මහින්දාගමනයෙන් ඔපවත් වූ සිංහල සංස්කෘතිය

1269

අප තථාගත බුදුරජාණන් වහන්සේ නිර්මල ථේරවාදී බුදු දහමේ පණිවුඩය ශ්‍රී ලංකාද්වීපයට ලැබෙන්නේ පොසොන් පුන් පොහෝ දිනක බව අපි හොඳින් දනිමු. නව සංස්කෘතික උදාව ලෙස සැලකෙන මහින්දාගමනය තුළින් අප රට නව මාවතකට යොමු වූ අතර රටේ පාලකයාගේ පටන් රටවැසියන් ද මෙම නව දහම වැළඳ ගනිමින් ක්‍රියා කළහ. එහි ප්‍රතිඵල අතීතයෙහි ධර්මද්වීපය හා පෙරදිග ධාන්‍යාගාරය යන ගෞරව නාමයෙන් හඳුන්වනු ලැබූ මේ උතුම් ලක් මව නූතනයෙහි මුහුණ පා ඇති ඉරණම දෙස අවධානය යොමු කිරීමේ දී මහත් කනගාටුදායකය. අද වැනි පොසොන් පොහෝ දිනක මහින්දාගමනයෙන් ලද පන්නරය ආදර්ශයට ගෙන ක්‍රියා කිරීම තුළින් අප ලක් මාතාව ඉහළට ඔසවා තැබීමේ හැකියාව පවතින බව නම් නොවනුමානය.

තෙවැනි ධර්ම සංඝායනාවේ ප්‍රතිඵලයක් ලෙස නව රට සසුන් පිහිට වූ මිහිඳු මාහිමියන් ප්‍රධාන ධර්මදූත කණ්ඩායම “තම්බපන්ණිය” යන අනුවර්ථන නාමයෙන් හඳුන්වනු ලැබූ ලංකාද්වීපයට වැඩම කිරීමේ හැකියාව ලැබුණි. ධර්මාශෝක මහ නිරිඳුන්ගේ පූර්ණ අනුග්‍රහයෙන් මෙම ගමන ඉතා සංවිධිත ලෙස සිදු කිරීමට පියවර ගත් මිහිඳු මාහිමියන් වේදිසාවේ සිට මෙරට භාෂාව හා සංස්කෘතික ලක්‍ෂණ පිළිබඳ මනා අවබෝධයක් ඇතිකර ගනිමින් ක්‍රියා කරන්නට වූහ. ඒ අනුව උතුම් පොසොන් පොහෝ දින මිහිඳු හිමි ඉත්ථිය, උත්ථිය, සම්බල, භද්දසාල, සුමණ සාමනේර හා භණ්ඩුක උපාසක යන පිරිස සමග ඍද්ධියෙන් මිහින්තලාවේ අම්බස්තලයට වැඩම කළහ. ඒ වනවිට දේවානම්පියතිස්ස අජු ඇතුළු පිරිස මුව දඩයමේ ගොස් සිටි අතර මහ රජතුමා මුවකු පසුපස ලුහුබඳිමින් සිටියේ ය. “තිස්ස තිස්ස” යන ආමන්ත්‍රණයෙන් තිගැස්සී වටපිට බැලූ ඔහුට දැකගත හැකි වූයේ මිහිඳු මාහිමියන් ප්‍රධාන ධර්ම දූත කණ්ඩායමයි.

“සමණාමයං මහා රාජ ධම්ම රාජස්ස සාවකා
තමේව අනුකම්පාය ජම්බුදීපා ඉධාගතා”

මේ ගාථා පාඨය සමගින් තමන් ඇතුළු පිරිස හඳුන්වාදීමෙන් අනතුරුව දේවානම්පියතිස්ස ඒ මඟම ගමන් කරන්නට වූහ. “චුල්ලහත්‍ථි පදෝපම” සූත්‍රයෙන් ඇරඹුණු ධර්මය දේශනා කිරීම “ප්‍රේත වත්‍ථු – විමාන වත්‍ථු” ලෙස විවිධ ස්වරූපයෙන් සිදුවූ අතර ඒ නිසා ම බොහෝ පිරිසක් දිනෙන් දින බුදු දහමට අනුගත වූ බව දැක්වේ.

මෙලෙස ශීඝ්‍රව ව්‍යාප්ත වූ බුදු දහම මෙරට ප්‍රතිෂ්ටාපනය වූයේ භණ්ඩුක උපාසකගේ පැවිද්දෙන් හා සුමණ සාමනේරයන්ගේ උපසම්පදා වෙනි. ක්‍රි.ව. 3 වන ශතවර්ෂයේ දී මෙරටට බුදු දහමෙහි පණිවුඩය ලැබීමෙන් අනතුරුව සියලු අංශයන් ඔස්සේ නව මාවතකට යොමු වූ බව පැහැදිලි වන්නකි.

බුදු දහමේ පන්නරය ලැබීමෙන් පසුව නව සංස්කෘතික ලක්‍ෂණ සමගින් ශ්‍රී ලංකාද්වීපය ඉදිරියට ගමන් කරන්නට යෙදුණු බව දීප වංශය, මහා වංශය වැනි හෙළ සාහිත්‍යය දෙස බැලීමෙන් පැහැදිලි වනු ඇත. විශේෂයෙන් විවිධ ඇදහිලි හා විශ්වාස පසුපස යමින් සිටි මෙරට ජනතාව බුදු දහම වැළඳ ගැනීමෙන් පසුව ශිෂ්ට සම්පන්න අයුරින් ක්‍රියා කරන නිවැරදි දැක්මකින් ඉදිරියට ගිය ජාතියක් බවට පත් වූහ.

“ගමයි පන්සලයි වැවයි දාගැබයි
කහ සිවුරයි කෙත් යාය යි”

යන උදාර සංකල්පය ඔස්සේ රාජ්‍ය පාලකයාගේ පටන් සියලු පාලකයන් සංස්කෘතික වශයෙන් නව කාලයකට පියවර තැබීමෙන් පැහැදිලි වන්නේ එදා අපේ රටේ පැවැති ආර්ථික ආදි සෑම ක්‍ෂේත්‍රයක් තුළම පැවැති ප්‍රබල දියුණුවයි. කෘෂිකර්මාන්තය මුල්කර ගත් නව ආර්ථිකයකට උරුමකම් කියූ අප ලක් මාතාව පෙරදිග ධාන්‍යාගාරය වූයේ මේ නිසාවෙනි.

මිහිඳු මාහිමියන් වැඩම කිරීමෙන් පසු තව දුරටත් සාසනික වශයෙන් පසුකාලීනව දුමින්දාගමනය ද සිදුවිය. ඒ තුළින් බෝධි වන්දනාව ප්‍රචලිත වූ අතර ශ්‍රී ලංකාව ථේරවාදී බුදු දහමේ කේන්‍ද්‍රස්ථානය බවට ද පත් වූයේ මේ නිසා බව අපි හොඳින් දනිමු. එපමණක් නොව සාහිත්‍යය අතින් ද විශාල දියුණුවක් ලැබූහ.

  1. මහා අට්ඨ කතා
  2. මහා පරිච්චරිය අට්ඨ කතා
  3. කුරුන්දි අට්ඨ කතා
  4. සංකේප අට්ඨ කතා
  5. අන්ද අට්ඨ කතා

ආදී හෙළ භාෂාව මුල්කර ගත් අටුවා ලියූ මිහිඳු මාහිමියන් සෑම ක්‍ෂේත්‍රයකම බුදු දහමේ පන්නරය ඔස්සේ ඉදිරියට ගෙන ගිය අතර දුමින්දාගමනයත් සමගින් කලා ශිල්ප ආදී බොහෝ නිර්මාණ ඔස්සේ අපේ රට කොතරම් දියුණු තත්ත්වයක පැවැතියේ ද යන්න අනුරාධපුර, පොලොන්නරුව ආදී බොහෝ කාල වකවානු නොවැ සාක්‍ෂි සපයයි.

අතීතය මෙලෙස පැවැතිය ද නූතනය වනවිට මේ උපන් මවුබිම පිළිබඳ රට වැසි අපහට ආඩම්බරයෙන් කතා කිරීමට නොහැකි වීම අවාසනාවකි. එයට බොහෝ හේතු සාධක පවතින අතර විශේෂයෙන් නිදහසින් පසු මෙ රට පාලනය කළ සියලු දෙනා මෙයට වගකිව යුතුය. ලෝකයට ම කන්න දෙන්න තරම් ශක්තියක් වූ අපේ රට අද වනවිට ලෝකයාගෙන් සිඟමන් අයදින තත්ත්වයට පත් වීම කොතරම් අවාසනාවක් ද? මෙයට වගකිව යුත්තේ මෙ රට අහිංසක ජනතාව නොව බලය නිසා වංචාව දූෂණය ඔස්සේ ක්‍රියා කළ අදූරදර්ශී පාලකයෝය. බලයට කෑදර වෙමින් බෞද්ධකම බලය රැකීමට පමණක් ආයුධයක් කර ගත් එවැනි පුද්ගලයන් නිසා අදටත් දුක් ගැහැට විඳින්නේ ශ්‍රී ලාංකික ජනතාවයි.

මේ නිසා මහින්දාගමනය එක් දිනකට පමණක් සීමා නොකොට මිහිඳු මාහිමියන් පෙන්වා දුන් නිවැරදි චින්තනය ඔස්සේ ගමන් ඇරඹීමේ කාලය උදා වී ඇති බව නොඅනුමානය. තෙවරක් බුදු රඳුන්ගේ පහස ලද කිහිප අවස්ථාවක් සම්බුදු සසුනට පූජා කළ මේ ලක් දෙරණ සැබැවින්ම සෞභාග්‍යයේ දේශයකි. ඒ උතුම් වාසනාව විනාශ කර ඇති පාලක පන්තිය තම වාසියට ක්‍රියා කිරීම තුළ අද වනවිට අත් වී ඇති ඉරණම කදිමට පැහැදිලිය.

මහින්දාගමනයෙන් ඔපවත් වූ සිංහල සංස්කෘතිය

● ගාල්ල ශ්‍රී ලංකා ධර්මදූත පිරිවෙනේ ආචාර්ය, දර්ශනපති,

කනංකේ විජිතනන්ද හිමි.

advertistmentadvertistment
advertistmentadvertistment