බැඳුම්කර හිමියන් සමග සාකච්ඡා තවමත් අතරමග…

143

2022 වසරේ අප්‍රේල් වන විට කලට වෙලාවට විදේශ ණය වාරික හා පොලී ගෙවාගෙන යෑමේ හැකියාව හෙවත් විදේශ ණය තිරසාරත්වය අපට නොමැති වීම නිසා 2022 වසරේ අප්‍රේල් 12 වැනිදා තෝරාගත් විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට එවකට පැවැති රජය ක්‍රියා කළේය. ඉන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය රජය විසින් නිල වශයෙන් ඉල්ලා සිටි අතර එහෙත් ඒ සඳහා අපට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අපගේ ණය හිමියන්ගෙන් මූල්‍යකරණ සහතික ලබා ගැනීමට සිදු විය. එම සියලුම විදේශ ණය හිමියන් සමග සාකච්ඡා පවත්වා ඔවුන්ගෙන් අදාළ මූල්‍යකරණ සහතික ලබා ගැනීමට අප සමත් වූ අතර ඒ අනුව අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමක් ලබා ගැනීම සඳහා වන එම අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලබාගත හැකි විය. ඒ අනුව අපට එම ණය මුදලට අදාළ ප්‍රථම ණය වාරිකය ලැබුණි. ඉන් පසු එම අයිඑම්එෆ් ණය වැඩසටහනට අදාළ පළමු සමාලෝචනය මූල්‍ය අරමුදල විසින් පවත්වනු ලැබීමෙන් පසුව කිසියම් ප්‍රමාදයකින් පසුව හෝ අපට එම ණය මුදලට අදාළ දෙවන ණය වාරිකය ද ලබා ගැනීමට හැකිව තිබේ. මේ අනුව අපට මුහුණ දීමට සිදුව ඇත්තේ එම අයිඑම්එෆ් ණය මුදලේ තෙවැනි ණය වාරිකය ලබා ගැනීම සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන සමාලෝචනයට මුහුණ දීමටය. අපට අයිඑම්එෆ් තෙවැනි ණය වාරිකය මුදා හරිනු ලබන්නේ එම දෙවන සමාලෝචනය සඳහා අයිඑම්එෆ් විධායක සභාවේ අනුමැතිය ලැබීමෙන් පසුව පමණකි. එම අනුමැතිය සඳහා අපට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අවසන් එකඟතා ඇති කරගෙන එම ණය හිමියන් සමග ඉදිරි ණය ගෙවීම සම්බන්ධයෙන් ගිවිසුම්ගත වීමට සිදුවනු ඇත.

මේ පසුබිම තුළ ශ්‍රී ලංකාව දැන් උත්සාහ කරමින් ඉන්නේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එම ණය හිමියන් සමග අවසන් එකඟතා ඇති කර ගැනීමටය. මෙසේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන විදේශ ණය හිමියන් සමග වන අවසන් එකඟතා ඇති කර ගැනීම, අයිඑම්එෆ් වැඩසටහනේ දෙවන විමර්ශනයට පෙර අවසන් විය යුතුව ඇත. එසේ ණය හිමියන් සමග අවසන් එකඟතා ඇති කර ගැනීමට අප අසමත් වුවහොත් අයිඑම්එෆ් වැඩසටහනේ තෙවන ණය වාරිකය අප වෙත ලැබීම ප්‍රමාද වනු ඇත. ඒ අනුව අයිඑම්එෆ් වැඩසටහනේ ද ප්‍රමාදයක් ඇතිවෙන බැවින් එය වළක්වා ගැනීමට අප උත්සාහ ගත යුතු වේ. ඒ සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් ඇතුළු අපගේ විදේශ ණය හිමියන් සමග සාකච්ඡා පවත්වමින් සිටින අතර ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසි සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණිය යුතු වේ. මේ නිසා අප උත්සාහ කළ යුතුව ඇත්තේ අයිඑම්එෆ් ණය වැඩසටහන පිළිබඳ මූල්‍ය අරමුදලේ දෙවන විමර්ශනය අවසන් වීමට පෙර විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අදාළ ණය හිමියන් සමග අවසන් එකඟතා ඇති කර ගනිමින් අයිඑම්එෆ් තෙවැනි ණය වාරිකය ගැනීමටය.

