පුතුන් එක්ක ‘ Be Cool ’ බෑන්ඩ් එක හැදුවා – සහන් කෝරළගේ

49

වෑතර පිළියන්දල පදිංචි සහන් කෝරළගේ කියන්නේ කලාවට ලැදි සහෘදයෙක්. ඔහුගේ අඩි පාරේ යමින් මේ වන විට සහන්ගේ ලොකු පුතා නදුන් කෝරළගේ මෙන්ම බාල පුතා වන පහන් කෝරළගේ බාත් කණ්ඩයේ සංගීත විශාරද අවසන් විභාගයට පෙනීසිටීමට සූදානමින් සිටිනවා. මෙම පිය පුතුන් සුසංයෝගයෙන් පසුගියදා ‘Be Cool’ නමින් සංගීත කණ්ඩායමක් එළිදක්වනු ලැබුවා.

සංගීතයට මෙන්ම රඟපෑමටත් එකසේ ලැදියාවක් දක්වන සහන් කෝරළගේ තමන්ගේ කලා දිවියේ රසමුසු තැන් ගැන අප මෙසේ දැනුවත් කළා. මම මකුළුදූව කනිෂ්ඨයෙන් සහ පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබුවා. පාසල් කාලයේ ඉඳල කලාවට මගේ හිතේ දැඩි කැමැත්තක් තිබුණා. මාගේ කලා කටයුතුවල ආරම්භය සනිටුහන් වන්නේ පාසල් වේදිකාවයි. පාසල් කාලයෙන් පසු මම ‘මනාපය’ නමින් වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කළා. එම වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂණය කළේ ජිනදාස පෙරේරායි.

පසුකාලීනව ටෙලි නාට්‍ය කීපයක සුළු චරිත නිරූපණය කිරීමට මට අවස්ථාව ලැබුණා. වන්දනා, ආදරයේ ශාන්තුවරයා, ඉකිබිඳින සමනලී වැනි ටෙලි නාට්‍ය කීපයකම විවිධ චරිත නිරූපණය කිරීමට මට අවස්ථාව ලැබුණා. ලකී රත්නායක කියන්නේ මට හමුවුණු හිත හොඳ කලාකාරයෙක්. මාව නළුවෙක් කරනවා කියලා ඔහු මාව දිරිමත් කළා. ඒ බර්මින් ලයිලි, තිශුල දීප තඹවිට සහ චන්දන සමරසේන යන අධ්‍යක්‍ෂවරු මට ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයට එන්න උදව් කළා.

සහන් කෝරළගේ නළුකමට වගේම සංගීතයට ප්‍රියකරන කලාකරුවෙක්. ඒ පිළිබඳව ඔහු දක්වන්නේ මේ වගේ අදහසක්.

මම සංගීත ක්‍ෂේත්‍රයට එන්නේ 1993 වර්ෂයේදී. ‘ඕසියන්ස්’ කියන සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයකු ලෙස මා කටයුතු කළා. සංගීතය කියන්නේ ජීවිතය සමබර කරන විෂයක්. මාගේ පුතුන් දෙදෙනාත් සංගීතයට යොමු කළේ එම පරමාර්ථයෙන්. අධ්‍යාපන කටයුතුවලට බාධා නොවන අයුරින් මාගේ පුතුන් සංගීතය හදාරමින් සිටිනවා. ඔවුන් සමග මෙම ක්‍ෂේත්‍රයේ ඉදිරියට යෑමේ අපේක්‍ෂාවෙනුයි ‘Be Cool’ සංගීත කණ්ඩායම එළිදැක්වූයේ. මෙම කටයුතු කරගෙන යෑමේදී මා ප්‍රිය බිරිඳ ඩිලානි ශානිකාගෙන් ලැබෙන සහයෝගය මේ මොහොතේ ආදරයෙන් සිහිපත් කරනවා.

● වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment