත. නමුත් ගුරුවරයකු සමග ඇති වූ ගැටුමක් නිසා මොහු පාසලෙන් ඉවත් වී බළංගොඩ සිට කොළඹට භාණ්ඩ රැගෙන ගිය ගැලක නැඟී මහවලතැන්නට පැමිණ ඇත. බළංගොඩ සිට කොළඹට භාණ්ඩ රැගෙන යන ගැල්කරු සමග මොහුගේ දැන හැඳුනුම්කමක් තිබී ඇත. මහවලතැන්නේ දී මොහුගේ ගජ මිතුරා වූයේ පැටිගිරි කෝරාලලාගේ ජුවානිස්ය. ගැටවර වියේ දී දෙදෙනාම මඩුවන්වෙලට ගොස් ඇත. පියා වූ මොලමුරේ කෝරාල ගැන කරුණු කාරණා සඳහන් නොවේ. මඩුවන්වෙලට පැමිණීමේ සිට රටේ මහත්මා තනතුරට පත්වීම දක්වා කාලය නොපැහැදිලි බව පූජ්‍ය කෑලිගම විජිතනන්ද හිමියෝ පවසති.

(1884-1899) රත්නපුරයේ උප ඒජන්තවරයා වූ හර්බට් වේස් සමයේ දී මඩුවන්වෙල රටේ මහතා ලෙස කටයුතු කර ඇත. 1903 අප්‍රේල් 18 වැනි දින හිටපු රත්නපුර ආණ්ඩුවේ ඒජන්ත හර්බට් වේස් අනුස්මරණ රත්නපුර මහජන පුස්තකාලය විවෘත කරන අවස්ථාව ද මඩුවන්වෙල රටේ මහතා ලෙස හෝ දිසාව වශයෙන් සහභාගි වී ඇත. ඒ වනවිට රත්නපුරයේ උප ඒජන්තවරයා වූයේ ජීග සැක්ස්මන් මහතාය.

මඩුවන්වෙල දිසාව 1930 වර්ෂයේ සැප්තැම්බර් 06දා මෙලොවින් සමුගත්තේය.

මෙතුමාගේ උපතේ සිට රටේ මහතා වන තෙක් කාල පරාසයේ ඉතිහාසය පටලැලි සහිත නිසා එම කාලයේ සත්‍ය තොරතුරු දන්නා අය තවමත් ජීවත්ව සිටිය හැක. එම අත්භූත කාල පරාසයේ සැබෑ ඉතිහාසය ලොවට දායාද කිරීම ඔවුන්ගේ පරම යුතුකමකි.

● විශ්‍රාමික විද්‍යා ආචාර්ය
ජේ.එම්.බී. බණ්ඩාර ජයසුන්දර
හංගමුව -රත්නපුර

advertistmentadvertistment
advertistmentadvertistment