මේ අනුව දැන් අදාළ විදේශ ණය හිමියන් සමග ශ්‍රී ලංකා රජය සාකච්ඡා පවත්වමින් සිටී. මේ අතර මීට සමගාමීව ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (International Sovereign Bonds – ISB ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පසුගිය සති තුන පුරාවට ශ්‍රී ලංකා රජය සහ බැඳුම්කර හිමියන් නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම සමග සාකච්ඡා පවත්වා ඇත. මේ පැවැති සාකච්ඡා අවසන් කළ බව මුදල් අමාත්‍යාංශය නිල වශයෙන් පෙරේදා (16දා) නිවේදනයක් කළ අතර එම නිවේදනයේ සඳහන් වන පරිදි දෙපාර්ශ්වය අතර සාකච්ඡා එකඟතාවයෙන් තොරව අවසන් වී ඇත. මේ නිසා ඉදිරි කාලය තුළ ඔවුන් සමග තවදුරටත් සාකච්ඡා කරමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසි සම්බන්ධයෙන් දෙපාර්ශ්වය විසින් එකඟතාවකට පැමිණිය යුතු වේ.

බැඳුම්කර හිමියන් සමග සාකච්ඡා තවමත් අතරමග…

බාහිරට අනාවරණය නොවන ලෙස පැවැති මෙම සීමාකාරී සාකච්ඡා (restricted discussions) සඳහා බැඳුම්කර හිමියන් නියෝජනය කරමින් 09 දෙනෙකුගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් (Steering Committee) සහභාගී වී ඇත. ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම සාකච්ඡා සඳහා නීති උපදේශකවරුන් ලෙස Clifford Chance සහ මූල්‍ය උපදේශකවරුන් ලෙස Lazard යන සමාගම් එක් වූ අතර බැඳුම්කර හිමියන්ගේ කමිටුව වෙනුවෙන් නීති සහ මූල්‍ය උපදේශකවරුන් වන White & Case සහ Rothschild & Co, ක්‍ද පිළිවෙළින් එක්ව ඇත. ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සාකච්ඡා කෙරෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් සියයට 50 කට වඩා මෙම කණ්ඩායම හිමිකම් කියනු ලබන බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. එම නිවේදනයෙන් මුදල් අමාත්‍යාංශය පවසන්නේ දෙපාර්ශ්වය අතර සාකච්ඡා ඵලදායී ආකාරයෙන් ගොඩනැඟී තිබුණ ද ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසි සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණීමට අපොහොසත් වූ බවයි. තවද මෙම සීමා කරන ලද සාකච්ඡා සඳහා වෙන් කර තිබූ කාලසීමාව අවසන් වීම නිසා එය නැවත වරක් දීර්ඝ කිරීමට ද බැඳුම්කර හිමියන් නියෝජනය කරමින් සහභාගි වූ මෙහෙයුම් කමිටුවේ නියෝජිතයින් එකඟ වී නැත. මේ නිසා මෙම සාකච්ඡා ඉදිරියට පවත්වන්නේ කෙසේ ද යන ගැටලුව ද මතු වේ. කෙසේ වෙතත් දෙපාර්ශ්වයටම එකඟතාවයකට පැමිණිය හැකි පොදු පදනමක් ඇති කර ගැනීමට ඉදිරි සති කිහිපය තුළ දී කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ අභිලාෂය බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. මේ සම්බන්ධයෙන් කවර එකඟතාවක් ඇතිවනු ඇති ද යන්න ගැන අපට නුදුරු කාලයේ දී දැන ගැනීමට ලැබෙනු ඇත. එම එකඟතාව නියමිත කාලය තුළ ඇති කර ගැනීමට හැකි වුවහොත් අපට ප්‍රමාදයකින් තොරව තෙවැනි ණය වාරිකය ලබාගනිමින් අයිඑම්එෆ් ණය වැඩසටහනේ තවත් ඉදිරියට ගමන් කිරීමට හැකිවනු ඇත.

බැඳුම්කර හිමියන් සමග මේ රැස්වීම්වලට පෙර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහනේ පරාමිතීන්ට සහ ණය තිරසාරත්ව අරමුණුවලට අනුකූලව දෙපාර්ශ්වයේම යෝජනාවලට ඔවුන්ගේ මූලික සහ අවිධිමත් තක්සේරුව ලබා දී ඇත. අයිඑම්එෆ් කාර්ය මණ්ඩල තක්සේරුවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවල එකතුව පිළිබඳ විශ්ලේෂණයක් (නිල සහ පෞද්ගලික ණය හිමියන් සඳහා) ඇතුළත් විය. එය ඇතැම් ණය හිමියන් සමග එකඟ වූ ගනුදෙනු සහ වෙනත් ණය හිමියන් සඳහා ශ්‍රී ලංකා බලධාරීන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණ දැක්ම මත පදනම්ව ඇත. එම පදනම මත, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය නිගමනය කළේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත ක්‍රමය ගැන වන යෝජනාව, බැඳුම්කර සමූහයේ මාර්තු යෝජනාවට එකඟ වූයේ නැති වුවත්, අයිඑම්එෆ් සහයෝගී වැඩසටහනේ ණය තිරසාර ඉලක්ක සමග අනුකූල වූ බවටයි. අයිඑම්එෆ් කාර්ය මණ්ඩලය සඳහන් කළේ මේවා මූලික තක්සේරු කිරීම් වන අතර අයිඑම්එෆ් කාර්ය මණ්ඩලය විසින් අවසන් තක්සේරු කිරීම් සිදුකරනු ඇත්තේ අදාළ පාර්ශ්වයන් එම තක්සේරු කිරීම් සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් තාවකාලික එකඟතාවකට පැමිණීමෙන් පසුව පමණක් බවයි.

මේ රැස්වීම්වලදී, සාකච්ඡා සඳහා මූලික පදනම වන්නේ බැඳුම්කර හිමියන්ගේ කණ්ඩායමේ මාර්තු යෝජනාව බවට එකඟ වී ඇත. බැඳුම්කර හිමියන්ගේ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයින් විසින් ඔවුන්ගේ යෝජනාවේ (Macro-Linked Bond / MLB) නියමයන් සත්‍ය හා සාධාරණ යැයි විශ්වාස කිරීමට හේතු ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකාව විසින් බැඳුම්කර හිමියන්ගේ යෝජනාව සම්බන්ධයෙන් එහි ඇති ප්‍රධාන වෙන් කිරීම් ප්‍රකාශ කර ඇත. කෙසේ හෝ මේ බැඳුම්කර හිමියන් සමග පැවති සාකච්ඡා අදාළ යෝජනාවේ අංශ හතරකට පමණක් සීමා වී ඇත. මෙම නිවේදනයේ එම අංශ හතර ගැන මෙන්ම තවත් තාක්ෂණික කරුණු රැසක් ගැන අන්තර්ගතව ඇත. මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබූ මෙම නිවේදනය නිකුත් කර තිබුණේ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ආර්. එම්. පී. රත්නායක විසිනි. ඉදිරියට අයිඑම්එෆ් විධායක මණ්ඩලය විසින් සලකා බලනු ලබන අයිඑම්එෆ් ණය වැඩසටහනේ දෙවන සමාලෝචනයට පෙර ඉදිරි සති කිහිපය තුළ දෙපාර්ශ්වය විසින් පොදු පදනමක් කරා ළඟා වීමේ අදහසින් හැකි ඉක්මනින් හා සද්භාවයෙන් අඛණ්ඩව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද එහි සඳහන් වේ.

මේ අතර ඉකුත් අප්‍රේල් 15 වැනිදා පැවැති මාධ්‍ය හමුවක දී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා කියා ඇත්තේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පසුගිය මාර්තු මාසයේ අවසාන භාගයේ දී, ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් අතර ලන්ඩන් නුවර දී පැවැති සාකච්ඡාවල දී කරුණු හතරක් සම්බන්ධයෙන් ගැටලුකාරීත්වයක් පැනනැඟුණු බවත් එහිදී කරුණු 2ක් පිළිබඳව එකඟතාවකට පැමිණීමට දෙපාර්ශ්වය සමත් වූ බවත් ය. මෙහි දී එකඟතාවකට එළඹීමට නොහැකි වූ කරුණු දෙක සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් නියෝජනය කරන කණ්ඩායම් ඉදිරියේ දී රැස්වීමට නියමිත බවත් එහිදී සුබවාදී පිළිතුරක් බලාපොරොත්තු විය හැකි බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. කෙසේ හෝ අපට අයිඑම්එෆ් ණය වැඩසටහනේ ඉදිරියට ගමන් කිරීමට නම් අනිවාර්යයෙන්ම අනෙකුත් විදේශ ණය හිමියන් සමග මෙන්ම මේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමග ද ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගැනීමට සිදුවේ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුවට අපගේ දූත පිරිසක් ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරට ගොස් සිටින අතර එම සමුළුවට සමගාමීව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඇතුළු මෙරට දූත පිරිස අතර සාකච්ඡාවක් සිදුව ඇත. මෙම හමුවේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ආරම්භයේ සිටම ශ්‍රී ලංකාව අත්කරගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගනිමින් ශක්තිමත්ව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කර තිබේ. මෙහිදී මෑතකාලීන සමාජ-ආර්ථික වර්ධනයන් සහ වැඩසටහන යටතේ සිදු කරන ලද සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවල අඛණ්ඩතාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ශ්‍රී ලංකාව සිදු කළ කැපකිරීම ද එහි දී ඔකමුරා මහතාගේ ඇගයීමට ලක්ව තිබේ.

ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්ථාවරත්වය, වර්ධනය සහ ආයෝජන අවස්ථාවන් පිළිබඳව ජාත්‍යන්තර අවබෝධය සඳහා වූ ව්‍යාපාරික කවුන්සිලය සමග මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වොෂින්ටනයේ දී සාකච්ඡාවකට එක්ව ඇත. මෙහි දී ආයෝජකයින් සඳහා ශ්‍රී ලංකාවේ ඇති අවස්ථාවන් පිළිබඳව කේන්ද්‍රගත වූ අතර අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය, පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මය සහ තාක්ෂණය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල උපායමාර්ගික ආයෝජන මගින් තිරසාර ආර්ථික වර්ධනයක් ළඟා කරගත හැකි අයුරු සාකච්ඡා කෙරුණු බව රාජ්‍ය ඇමැති සේමසිංහ අමාත්‍යවරයා කියයි. මෑත කාලීන ආර්ථික හා අනෙකුත් ප්‍රතිසංස්කරණයන් ප්‍රතිඵලවලට පරිවර්තනය වී ඇති ආකාරය ඇතුළුව ශ්‍රී ලංකාව සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හා වත්මන් සාර්ව-ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙම හමුවේ දී අවධානය යොමු වූ බවත් ඇමැතිවරයා කියයි. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සඳහා විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් මහතාව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා හමු වී ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය මෙන්ම 2024 මාර්තු මාසයේදී එළඹුණු කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා වන ඊළඟ පියවර පිළිබඳව මෙහි දී සාකච්ඡා කළ බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහ ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් මහතා සමග ද සාකච්ඡාවක් සිදුව ඇති අතර එහිදී දුෂ්කර ප්‍රතිසංස්කරණ මාලාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ඔහු ප්‍රශංසා කර ඇති අතර ලෝක බැංකුවේ විවිධ අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගත කිරීම් සහ මෙම වෙනස්කම් ශ්‍රී ලංකාව වැනි රටවලට ප්‍රයෝජන ගත හැකි ආකාරය පිළිබඳ තොරතුරු ද සාකච්ඡා කෙරී ඇත. ශ්‍රී ලංකාවට තම උපරිම සහයෝගය ලබා දෙන බවට අයියර් මහතා එහි දී සහතික වූ බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා තවදුරටත් පවසයි. මේ ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය ආයතන අපව අගය කළ ද මේවායේ වැඩිබරක් පැටවී ඇත්තේ සාමාන්‍ය ජනයාටය. අතිමහත් බහුතර සාමාන්‍ය ජනයාගේ ඒ බර (වේදනාව) සාධාරණ පදනමක් මත සමාජයේ විවිධ පාර්ශ්වයන් අතර බෙදාහදා ගැනීමේ අවශ්‍යතාව ද රජයට අපි සිහිපත් කර සිටිමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment